1971 RR Captain

1971 - Rohan Ekanayake

Rohan Ekanayake – (Present – Ven. Dhamanissitha Thero)

ධර්මරාජයේ රග්බි ඉතිහාසය සොයා යන ගමනේ තවත් එක් සුවිශේෂ මතක සටහනක් 1971 වසරේදී හමුවනවා. ඒ 1970 වසරේදී සුහද තරග ක්‍රීඩා කරමින් සිටි ධර්මරාජ රග්බි කණ්ඩායමට 1971 වසරේදී තරගකාරී තරග කිහිපයක් හිමි වීම නිසයි.

1971 වසරේදී ධර්මරාජ රග්බි කණ්ඩායම මෙහෙයවන්නේ රොහාන් ඒකනායක. ධර්මරාජයට කළ සේවය අවසන් කළ එතුමාණන් මේ වන විට පූජ්‍ය ධමනිස්සිත ස්වාමින් වහන්සේ නමින් භාවනානුයෝගීව ආරණ්‍යගතව වාසය කරනවා.

වසර 21 කක් පුරා ආරණ්‍යගතව භාවනානුයෝගීව ගත කරන උන්වහන්සේ ගිහි කළ රොහාන් ඒකනායක නමින් ධර්මරාජය තුළ ශිල්ප හදාරද්දී රග්බි ක්‍රීඩාවට මෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවට එකසේ දස්කම් දැක්වූවා. පළමු පෙළ රග්බි කණ්ඩායමේ මෙන්ම දෙවන පෙළ ක්‍රිකට් කණ්ඩායම ද නියෝජනය කරන්නට ද මේ ක්‍රීඩාවට අතිදක්ෂ වූ රොහාන් සමත් වුණා. එමෙන්ම ශිෂ්‍යනායකයෙක් ලෙස පාසලට ඉමහත් සේවයක් ඉටු කරන්නට ද ඔහුට හැකියාව ලැබුණා.

1970 වසරේ පළමු ධර්මරාජ රග්බි කණ්ඩායම ද නියෝජනය කරන රොහාන් 1971 වසරේ ධරමරාජ රග්බි කණ්ඩායමේ නායකයා ලෙස පත් වීම් ලබන්නේ ආනන්ද ජයසුන්දර ගේ පුහුණුකාරිත්වයෙනුයි. ගාමිණි තෝමස්, ප්‍රසන්න ලියනගේ හා උපුල් තලාගොඩ වැනි ක්‍රීඩකයින් 1971 කණ්ඩායමේ රොහාන් ට සහය දැක්වූ ප්‍රධානතම ක්‍රීඩකයින් වුණා.
පේරාදෙණිය විශ්ව විද්‍යාල කණ්ඩායම, විවිධ ක්‍රීඩා සමාජ සමඟ සුහද තරග ක්‍රීඩා කළ ධර්මරාජ කණ්ඩායමට 1971 දී එවකට ප්‍රබල පාසල් කණ්ඩායමක් වුණු කිංග්ස්වුඩ් විද්‍යාලය සමඟ තරගයක් හිමි වෙනවා. එම තරගය අප රග්බි කණ්ඩායම පරාජය වුණත් ඒ පන්නරය ධර්මරාජ රග්බි වර්ධනයට ඉතා වැදගත් සාධකයක් වූ බව පූජ්‍ය ධමනිස්සිත ස්වාමින් වහන්සේ පවසා සිටියා. (කාලයේ අවෑමෙන් මැකීගිය තොරතුරු ඉතිහාසයට එකතු කරන්නට ඔබටත් ආරාධනා..)

පූජ්‍ය ධමනිස්සිත ස්වාමින් වහන්සේ අප සමඟ කළ සාකච්චාවේදී සුවිශේෂ කරුණු කිහිපයක් ද පවසා සිටියා. උන්වහන්සේ භාවනානුයෝගීව වැඩවසන කල්හි 1970 වසරටත් පෙර තමන්වහන්සේ ධර්මරාජය වෙනුවෙන් පෙර භවයකදී රග්බි ක්‍රීඩා කර ඇති බව උන්වහන්සේ වදාළ සිටියා. එම වසරේදී තමන් වහන්සේ රග්බි තරගයක් තුළදී ජිවිතක්ෂයට පත් වුණු බවත් එතැනින් නැවතුණු ධර්මරාජයේ රග්බි ක්‍රීඩාව 1969, 70 වසර වල තමන් වහන්සේගේ මේ භාවයේදී නැවත ආරම්භ කරන්නට හැකියාව ලැබුණු බවත් උන්වහන්සේ අප සමඟ පවසා සිටියා. වසර 21 කක ආරණ්‍යගතව සිටින උන්වහන්සේ ශ්‍රී ලංකාවේ මෙන්ම ඇතැම්විට ඕස්ට්‍රේලියාවේ Greenbank නුවර ද වැඩ වාසය කරනවා.

ධර්මරාජයේ රග්බි ක්‍රීඩාව ආරම්භ කරන්නට ඉමහත් සේවයක් ඉටු කළ රොහාන් ඒකනායක නාමය ධර්මරාජ රග්බි ඉතිහාසයේ සදා අමරණීයයි. පූජ්‍ය ධමනිස්සිත ස්වාමින් වහන්සේ, ඔබ වහන්සේ පතනා බෝධියකින් සංසාරය කෙළවර නිර්වාණ සම්පත්තිය අත්වේවා යැයි ධර්මරාජ රග්බි සොයුරන්ගේ ප්‍රාර්ථනයයි.