1975 RR Captain

1970 ඇරඹි ධර්මරාජයේ පළමු පෙළ රග්බි කණ්ඩායම පළමු වසර හතරේදී ද එතරම් හොඳ තරග ලැබෙන්නේ නැහැ. කෙසේ වෙතත් දැඩි ඉවසීමකින් කෙමෙන් කෙමෙන් පාසල් රග්බි පිටියේ තමන්ටම කියා නමක්, තමන්ගේම ක්‍රීඩා විලාසයක් ගොඩනගාගත් ධර්මරාජ රග්බි ක්‍රීඩකයින්, ප්‍රසන්න ලියනගේ ගේ නායකත්වයෙන් 1975 දී ඔවුන්ට ලැබුණු අවස්ථා සියල්ලෙන්ම උපරිම ප්‍රයෝජන ගන්නවා.
2 ශ්‍රේණියේ පොඩ්ඩෙක් ලෙස ධර්මරාජයට එන ප්‍රසන්න තමන් ධර්මරාජ රග්බි කණ්ඩායමේ අමරණිය සලකුණක් වේ යැයි එවකට කිසිදා නොසිතන්නට ඇති. ගාමිණි ජයසුන්දර ගේ පළමු රග්බි කණ්ඩායමේ ද සාමාජිකයෙක් වුණු මේ ප්‍රසන්න ලියනගේ ෆාරුක් ඩුල් හා ආනන්ද ජයසුන්දර හමුවේ රග්බි පිටියට අත්පොත් තියනවා.
පසුව 1971 වසරේ ද ලොකු අයියලා යටතේ පුහුණුවීම් කළ ප්‍රසන්න 1972 දී ගාමිණි තෝමස් යටතේ පළමු වරට ධර්මරාජයේ පළමු පෙළ රග්බි කණ්ඩායමට ක්‍රීඩා කරනවා. 1972, 1973, 1974 යන වසර තුනේදීම් ප්‍රසන්න ධර්මරාජ පළමු පෙළ රග්බි කණ්ඩායම නියෝජනය කළත් ඒ වසර වලදී ධර්මරාජ රග්බි කණ්ඩායමට එතරම් හොඳ තරග නොලැබුණු බව ඔහුගේ මතකය කියනවා. කෙසේ වෙතත් නිළ නොවන තරග ලෙස 1974 වසරේදී නාලන්ද විද්‍යාලය මෙන්ම කිංග්ස්වුඩ් විද්‍යාලයට එරෙහිව ධර්මරාජ රග්බි කණ්ඩායම සම්විමත් කරන්නට ප්‍රසන්න වාසනාවන්ත වෙනවා.
1975 වසරේ ධර්මරාජ රග්බි කණ්ඩායමේ සුක්කානම ප්‍රසන්න ලියනගේ හිමිකර ගන්නේ ධර්මරාජ රග්බි පිටියේ අමරණිය චරිතයක් වන ලාල් කුමාරසිරි මහතා ගේ මඟ පෙන්වීම යටතේයි.
1975 වසරේ ධර්මරාජයට අභියෝග රැසක් හිමිවනවා. ඒ වසරේදී තරග අටක් ක්‍රීඩා කරන ඔවුන් කිසිවකුත් අපේක්ෂා නොකළ ලෙසින් පෙරළිකාර ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කරනවා. ප්‍රබල ඉසිපතන විද්‍යාලයට එරෙහිව තරගය ලකුණු 10 – 00 ක් ලෙස පරාජය වුණත් ධර්මරාජ රග්බි ක්‍රීඩකයෝ අවසාන මොහොත වන තුරුම තරගය අතහරින්නේ නැහැ. එවකට දෙහිවල මධ්‍ය විද්‍යාලය වුණු වත්මන් ගල්කිස්ස විද්‍යා විද්‍යාලය සමඟත් ඔවුන් තරගයක් ක්‍රීඩා කරනවා.
කිංග්ස්වුඩ් විද්‍යාලය සමඟ පැවැත්වුණු තරග ධර්මරාජ රග්බි ඉතිහාසයේ අමරණිය තරගයක්. ශ්‍රී ලංකාවට රග්බි ක්‍රීඩාව හඳුන්වාදුන් කිංග්ස්වුඩ් විද්‍යාලය ලකුණු 17 – 10 ක් ලෙසද පරාජය කරමින් ධර්මරාජ රග්බි කණ්ඩායමේ ලේක්වීව් කන්දේ අභිමානය ලොවටම කියනවා.
1975 වසරේදී දේශීය පාසල් රග්බි පිටියටත් සුවිශේෂී වසරක්. ඒ පළමු වරට පිලිප්ස් බුල්ජන්ස් කුසලානය නමින් අන්තර් පාසල් සත් සාමාජික රග්බි තරගාවලියක් ආරම්භ කිරීම නිසයි. පළමු වරට සත් සාමාජික රග්බි අත්දැකීම විඳ ගන්නා ධර්මරාජිකයෝ ප්‍රබල පාසල් සුනු විසුනු කරමින් එහි අවසන් පුර්ව වටයටම එන්නට සමත් වෙන්නේ ද ප්‍රසන්න ලියනගේ ගේ නායකත්වය යටතේයි.
එමෙන්ම සිය නායකයාට අනගි සහයක් දුන් ටී. එස් ප්‍රනාන්දු හා වසන්ත රණසිංහ යන ක්‍රීඩකයින් පාසල් රග්බි පිටිය තුළ දැක්වූ දස්කම් විස්කම් නිසාම 1975 පිට පළාත් පාසල් කණ්ඩායමට ද සුදුසුකම් ලබනවා.
හිටපු ධර්මරාජ රග්බි නායකයෙකු වන රොහාන් ඒකනායක ගේ ඥාති සහෝදරයෙකු ද වන ප්‍රසන්න ලියනගේ ධර්මරාජ රග්බි පිටියට කළ සේවය වෙනුවෙන් ඔහුට 1974 හා 1975 වර්ෂ වල ධර්මරාජ වර්ණ වලින් තුති පිදෙනවා.
ධර්මරාජ රග්බි පිටියට සුවිශේෂී මතකයන් රැසක් එකතු කල නියමුවානෙනි ඔබ ගෙනා ජයග්‍රහණයන් ධර්මරාජ රග්බි පිටියේ සදා අමරණීයයි.