1978 RR Captain

ධර්මරාජ රග්බි වංශ කතාවේ 1978 වසරේ නායකත්වය දැරුවේ තවත් සොඳුරු මිනිසෙක්. ඔහුගේ අතීත මතකයන් බෙදා ගන්නට ඔහු අද අප අතර නැතත් ඔහුගේ සගයන්ගේ මතකයන් වලින් මේ සටහන සකස් වෙනවා.
1976 වසරේ විමුක්ති ගොඩගමගේ නායකත්වය යටතේ තිලක් ජයසුන්දර නම් වේගවත් Wing ක්‍රීඩකයා ධර්මරාජ පළමු පෙළ රග්බි කණ්ඩායමට පිවිසෙන්නේ එවකට ඉතා ප්‍රබල වූ ධර්මරාජ පසු පෙළට තවත් සවියක් වෙමිනුයි. ඉතා වේගවත් මෙන්ම ප්‍රතිවාදීන් හඹා ගොස් දරුණු බාධාකිරීම් කරන ක්‍රීඩකයෙක් ලෙසද මධ්‍යම පළාතේ ඉතා ප්‍රසිද්ධ ක්‍රීඩකයෙක් බවට පත් වූ තිලක් 1977 වසරේ අරුණ කාලිංග ගේ නායකත්වය යටතේ ධර්මරාජ කණ්ඩායමේ සුපිරි ක්‍රීඩකයෙක් බවට පත් වෙනවා.
මේ වේගවත් ක්‍රීඩකයාට 1978 වසරේදී තරු රැසක් හිමි අත්දැකීම් බහුල කණ්ඩායමක නායකත්වය හිමි වන්නේ ඔහු සතු වූ විශිෂ්ඨ නායකත්ව ගති ගුණ හා රග්බි ක්‍රීඩාවේදී ඔහුට තිබුණු තැනට සුදුසු නුවණ නිසාමයි. මිල්රෝයි මෙන්ඩිස් හා සුපුන් තලාගොඩ සුසංයෝගයත්, අජන්ත සමරකෝන් හා සමන් රත්නායක සුසංයෝගයත් ප්‍රබල සෙන්ටර් ක්‍රීඩකයින් වූ දයාසිරි, ජයවීර වැනි ප්‍රබල ක්‍රීඩකයින් රැසක් 1978 වසරේදී තිලක් ජයසුන්දරගේ නායකත්වය යටතේ තරග වදිනවා.
1978 වසර තවත් කරුණු රාශියක් නිසා සුවිශේෂ වසරක් වෙනවා. ඒ ධර්මරාජ රග්බි ඉතිහාසයේ පළමු වතාවට ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමය සංවිධානය කළ අන්තර් පාසල් පිළිමලුන් පිටුදැකීමේ රග්බි තරගාවලියකට සහභාගී වන්නට ධර්මරාජ රග්බි කණ්ඩායමට අවස්තාව හිමි වීම නිසයි. එම තරගාවලියේදී මහනුවර ත්‍රිත්ව විද්‍යාලය හමුවේ පරාජය වී තරගාවලියෙන් ඉවත් වෙන්නට ධර්මරාජ රග්බි කණ්ඩායමට සිදු වුණත් ඔවුන් ත්‍රිත්ව කණ්ඩායමට ලෙහෙසියෙන් දිනන්නට නම් ඉඩ ලබා දුන්නේ නැහැ. තිලක් ජයසුන්දර ගේ අතීත මතකයන් අප සමඟින් බෙදා ගනිමින් 1974 ධර්මරාජ රග්බි කණ්ඩායමේ නායකයා වූ උපුල් තලාගොඩ අප සමඟ පවසා සිටියේ එවකට ප්‍රබල ක්‍රීඩකයෙක් වූ අජන්ත සමරකෝන් ආබාධයකට ලක් නොවන්නට අපට ඒ තරගය ජය ගැනීමද හැකියාවක් තිබුණු බවයි.
ධර්මරාජයෙන් නික්මුණු තිලක් 1979 වසරේ සිට 1984 වසර දක්වා මහනුවර ක්‍රීඩා සමාජයට ද ක්‍රීඩා කරන්නේ ඔහුගේ රග්බි දිවිය ක්‍රීඩා සමාජ රග්බි පිටියටත් රැගෙන යමිනුයි. පසුව Upcountry ක්‍රීඩා සමාජයට ද ක්‍රීඩා කළ තිලක් රග්බි පිටියෙන් විශ්‍රාම ගත් පසුව 1992 වසරේ සිට 2006 වසර දක්වා මහනුවර නගර සභා සභිකයෙක් ලෙස මහනුවර නගරයට ද සිය සේවය ලබා දුන්නා.
ධර්මරාජ රග්බි පිටියේ දිදුලන තරුවක් වුනු තිලක් ජයසුන්දර 2012 වසරේදී ජීවන රග්බි පිටියට සමුදෙන්නේ තවත් රසවත් මතකයන් රැසක් ඔහුත් සමඟම සඟවාගනිමිනුයි. තිලක් ජයසුන්දර නියමුවාණෙනි ඔබ ධර්මරාජ රග්බි පිටියේ සදා අමරණීයයි.