1979 RR Captain

Milroy Mendis

Milroy Mendis

70′ දශකයේ ධර්මරාජ රග්බි කණ්ඩායම බිහි කළ තවත් සුපිරිම රග්බි තරුවක් වුණේ මිල්රෝයි මෙන්ඩිස්. නම කියූ පමණින් එවකට දිවයිනේ සියලුම පාසල් ක්‍රීඩකයින් බිය වුණු ඔහු 1979 වසරේ ධර්මරාජ රග්බි කණ්ඩායමේ නායකයා වීමට වාසනාවන්ත වෙනවා.

මිල්රෝයි සිය රග්බි දිවිය ආරම්භ කරන්නේ එවකට මහනුවර ප්‍රබලම රග්බි පාසලක් වූ මහනුවර ශාන්ත අන්තෝනි විද්‍යාලයෙන්.රග්බි ක්‍රීඩාවට ඔහුගේ තිබුණු දක්ෂතාවය නිසාම ඔහු 9 ශ්‍රේණියේ සිටිද්දීම ශාන්ත අන්තෝනි රග්බි කණ්ඩායමත් සමඟ පුහුණුවීම් කරන්නට තරම් වාසනාවන්ත වෙනවා.

1976 වසරේදී ඔහු ධර්මරාජ විද්‍යාලයට එක් වන්නේ සිය දෙමාපියන් ඔහුට රග්බි ක්‍රීඩාව අතහැර අධ්‍යාපනයට අවධානය යොමු කරන ලෙස දැඩි ලෙස බලාපෑම් කරන පසුබිමකයි. කෙසේ වෙතත් උපතින්ම රැගෙන ආ රග්බි ක්‍රීඩාවට තිබුණු ආලය අතහැර දමන්නට දෛවය ඔහුට ඉඩ ලබා දෙන්නේ නැහැ. විමුක්ති ගොඩගම යොවුන් මිල්රෝයිව රග්බි පිටියට ඇදගෙන එන්නේ ඔහුගේ තිබුණු වටිනාකම එවකට ධර්මරාජ ක්‍රීඩකයින් මනා ලෙස දැනගෙන සිටි නිසයි.

ධර්මරාජයේ රග්බි ක්‍රීඩාවට වචනයෙන් කිව නොහැකි තරමේ සේවයක් ඉටු කළ වරෙක පුහුණුකරු ද වරෙක ක්‍රීඩා භාර ආචාර්ය වරයා ද වූ ලාල් කුමාරසිංහ මහතා මිල්රෝයි මෙන්ඩිස් ව ධර්මරාජ රග්බි කණ්ඩායමට කැඳවාගන්නේ ඔහුට එවකට කණ්ඩායමේ ස්ථිර ස්ථානයක් ද හිමි කර දෙමිනුයි.

1976 වසරේ ධර්මරාජ පළමු පෙළ රග්බි කණ්ඩායමට ක්‍රීඩා කරන ඔහු 1979 වසරේ නායකත්වය දරන තෙක්ම ධර්මරාජ පළමු පෙළ රග්බි කණ්ඩායම වසර පහක්ම නියෝජනය කරන්නේ ඉතිහාසයේ ලියැවුණු ජයග්‍රහණය රැසකටම සිය දහදිය කඳුළු මුසු කරමිනුයි.

1976 වසරේදී ශාන්ත අන්තෝනි කණ්ඩායමට වෙනුවෙන් Wing ස්ථානයේ ක්‍රීඩා කළ මිල්රෝයි 1976 වසරේ ශාන්ත අන්තෝනි විද්‍යාලය නියෝජනය කරමින් ධර්මරාජය පරාජය කරනවා. පසුව 1976 වසරේදීම ධර්මරාජයට පැමිණෙන ඔහු 1977 වසරේ ධර්මරාජය නියෝජනය කරමින් ශාන්ත අන්තෝනි විද්‍යාලය පරාජය කරනවා. මිල්රෝයි ධර්මරාජයට පැමිණීම නිසාවෙන්ම මෙම තරගය ඉතා උණුසුම් මුහුණුවරක් ගන්නවා. ප්‍රබල ශාන්ත අන්තෝනි ක්‍රීඩකයින් ට කිසිදු අවස්තාවක් නොදුන් අපේ ධර්මරාජ ක්‍රීඩකයින් ලකුණු 3-0 ක් ලෙස ප්‍රතිවාදීන් බිම හෙළනවා. 1977 වසරේ ධර්මරාජ නායකයා වුනු අරුණ කාලිංග, මිල්රෝයි මෙන්ඩිස් ගේ ආගමනයෙන් පසුව සිය ස්ථානය මෙන්ඩිස් ට බලා දී ඔහු Fullback ස්ථානයේ ක්‍රීඩා කරන අතර එවකට නායකයාගේ දූරදර්ශි නුවණ මොනවට පිළිබිඹු කරමින් ශාන්ත අන්තෝනි කණ්ඩායම පරාජය කළ ලකුණු 3, මිල්රෝයි මෙන්ඩිස් ගේ පාදයෙන් වාර්තා වෙනවා.

ධර්මරාජයේ රග්බි ක්‍රීඩාව වෙනුවෙන්1977, 1978 හා 1979 වසර වලදී වර්ණ දිනා තිබෙන ඔහු දෙවතාවක්ම ධර්මරාජයේ ක්‍රීඩකයෙකුට ලබා ගත හැකි ඉහළම ගෞරවය වන දාගැබ ද දිනා ගන්නට තරම් වාසනාවන්ත වෙනවා.

මිල්රෝයි නායකත්වය දැරූ 1979 වසරේදී ධර්මරාජ රග්බි කණ්ඩායම තවත් සුවිශේෂී වාර්තාවක් තබනවා. ඒ රාහුල විද්‍යාලයට එරෙහිව ලකුණු 102 කක් වාර්තා කරමිනුයි. ඒ එවකට කණ්ඩායමක් රැස් කළ වැඩිම ලකුණු ගණන ලෙසද වාර්තා පොත් අතරට එක්ව තිබුණා. මහනුවර නගරයේ රග්බි ආධිපත්‍ය කෙමෙන් කෙමෙන් තමන්ගේ යටතට ගනිමින් සිටි එවකට ධර්මරාජ රග්බි කණ්ඩායම 1979 දී මිල්රෝයි මෙන්ඩිස් ගේ නායකත්වයෙන් නැවතත් මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය පරාජය කරනවා.
නායකයෙක් ලෙස ඉතා සොඳුරු චරිතයක් වූ මිල්රෝයි චින්තක විජේසුරිය, චතුර විජේසුරිය සොයුරන්, ජයවීර, ප්‍රියන්ත උඩුවෙල, අසේල ප්‍රනාන්දු, සනත් තෙන්නකෝන් වැනි සිය යහළුවන්ද රග්බි ක්‍රීඩාවට රැගෙන එන්නේ 1979 කණ්ඩායම ඉතා ප්‍රබල කණ්ඩායමක් කරමිනුයි. (කාලයෙන් මැකී ගිය නම් ගම් මෙයට එකතු කරන්නට වැරදි හදන්නට ඔබටත් ආරාධනා.)

රග්බි ක්‍රීඩාවට මෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවටත් එක සේ දක්ෂ වුණු ඔහු 1977 වසරේදී ධර්මරාජ පළමු පෙළ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන්නටත් වාසනාව හිමි කර ගන්නවා. එමන්ම 1978 වසරේදී පාපන්දු වර්ණ ද දිනා ගන්නා ඔහු මලල ක්‍රීඩාවටත් උපන් හපන්කම් සහිත වූ ක්‍රීඩකයෙක් ලෙස ජනප්‍රියයි.
මිල්රෝයි ගේ වේගය බොහෝ ප්‍රතිවාදී කණ්ඩායම් වලට දැඩි අර්බුධයක් වුණා. 1978 වසරේදී ඔහුව නවත්වන්නටම ධර්මරාජ – කිංග්ස්වුඩ් තරගයට පෙර කිංග්ස්වුඩ් කණ්ඩායම මලල ක්‍රීඩකයින් රග්බි කණ්ඩායමට රැගෙන විත් පුහුණු කළ බව ඔහු මතක් කර සිටින්නේ සිනහ මුසු මුහුණින්.

ඔහුගේ දක්ෂතාවය හඳුනාගත් මහනුවර ක්‍රීඩා සමාජය 1978 වසරේදී ඔහුව මහනුවර ක්‍රීඩා සමාජයට කැඳවාගන්නවා. ඒ ඔහු ධර්මරාජ කණ්ඩායමේ නායකත්වය දැරීමටත් පෙර වීම විශේෂත්වයක්. මහනුවර හා කොළඹ පාසල් කණ්ඩායම් අතර පැවැත්වුණු ග්‍රේසන් කුසලාන තරගාවලියේදී මහනුවර කණ්ඩායම නියෝජනය කරන්නටත් ඔහු වාසනාවන්ත වුණා. එතනින් නොනැවතුණු මිල්රෝයි මෙන්ඩිස් 1980 – 85 කාල වකවානුවේ මහනුවර ක්‍රීඩා සමාජය නියෝජනය කරන අතර පසුව ඔහු 1986 වසරේදී CR & FC ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරනවා.

ක්‍රීඩකයෙකු ලෙස රග්බි ක්‍රීඩාවට සමුදුන් ඔහු පුහුණුකරුවෙකු ලෙස ද ධර්මරාජ හා සාන්ත අන්තෝනි කණ්ඩායම් වලට සිය සේවය ලබා දෙනවා. ධර්මරාජයෙන් බිහිවුණු සුපිරිම රග්බි ක්‍රීඩකයෙකු වන මිල්රෝයි මෙන්ඩිස් ධර්මරාජ රග්බි සම්ප්‍රදාය ලෝකයට රැගෙන යන්නට සමත් වූ ක්‍රීඩකයෙක් ලෙස හැඳින්විය හැකියි. මිල්රෝයි මෙන්ඩිස් නාමය ඔහුගේ දක්ෂතාවයන් ලේක් විව් කන්දේ සදා අනුස්මරණය වන්නේ ඒ නිසයි.