1980 RR Captain

Hemantha Yatawara

Hemantha Yatawara

70′ දශකයෙන් 80′ දශකයට ධර්මරාජ රග්බි කණ්ඩායමට පිවිසෙන්නේ නැවුම් මුහුණුවරක් සමඟයි. නව දශකයට නව මුහුණුවරක් එකතු කරන්නට 1980 ධර්මරාජ රග්බි කණ්ඩායමේ නායකත්වය භාර වෙන්නේ හේමන්ත යටවර හටයි.

කුඩා කල සිටම ක්‍රීඩාවට ආලය කළ ඔහු ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිට පිට්ටනියේ එවකට ධර්මරාජ පාසල ක්‍රීඩා උළෙල පැවතුනු අවධියේ දස්කම් දක්වා තිබුණේ කාගේත් අවධානය දිනා ගනිමිනුයි. යාන්තමින් වයස අවුරුදු 10 ක් වන විට උස පැනීම ඉසව්වෙන් පළමු වැනියා වුණු ඔහු රග්බි ක්‍රීඩාවට පෙර හොකි හා මලල ක්‍රීඩා වලින්ද ඉතා ඉහල දස්කම් දක්වනවා. හේමන්ත යටවර පවසා සිටින්නේ උස පැනීමේ ඉසව්වෙන් පළමු ස්ථානය දිනීම තමන්ගේ ක්‍රීඩා ජිවිතයේ ආරම්භය බවයි.

කෙසේ වෙතත් ඒ ක්‍රීඩා ගොන්න මැදින් ඔහු වඩාත්ම ආදරය කළේ රග්බි ක්‍රීඩාවයි. සෑම ක්‍රීඩාවකම කණිෂ්ඨ අවදියේ සිට පළමු පෙළ කණ්ඩායම දක්වාම ඔහු ක්‍රීඩා කළ සෑම වයස් කාණ්ඩයකට නායකත්වය දැරුවේ ඔහුයි. හොකී හා මලල ක්‍රීඩාවට උපන් හපන් කම් දැක්වූ යටවර රග්බි ක්‍රීඩාවට එන්නේ 1978 දීයි. කණිෂ්ඨ රග්බි කණ්ඩායමේ ක්‍රීඩා නොකළ ඔහුව කෙලින්ම පළමු පෙළ රග්බි කණ්ඩායමට ගෙන එන්නට එවකට පුහුණුකරුවන් හා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් තීරණය කරන්නේ රග්බි ක්‍රීඩාව කෙරෙහි ඔහුගේ තිබුණු අසීමිත දක්ෂතාවය නිසයි.

1978 පළමු පෙළ රග්බි කණ්ඩායමට පිවිසෙන ඔහු වසර හතරක් පළමු පෙළ රග්බි කණ්ඩායමේ ක්‍රීඩා කරන අතර 1980 වසරේදී කණ්ඩායමේ සුක්කානම ඔහුට භාරවෙනවා. 1979 වසරේ ශ්‍රී ලංකා පාසල් හොකී කණ්ඩායමේ නායකයා ද වූ ඔහු 1979 ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා කණ්ඩායම නියෝජනය කරමින් ඉන්දු ශ්‍රී ලංකා තරගාවලියකට ද එක් වෙනවා. මේ සියලු අත්දැකීම් ඔහු 1980 රග්බි කණ්ඩායමට රැගෙන එන්නේ කණිෂ්ඨ ක්‍රීඩකයින් මනාව හසුරුවා ගනිමිනුයි.

1980 වසරේදී හේමන්ත යටවරගේ නායකත්වය යටතේ ධර්මරාජය අමතක නොවන තරග කීපයකටම ක්‍රීඩා කරනවා. ත්‍රිත්ව විද්‍යාලය සමඟ තරගය, කිංග්ස්වුඩ් තරග ශාන්ත අන්තෝනි තරගය ඉන් විශේෂයි.

1978 වසරේදී වසරේ ශාන්ත අන්තෝනි කණ්ඩායම සමඟ පැවැත්වුණු තරගය හේමන්ත යටවර අපි සමඟ මතක් කර සිටියේ ඉතා සිනහමුසු මුහුණින්. ඒ එම තරගයේ යටවර හා අජන්තගේ දක්ෂතා නිසා ජය ගන්නට ධර්මරාජ රග්බි කණ්ඩායම සමත් වූ නිසයි.
(කාලයෙන් මැකීගිය තවත් බොහෝ තරග තිබෙන්නට පිළිවන ! ඔබට ඒවා මතක නම් අපිත් සමඟ බෙදා ගන්න)

1980 රග්බි කණ්ඩායමේ තවත් විශේෂත්වයක් තිබෙනවා. ඒ සමන් යටවර, උදය යටවර හා හේමන්ත යටවර යන යටවර සහෝදරයින් තිදෙනාම ධර්මරාජ රග්බි කණ්ඩායමේ ක්‍රීඩා කිරීම නිසයි. 1981 වසරේදී ධර්මරාජ විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායක ලෙස කටයුතු කරන්නේ ද හේමන්ත යටවරයි.

රග්බි, හොකී හා මලල ක්‍රීඩා යන ක්‍රීඩා තුනටම එක සේ දක්ෂ වුණු ඔහු 1980/1981 වසර වලදී එම ක්‍රීඩා තුනටම දාගැබ දිනා ලබන්නේ ධර්මරාජිකයෙකු වර්ණ රාත්‍රියේදී ලබාගත ඉහලම දක්ෂතාවය ලබා ගනිමිනුයි.

පාසලෙන් නික්මුණු යොවුන් හේමන්ත යටවර 1982 වසරේ පොලිස් ක්‍රීඩා සමාජය සමඟ එක් වෙනවා. එතැන් පටන් පොලිස් ක්‍රීඩා සමාජය ශ්‍රී ලංකා ක්‍රීඩා සමාජ පිටියේ වසර අටක් අපරාජිතව හිඳිම විශේෂත්වයක්.

ධර්මරාජ රග්බි පිටියෙන් ලද පන්නරය ක්‍රීඩා සමාජ පිටියට රැගෙන ගිය ඔහු 1991 වසරේදී පොලිස් ක්‍රීඩා සමාජයේ නායකත්වය දරනවා. ක්‍රීඩා සමාජ හා පාසල් තරග පිටියේ අත්දැකීම් ලොවට රැගෙන ගිය ඔහු 1989 වසරේ සිට 1994 වසර දක්වාම ශ්‍රී ලංකා කණ්ඩායමේ ද නිත්‍ය සාමාජිකයෙක් ලෙස ක්‍රීඩා කරනවා. ඔහුගේ අත්දැකීම් සමුදාය නැවතත් මහනුවරට රැගෙන එන ඔහු 1994 වසරේ මහනුවර ක්‍රීඩා සමාජයේ ක්‍රීඩා කරනවා. ක්‍රීඩා දිවිය හමාර කළ වහාම පුහුණුකරුවෙක් ලෙස වැඩ අරඹන ඔහු 1996 හා 1997 වසර වල මහනුවර ක්‍රීඩා සමාජයේ සහය පුහුණුකරු ලෙස කටයුතු කරනවා.

1997 වසරේදී පුහුණුකරුවෙක් ලෙස අමරණිය සංධිස්ථානයක් පසු කරන ඔහු එම වසරේදී ලසන්ත විජේසූරියගේ නායකත්වයෙන් තරග කළ මහනුවර ක්‍රීඩා සමාජය ත්‍රිත්ව කිරුළු දිනා ගන්නට මෙහෙයවනවා.

පුහුණුකරුවෙක් ලෙස ධර්මරාජයට ද ඉමහත් සේවයක් ඉටු කරන ඔහු ධර්මරාජයේ පුහුණුකරු ලෙසද වසර තුනක් සිය සේවය ධර්මරාජ මාතාවට ලබා දෙනවා. එලෙසම ඔහු මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ පුහුණුකරු ලෙසද කටයුතු කරනවා.

අත්දැකීම් බහුල හේමන්ත යටවර වසර තුනක් ශ්‍රී ලංකා රග්බි තේරීම් කමිටු සාමාජිකයෙක් ලෙස ජාතික රග්බි පිටියට ඉමහත් සේවයක් ඉටු කරනවා.
ධර්මරාජයෙන් බිහිවුණු සුපිරිම රග්බි තරුවක් වන හේමන්ත යටවර තැබූ බොහෝ වාර්තා අදටත් බිඳ වැටි නැහැ. ත්‍රිත්ව දාගැබ දිනා ගැනීම , සහෝදරයින් තිදෙනාම එකම කණ්ඩායමේ ක්‍රීඩා කිරීම, ධර්මරාජ්යෙන් බිහිවුණු නායකයෙක් ලෙස පොලිස් ක්‍රීඩා සමාජය මෙහෙයවමින් 1991 ලීග් කුසලානය දිනා දීම, පුහුණුකරුවෙකු ලෙස මහනුවර ක්‍රීඩා සමාජයට ත්‍රිත්ව කිරුළු දිනා දීම ඔහුගේ අසමසම වාර්තාවන්.
ධර්මරාජයේ රග්බි ලෝකයට රැගෙන ගිය හේමන්ත යටවර ඔබේ වේගය, ඔබේ දක්ෂතාවයන්, ඔබේ වාර්තාවන් ධර්මරාජ පොළොවේ සදා ජීවමානයි.