1981 RR Captain

Supun Thalagoda

Supun Thalagoda

ධරමරාජ රග්බි ඉතිහාසයේ නායකයින් සොයාගෙන යන මේ ගමනේ අපූරැ සංධිස්ථානයක් 1981 දී හමුවෙනවා. ඒ අයියා – මලෝ නායක යුගලයක් හමුවීම නිසයි. 1974 වසරේ ධර්මරාජය කණ්ඩායම මෙහෙයවූ උපුල් තලාගොඩ ගේ මල්ලී, සුපුන් තලාගොඩ 1981 වසරේදී ධර්මරාජ රග්බි කණ්ඩායම මෙහෙයවනවා.

රග්බි ක්‍රීඩාවට පමණක් නොව ක්‍රිකට් හා මලල ක්‍රීඩා වලටද දක්ෂ වූ සුපුන් තලාගොඩ වයස අවුරුදු 12 න් පහළ, 16 න් පහළ ක්‍රිකට් කණ්ඩායම් වල නිත්‍ය සාමාජිකයෙක් වුණා. කෙසේ වුනත් සිය සහෝරදයා මෙන්ම රග්බි ක්‍රීඩාවට ඉතා ඇළුම් කළ වයස අවුරුදු 15 න් පහළ රග්බි කණ්ඩායමට එක්වන අතර පසුව 1978 වසරේදී පළමු පෙළ රග්බි කණ්ඩායමට පිවිසෙන්නේ තිලක් ජයසුන්දරගේ නායකත්වය යටතේයි. ඉතා ක්ෂණික නුවණක් සහිත වේගවත් ක්‍රීඩකයෙක් වූ ඔහු එවකට Scrumhalf ස්ථානයේ ක්‍රීඩා කරමින් ප්‍රබල ක්‍රීඩකයෙක් වූ මිල්රෝයි මෙන්ඩිස් සමඟ අපූරු සුසංයෝගයක් නිර්මාණය කරනවා.

1981 වසර සුපුන් තලාගොඩ ට තරමක් අභියෝගාත්මක වසරක් වුණා. ඒ ධර්මරාජ රග්බි කණ්ඩායමට ස්ථිර පුහුණුකරුවෙක් නොසිටීම නිසයි. එම වසරේ සාන්ත පීතර කණ්ඩායම සමඟ තරග ලකුණු 10-12 ක් ලෙස ලකුණු දෙකකින් ධර්මරාජ කණ්ඩායම පරාජය වීම සුපුන් තලාගොඩ අප සමඟ බෙදාගත් මතක ගොන්න අතරේ තිබුණා. ඒ තරගයේ දී ධර්මරාජ කණ්ඩායම අවසන් මොහොත වන තෙක් තරගයේ පෙරමුණේ හිඳ ඇති අතර අවසන් මොහොතේදී දඬුවම් පහරකින් ජයක් වාර්තා කරන්නට සාන්ත පීතරයෝ සමත් වී තිබුණා. එම කණ්ඩායමට හොවී නම් විදෙස් පුහුණුකරු, නිමල් මාලගමුව, දීපාල් සිල්වා වැන්නවුන් උපකාර කළ බව ඔහු කෘතගුනපුර්වකව සිහි කර සිටියා.

හේමන්ත හා උදය යටවර, අසේල ප්‍රනාන්දු, අනුර, එම 1981 කණ්ඩායම ප්‍රබල ක්‍රීඩකයින් ලෙස ඔහු සිහි කර සිටියා. (කාලයෙන් මැකීගිය නම් ගම් සිදුවීම් මෙයට එකතු කරන්නට ඔබටත් ආරාධනා.)

රග්බි ක්‍රීඩාවට තිබූ දක්ෂතාවය නිසාම 1978 වර්ෂයේ ඔහු මහනුවර පාසල් කණ්ඩායමට ක්‍රීඩා කරන අතර 1979 වර්ෂයේදීත් ඔහු එම කණ්ඩායමට සුදුසුකම් ලබනවා. ඒ නිසාම 78 වසරේ වර්ණ දිනා ගන්නා ඔහු ධර්මරාජයේ ක්‍රීඩකයෙකුට දිනාගත හැකි ඉහළම ප්‍රදානය වන දාබද ද දිනා ගන්නවා.

පාසල් වියේ සිටි සුපුන් තලාගොඩ ගේ දක්ෂතා හඳුනාගත් Kandy Lions කණ්ඩායම ඔහුව ඔවුන්ගේ ක්‍රීඩා සමාජයට කැඳවා ගන්නවා. ධර්මරාජයේ ක්‍රීඩා කරද්දීම ක්‍රීඩා සමාජ තරග පිටියේද දක්ෂතා දැක්වූ ඔහුගේ නායකත්ව ගති ගුණ නිසාම ඔහුට 1979/1980 වසර වල මහනුවර පාසල් කණ්ඩායමේ නායකත්වය ද හිමි වෙනවා.
පළමු වතාවට ජනාධිපති කුසලානයක් මේ වසරේදී පැවැත්වෙන අතර එයට ක්‍රීඩා කළ වයස අවුරුදු 23 න් පහළ කණ්ඩායමේ වැදගත්ම සාමාජිකයෙක් ද වන්නට තරම් ඔහු වාසනාවන්ත වෙනවා. පසුව 1982-1983 වර්ෂ වලදී මහනුවර ක්‍රීඩා සමාජය ද නොයෝජනය කරන ඔහු 1994 වසරේ සිට පේරාදෙණිය විශ්ව විද්‍යාල කණ්ඩායමට ක්‍රීඩා කරනවා. එහිදී අන්තර් විශ්වවිද්‍යාල රග්බි ක්‍රීඩාව සඳහා ඔහුට සූසා සම්මාන ද හිමි වෙනවා.

පාසලට රග්බි ක්‍රීඩකයෙක් ලෙස මෙන්ම පාසලෙන් සමුගත් පසුව ආදී ධර්මරාජිකයෙක් ලෙසද ඔහු කළ සේවය අමරණීයයි. වරෙක ආදී ධර්මරාජිකයින්ගේ රග්බි පාපන්දු සංගමයේ භාණ්ඩාගාරික කෙනෙකු ලෙසට කටයුතු කළ ඔහු අද දක්වාම එහි කමිටු සාමාජිකයෙක් ලෙසද සිය අත්දැකීම්, සිය දැනුම ධර්මරාජයට ලබා දෙන්නේ ධර්මරාජයේ රග්බි ක්‍රීඩාවට තිබෙන ආදරය නිසාමයි.

පාසල් වියේදීම ක්‍රීඩා සමාජ පිටියට ධර්මරාජ නාමය රැගෙන ගිය සුපුන් තලාගොඩ කළ සේවය අනභිබවනීයයි. ඔබේ සේවය ධර්මරාජ කන්දේ සදා ජීවමානයි.