1983 RR Captain

Kamal Sarathchandra

Kamal Sarathchandra

1983 වසර ධර්මරාජ රග්බි ඉතිහාසයේ සඳහන් වන්නේ රණවිරුවන් බිහි කළ වසරක් ලෙසයි. 1983 වසරේ ධර්මරාජ රග්බි කණ්ඩායමේ නායකත්වය දරන්නේ තවත් දක්ෂයෙකු වුණු කමල් සරත්චන්ද්‍රයි. 1983 ධර්මරාජ රග්බි කණ්ඩායමේ නියෝජනය කළ ක්‍රීඩකයින් පස් දෙනෙකු යුධ හමුදාවේ ජෙනරාල් ධූරය දක්වාම ගමන් කිරීම මේ කණ්ඩායමේ තිබුණු තවත් විශේෂත්වයක්.

වයස අවුරුදු 13 න් පහළ වයස් කාණ්ඩයෙන් ධර්මරාජ රග්බි පිටියට පිවිසුණු කමල් සරත්චන්ද්‍ර වයස අවුරුදු 13න් පහළ, වයස අවුරුදු 15න් පහළ හා වයස අවුරුදු 17 න් පහළ යන සියලු වයස් කාණ්ඩ වල නායකත්වය දැරුවේ කුඩා කළ සිටම ඔහු සතුව තිබුණු නායකත්ව ගති ගුණ නිසාමයි.

දුර පැනීමේ ක්‍රීඩාවට උපන් හපනෙකු වූ ඔහු ධර්මරාජ මලල ක්‍රීඩා කණ්ඩායම ද නියෝජනය කළා. බොහෝ ධර්මරාජ රග්බි ක්‍රීඩකයින් පපන්දු ක්‍රීඩාවට ආලය කළ අතර කමල් ද ඒ ගණයේම ක්‍රීඩකයෙක් වුණා. ධර්මරාජ පාපන්දු කණ්ඩායම නියෝජනය කරමින් අන්තර් පාසල් සමස්ත ලංකා ශුරතාවය දිනා ගන්නට ද ඔහු සමත් වුණා. පාසලේ ශිෂ්‍ය නායකයෙකු ලෙසට කටයුතු කළ ඔහු ධර්මරාජයේ ශිෂ්‍ය භට බලකායේ ද නිත්‍ය සාමාජිකයෙක් වුණේ ධර්මරාජ ශිෂ්‍ය භට බලකායට ඉමහත් සේවයක් ඉටු කරමිනුයි.

රග්බි ක්‍රීඩාවට ඇති දක්ෂතාව නිසා වයස අවුරුදු 17න් පහළ ක්‍රීඩා කරද්දීම පළමු පෙළ කණ්ඩායමට ක්‍රීඩා කරන්නට ඔහු වාසනාවන්ත වුණා. 1983 වසරේ ධර්මරාජ රග්බි කණ්ඩායමට රදැල්ල ක්‍රීඩා සමාජය සමඟ සුහද තරගයක් ලැබුණු බව කමල් සරත්චන්ද්‍ර මෙනෙහි කරනවා. එම තරගය ධර්මරාජ කණ්ඩායම ජයග්‍රහණය කිරීමට සමත් වීම විශේෂත්වයක්. එම වසරේදී කිංග්ස්වුඩ් හා ශාන්ත අන්තෝනි වලදී ධර්මරාජ රග්බි කණ්ඩායම හොඳ තරගයක් ලබා දී තිබුණු අතර ඉතිහාසයේ පළමු වතාවට ධර්මරාජ රග්බි කණ්ඩායම කොළඹ රාජකීය රග්බි කණ්ඩායම පරාජය කරන්නට සමත්ව තිබුණේ 1983 වසරේදී කමල් සරත්චන්ද්‍ර ගේ නායකත්ව යටතේයි. කොළඹ රාජකීය විද්‍යාලය සමඟ තරගය ලකුණු 10-9 ක් ලෙස තියුණු ජයක් වාර්තා කරන්නට ධර්මරාජ රග්බි කණ්ඩායම සමත්ව තිබුණා.

රග්බි ක්‍රීඩාවෙන් මෙන්ම මලල ක්‍රීඩාවෙන් ද විද්‍යාලයීය වර්ණ දිනාගෙන ඇති කමල් සරත්චන්ද්‍ර 1982 දී B කාණ්ඩයේ ශුරයින් බවට ධර්මරාජය පත් කර A කාණ්ඩයට ගෙන ඒමට දැඩි මහන්සියක් වුණු ක්‍රීඩකයෙක්. ඔහුගේ සහෝදරයා වූ සමන් සරත්චන්ද්‍ර ද ධර්මරාජය වෙනුවෙන් රග්බි ක්‍රීඩා කර ඇති ක්‍රීඩකයෙක් වීම විශේෂයක්.
ඉතා ප්‍රබල අත්දැකීම් බහුල ක්‍රීඩකයෙක් වුණු කමල් සරත්චන්ද්‍ර ධර්මරාජ ඉතිහාසයේ අමරණිය ජයග්‍රහණ රැසක්ම වාර්තා කළ නායකයෙක් ලෙස ඉතිහාසයට එකතු වෙනවා. ප්‍රබලයින් රැසක් මෙල්ල කළ කමල් සරත්චන්ද්‍ර නාමය ධර්මරාජ රග්බි පිටියේ සදා ජීවමානයි.