1984 RR Captain

රට ජාතිය වෙනුවෙන් ධර්මරාජය කැපවන බව මොනවට පිළිඹිඹු කරමින් ධර්මරාජ රග්බි නායක ඉතිහාසයේ පළමු වැන්නා වන්නේ ද රණවිරුවෙක්. ධර්මරාජ රග්බි ඉතිහාසය රණවිරුවන් රැසක්ම මව් දෙරණට දායාද කර ඇති පසු බිමක 1984 වසරේ ධර්මරාජ රග්බි කණ්ඩායමේ සුක්කානම හිමි වුණේ ශ්‍රී ලංකා යුධ හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස ද කටයුතු කළ මේජර් ජෙනරාල් නිර්මාල් ධර්මරත්න හටයි.
පාසල් වියේ සිටම ක්‍රීඩාවට දක්ෂයෙක් වුණු නිර්මාල් ධර්මරත්න ධර්මරාජයට පැමිණෙන්නේ 1972 වසරේදීයි. විද්‍යාලයීය ශිෂ්‍යභට කණ්ඩයේ ස්ථිර සාමාජිකයෙකු වුණු ඔහු පාපන්දු හා හොකී ක්‍රීඩාවන්ට ද අති දක්ෂයෙක් වුණා.
කෙසේ වෙතත් වෙනත් සෑම ක්‍රීඩාවක්ම පරදවා රග්බි ක්‍රීඩාවට ඔහුගේ සිත ඇදෙන්නේ ඔහුටත් නොදැනීමයි. එවකට ධර්මරාජ විද්‍යාලයේ පුහුණුකරු වූ අර්වින් හොවී ඔහුගේ දක්ෂතා දැක ඔහුව ධර්මරාජ රග්බි කණ්ඩායමට කැඳවා ගන්නවා. වයස අවුරුදු 15 න් පහළ රග්බි කණ්ඩායමේ ක්‍රීඩා කරද්දීම ධර්මරාජ දෙවන පෙළ රග්බි කණ්ඩායමට නියෝජනය කරන්නට ඔහු වාසනාවන්ත වුණා.
1982, 1983 යන වසර වලදී ධර්මරාජ පළමු පෙළ රග්බි කණ්ඩායම නියෝජනය කරන ඔහු 1984 වසරේදී ධර්මරාජ පළමු පෙළ රග්බි කණ්ඩායමේ නායකයා ලෙස ධර්මරාජ කණ්ඩායම මෙහෙයවනවා. ඔහුගේ නායකත්වය යටතේ ප්‍රියන්ත ඒකනායක වැනි ප්‍රබල ක්‍රීඩකයින් සිටි මහනුවර ශාන්ත අන්තෝනි විද්‍යාලය ලකුණු 3-0 ක් ලෙස පරාජය කරන්නට ධර්මරාජ රග්බි කණ්ඩායම සමත් වෙනවා. එමෙන්ම මලියදේව, ආනන්ද තරග ජයගන්නටත් ධර්මරාජ රග්බි කණ්ඩායම සමත් වන්නේ මේ කාලවකවානුවේදීයි.
1984 වසරේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සමඟ තරගයේදී ධර්මරාජ කණ්ඩායම ඉතා හොඳ තරගයක් ලබා දුන් බව ඔහුගේ මතකයේ තිබෙනවා. ලකුණු සමව තිබුණු තරගය අවසන් මොහොතේ උත්සාහක දිනුමක් වාර්තා කරමින් ත්‍රිත්ව විද්‍යාලය ජය ගත්තේ අවාසනාවන්ත ලෙසයි.
1981 – 1982 කාලවකවානුවේ ලකුණු 10-9 ක් ලෙස කොළඹ රාජකීය විද්‍යාලය පරාජය කළ ධර්මරාජ කණ්ඩායමේ ප්‍රධානතම සාමාජිකයෙක් වුණේද නිර්මාල් ධර්මරත්නයි. 1984 ධර්මරාජ කණ්ඩායම ඉතා ප්‍රබල කණ්ඩායම් වුණා. ඒ රුවන් මල්ලවාරච්චි, රාජගුරු, විජේවර්ධන, අල්විස් සහෝදරයින් වැනි ප්‍රබල ක්‍රීඩකයින් රැසක්ම එම කණ්ඩායමේ සිටි නිසයි.
නිර්මාල් ධර්මරත්න ගේ වැඩිමහල් සහෝදරයා වුණු ලලිත් ධර්මරත්නත් ධර්මරාජ රග්බි කණ්ඩායමේ ක්‍රීඩා කිරීම විශේෂත්වයක්. ඔහුත් 1982 හා 1983 වසර වලදී ධර්මරාජ කණ්ඩායම නියෝජනය කළ ප්‍රබල ක්‍රීඩකයෙක් වුණා.
ධර්මරාජයෙන් සමුගත් පසුව ඔහු KDU Puffins කණ්ඩායමේ විදෙස් ක්‍රීඩකයින් රැසක් සමඟ ක්‍රීඩා කළා. පසුව ශ්‍රී ලංකා යුධ හමුදාව සමඟ එක්වුණු ඔහු ත්රස්තවාදීන්ට එරෙහිව කළ මානුෂීය මෙහෙයුමේදී මව්බිමට ඉමහත් සේවයක් කළ රණවිරුවෙක් ලෙස ධර්මරාජ අභිමානය ඉහළින්ම ඔසවා තබන්නට සමත් වුණා.
ක්‍රීඩකයෙක් ලෙස මෙන්ම පාසලෙන් සමුගත් පසුව ආදී ධර්මරාජිකයෙකු ලෙස ද ඔහු සිය සේවය ධර්මරාජ රග්බි පිටියට ලබා දුන්නා. ඒ ආදී ධර්මරජිකයින්ගේ රග්බි පාපන්දු සංගමයේ සභාපති ලෙස ඉමහත් සේවයක් ඉටු කරමින්.
ධර්මරාජ රග්බි ක්‍රීඩාවෙන් ලද පන්නරය යුධ හමුදාවටත් රැගෙන යමින් මව්බිමට සේවය කළ නිර්මාල් ධර්මරත්නගේ නායකත්වය ධර්මරාජ පොළොවේ සදා ජීවමානයි.