1986 RR Captain

1986 වසරේ ධර්මරාජ රග්බි කණ්ඩායමේ සුක්කානම හිමිවන්නේ චන්දිම අමදෝරු හටයි. ප්‍රසාද් හා ප්‍රදීප් අල්විස්, රුවන් මල්ලවාරච්චි, ජයවික්‍රම වැනි ප්‍රබල ක්‍රීඩකයින්ගෙන් සමන්විත වුණු 1986 ධර්මරාජ රග්බි කණ්ඩායම ඒ වසරේ ලීග් කුසලානය ජයග්‍රහණය කිරීමට තරම් ප්‍රබල වුණත් අවසනාවන්ත ලෙස ඒ වසරේ ධර්මරාජ කණ්ඩායමට ලීග් තරගාවලිය ක්‍රීඩා කරන්නට වරම් ලැබුණේ නැහැ.
වයස අවුරුදු 15න් පහළ, වයස අවුරුදු 17 න් පහළ, වයස අවුරුදු 18න් පහළ ධර්මරාජ රග්බි කණ්ඩායම් වල ප්‍රබල සාමාජිකයෙක් වුණු චන්දිම අමදෝරුගේ දස්කම් නිසාම ඔහුට 1986 වසරේ ධර්මරාජ රග්බි කණ්ඩායමේ සුක්කානම හිමි වෙනවා. වයස අවුරුදු 15 න් පහළ කණ්ඩායම නියෝජනය කරද්දීම පළමු පෙළ කණ්ඩායමට ද ක්‍රීඩා කරන්නට තරම් දක්ෂ වුණු ඔහු රග්බි ක්‍රීඩාවට පමණක් නොව හොකී හා පාපන්දු ක්‍රීඩාවටත් උපන් හපන්කම් ඇති ක්‍රීඩකයෙක්.
චන්දිම අමදෝරු 1985 වසරේදී ප්‍රේමදාස කුසලානයට සුදුසුකම් ලැබූ ධර්මරාජ කණ්ඩායමේ ප්‍රබල සාමාජිකයෙක්. එමෙන්ම කොළඹ කණ්ඩායම හා තරග වැදුණු Outstations කණ්ඩායමට අමදෝරු ප්‍රමුඛ ධර්මරාජිකයින් හයක්ම සුදුසුකම් ලබන්නේ එවකට ධර්මරාජ කණ්ඩායමේ ප්‍රබලතාව මොනවට පෙන්නුම් කරමින්.
1985 වසරේදී රාජකීය හා සාන්ත තෝමස් කණ්ඩායම් සමඟ තරග ජය පරාජයෙන් තොරව අවසන් කරගන්නා ධර්මරාජ කණ්ඩායම ත්‍රිත්ව විද්‍යාලය සමඟ තරගයේදීත් හොඳ තරගයක් ලබා දෙනවා. ඉතා හොඳ තරගවරයක් ක්‍රීඩා කළ 1985 කණ්ඩායමේ ද ප්‍රබලම ක්‍රීඩකයෙක් වුණේ චන්දිම අමදෝරුයි.
රග්බි පිටියේ ප්‍රබල පුහුණුකරුවෙක් වුණු වයිපර් ගුණරත්න ගේ පුහුණුකාරීත්වයෙන් ධර්මරාජ කණ්ඩායම 1986 වසරට හොඳින් සුදානම් වුණා. ඉතා ප්‍රබල කණ්ඩායමක් හොඳින් සුදානම් කරගෙන සිටියත් ධර්මරාජ විද්‍යාලයට සිදු වුණේ නොසිතූ විරූ ලෙස තරග තහනමකට මුහුණ දෙන්නයි.
පාසලෙන් සමුගත් ඔහු ප්‍රබල ක්‍රීඩා සමාජ ක්‍රීඩකයෙක් බවට පත් වෙන්නේ මහනුවර ක්‍රීඩා සමාජය සමඟ එක් වෙමිනුයි. මහනුවර ක්‍රීඩා සමාජයේදී ප්‍රබලම ක්‍රීඩකයෙක් වුණු ඔහු 1991 වසරේදී මහනුවර ක්‍රීඩා සමාජයේ නායකයා ලෙසද ක්‍රීඩා කරනවා.
පසුව පුහුණුකරුවෙක් ලෙස කටයුතු කරන ඔහු ධර්මරාජ විද්‍යාලයට ඉමහත් සේවයක් කරනවා. 1995 වසරේදී ධර්මරාජ පළමු පෙළ රග්බි කණ්ඩායමේ පුහුණුකරු ලෙස ධර්මරාජයට ඉමහත් සේවයක් කරනවා. මහනුවර ක්‍රීඩා සමාජයේ ප්‍රබලම ක්‍රීඩකයෙක් වන ඉන්ද්‍රජිත් බණ්ඩාරනායක මෙන්ම රධික හෙට්ටිආරච්චි ද වරෙක ඔහුගේ සෙවණේ රග්බි ඉගෙන ගන්නවා.
පුහුණුකරුවෙකු මෙන්ම ක්‍රීඩකයෙක් ලෙසද ධර්මරාජය අභිමානය ඉහළටම ගෙන යන්නට සමත් වුණු චන්දිම අමදෝරු ගේ සුපිරි නායකත්වයත් දුර දක්නා නුවණත් ධර්මරාජ රග්බි පිටිය සදා ජීවමානයි.