1987 RR Captain

1987 වසර ගැන තොරතුරු සොයාගන්නට අපි මුලින් අසමත් වුණත් ධර්මරාජයේ අපේම සොයුරන්ගේ සහයෙන් 1987 වසර හා ඒ වසරේ ධර්මරාජ රග්බි කණ්ඩායමේ සුක්කානම මෙහෙයවූ ප්‍රසන්න ගුණතිලක ගැන තොරතුරු සොයා ගන්නට අප සමත් වුණා.
ධර්මරාජ රග්බි කණ්ඩායම 1986 වසරේදී අවාසනාවන්ත තරග තනමකට ලක් වුණා. ඉන් පසුව ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් රැසක්ම කණ්ඩායම හැර ගිය අතර ධර්මරාජයේ රග්බි ක්‍රීඩාවට උදා වුණේ අඳුරු කාල සීමාවක්.
ඒ කාලය ගැන 1988 වසරේ ධර්මරාජ නායකයා වූ සනත් පිටිගල ඔහුගේම වචනෙන් විස්තර කළේ මෙහෙමයි. ‘1987 කණ්ඩායමේ නායකත්වය ප්‍රසන්න මණතුංග හටත් 1988 නායකත්වය චන්දන මල්ලවාරච්චි හටත් ලබා දීමට තමා නියමිතව තිබුණේ.
නමුත් යම් කිසි හේතුවක් නිසා ඔවුන් දෙදෙනාට රග්බි ක්‍රීඩාව හැර යන්න සිදු වුණා. ඒ කාලයේම තවත් හොඳ ක්‍රීඩකයින් රැසක් කණ්ඩායම හැර ගියා. ක්‍රීඩකයින් විතරක් නෙවේ එවකට අපිට සිටිය පුහුණුකරුටත් අපිව අතහැර යන්න වුණා.
“අපිට දැනුණේ අපිට හැම දෙයක්ම නැති වුණා වගේ. කවුරුත් රග්බි බෝලයක් අල්ලන්න වත් කැමති වුණේ නැහැ. ගොඩක් ක්‍රීඩකයින් රග්බි ක්‍රීඩාව අතහැර ගියා. නමුත් මම ඒ වෙලාවේ රග්බි ක්‍රීඩාව අතහැරියේ නැහැ !”
“මම ප්‍රසන්න ගුණතිලක හා කතා කළා. ඔහු මට වඩා වැඩිමහල්, එවකට කණ්ඩායම් භාර ආචාර්ය වුණේ සීවලී අබේගුණසේකර. අපි ටැප් රග්බි ක්‍රීඩා කරන්න පටන් ගත්තා පාසැල නිමාවුනාට පස්සේ ඉස්කෝලේ ග්‍රවුන්ඩ් එකේ.”
“ඒක දැකලා පරණ ක්‍රීඩකයින් කිහිපදෙනෙක් නැවත අපි සමඟ සෙල්ලම් කරන්න ආවා. 1987 කණ්ඩායමේ සමූහ චයාරූපය බැලුවොත් ඔබට පෙනේවි ඒ ඉන්න ක්‍රීඩකයින් රග්බි ක්‍රීඩා කරපු අයම නෙවෙයි. මා ඇතුළුව ගොඩක් අය වෙනත් වෙනත් ක්‍රීඩා වල නිරත වුණු ක්‍රීඩකයින්.”
“අපි ඔවුන්ට ලොකු ගෞරවයක් දක්වන්න ඕනේ ධර්මරාජය රග්බි ක්‍රීඩාව බිංදුවේ සිටම යළිත් ගොඩ ගත්තට. අපිට ගොඩක් ලජ්ජා වුණා සමහර තරග වලදී. අපිව විශ්වාස කළේ නැහැ කවුරුත්, සමහර අය අපිට ඔච්චම් කළා. අපි තරග ගොඩක් පැරදුනා.”
“ඒ වුණත් අපේ නායකයා වුණු ප්‍රසන්න ගුණතිලක හැම වෙලාවේම අපිව දිරිමත් කළා. හැමවෙලාවෙම ඔහුගේ මුහුණේ සිනහවක් තිබුණා. ඔහුගේ ඒ සහය නිසාම අපිට අවශ්‍ය වුණා කොහොමහරි දිනලා පෙන්වන්න.”
“ප්‍රසන්න ගුණතිලක කවදාවත් අපෙන් මොනවත් බලාපොරොත්තු වුණේ නැහැ. කවදාවත් ඉස්කෝලෙන් මොනවත් බලාපොරොත්තු වුණේ නැහැ.”
“මම දන්නේ නැහැ ඔහුට පාසලේ වර්ණ තියෙනවද කියලා. ඔහු නියම ධර්මරාජය වෙනුවෙන් නියම සටන්කාමියෙක් වුණා. ඔහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මහත්මයෙක් වුණා.”
“ඒ වගේම අපි අපේ ගෞරවය දක්වන්න ඕනේ වයිපර් ගුණරත්න මහතා ට. සියලුම ප්‍රශ්න මැද ඔහු අපිත් එක්ක හිටියා. තාත්තා කෙනෙක් වගේ සහෝදරයෙක් වගේ අපිව පුහුණු කළා. අපේ නවක ක්‍රීඩකයින්ගේ ශාරීරික සුවතාව හදලා රග්බි ක්‍රීඩාව සඳහා ඔවුන්ව සුදානම් කළා. නියම සටන්කාමියෝ කවුද කියලා බලාගන්න පුළුවන් 1987 ධර්මරාජ රග්බි කණ්ඩායමේ සමූහ චායාරූපය බැලුවම.”
“මේ ක්‍රීඩකයින් සියලු දෙනාම, තමන්ගේ අනාගතය සඳහා වැය කරන්න තිබුණු කාලය ධර්මරාජය වෙනුවෙන් වැය කළා. ධර්මරාජයේ රග්බි ක්‍රීඩාව වෙනුවෙන් වැය කළා. අපි කණ්ඩායමක් විදියට තරග කළා.”
“අත්තාහි අත්තනෝ නාතෝ” ධර්මරාජයේ උදාන වාක්‍යය. ” අපිව දිරි ගන්වන්න කවුරුත් හිටියේ නැහැ. කළමනාකරුවන් නැහැ. ආදිශිෂ්‍යයින්ගේ සහය නැහැ. හිටපු ක්‍රීඩකයින් කිසිවෙක් නැහැ. ඔවුන් අපේ තරග බලන්න ආවෙත් නැහැ. නමුත් ගොඩක් අය මාසෙකටත් කලින් වෙනත් තරග නැරැඹීමට ටිකට් නම් වෙන් කරගෙන තිබුණා.”
“මේ වසරෙන් අපි ගොඩක් දේවල් ඉගෙනගත්තා. අපේ ජිවිතයට ගොඩක් දේවල් එකතු වුණා. අපි ඉගෙන ගත්තා අපේ ඉස්කෝලේ ආදර්ශ පාඨය – අත්තාහි අත්තනෝ නාතෝ – තම හිසට තම අතමය සෙවනැල්ල කියන එක හරියටම හරි කියලා.”
“හෙට දිනය උදාවෙනවට අපේ හිතේ බයක් තිබුණා. මොකද අපි දැනගෙන හිටියා හෙට පරාජය වෙනවා කියලා. ඒ වුණත් අපි කවදාවත් වැඩේ අතෑරියේ නැහැ. අපිට ඕනේ වුණා දවසක, කවදා හරි දවසක අපේ රග්බි ක්‍රීඩාව හොඳ තැනක තියෙනවා බලන්න.”
“මම අදටත් අපේ ඉස්කෝලේ තරග බලන්න යනකොට, අපි පැරදුනොත් මගේ ඇහැට නිකම්ම කඳුලක් එනවා, මම දන්නවා ඔවුන් අපි වගේ පැරදුනේ නැහැ කියලා. ඉතින් මම හිත හදාගන්නවා අපි කොහොමහරි ඊළඟ තරගය දිනාගනියි කියලා. ධර්මරාජය පරදිනවා බලන්න තවමත් මගේ හිතට බොහොම අමාරුයි.” සනත් පිටිගල 1987 වසරේ ධර්මරාජ රග්බි පිටිය ගැන සිය මතකයන් අවදි කරමින් පවසා සිටියා.
ධර්මරාජයේ රග්බි ක්‍රීඩාවට අඳුරු යුගයක් වුණු 1986 වසරෙන් පසුව 1987 වසරේදී අඳුරට එළියක් වෙමින් ධර්මරාජ රග්බි කණ්ඩායමේ ප්‍රසන්න ගුණතිලක ගේ නායකත්වයෙන් මෙන්ම තවත් බොහෝ ක්‍රීඩකයින්ගේ කැපවීමෙන් නැවත ගොඩ නැගුනේ එලෙසිනුයි. මේ තොරතුරු ප්‍රසන්න ගුණතිලකගේ හඬින්ම අසා ගන්නට නොහැකි වුණත් එවකට කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයෙක් වුණු පසුව ධර්මරාජ රග්බි කණ්ඩායමේ නායකයා ලෙසද කටයුතු කළ සනත් පිටිගල ගෙන් අස ගැනීමට ලැබීම අප ලද භාග්‍යයක්. ප්‍රසන්න ගුණතිලක පිළිබඳ තොරතුරු සොයා ගැනීමේදී අනුරුද්ධ ඒකනායක ඔබ අපට ලබා දුන් සහයත් මතක් කළ යුතුමයි.
ධර්මරාජයේ රග්බි ක්‍රීඩාවට ඉමහත් සේවයක් කළ ප්‍රසන්න ගුණතිලක, අඳුරෙන් ආලෝකයට ධර්මරාජයේ රග්බි ක්‍රීඩාව රැගෙන ආ නායකයා ලෙස ධර්මරාජ ඉතිහාසයේ ඔබ සදා අමරණීයයි.