1988 RR Captain

ධර්මරාජ රග්බි නායකයින් රැසක්ම ධර්මරාජයෙන් ලද පන්නරය යුධ භූමියටත් රැගෙන ගොස් මාතෘ භුමිය වෙනුවෙන් ඉමහත් සේවයක් ඉටු කළ. 1988 වසරේ දී ධර්මරාජ රග්බි කණ්ඩායම මෙහෙයවන්නේ ද වත්මනේ නාවික හමුදා කපිතාන් වරයෙක් මෙන්ම නාවික හමුදාවේ Marines අංශයේ අධ්‍යක්ෂක ලෙස කටයුතු කරන සනත් පිටිගල.
1977 වසරේදී 1 වසරේ පොඩ්ඩෙක් ලෙස ධර්මරාජයට එන සනත් පිටිගල කුඩා කළ සිටම ක්‍රීඩාවට දැඩි ලැදියාවක් දැක්වූ නායකයෙක් වුණා. යටවර සහෝදරයින් යටතේ වයස අවුරුදු 11 න් පහළ, වයස අවුරුදු 13 න් පහළ ධර්මරාජ රග්බි කණ්ඩායම් වල පුහුණු වන්නට තරම් සනත් පිටගල වාසනාවන්ත වුණා.
වයස අවුරුදු 13 න් පහළ කණ්ඩායමේ ද නායකයා වුණු ඔහු 9 ශ්‍රේණියේදී රිටිගහපොල, ජයසුන්දර, පිලපිටිය වැනි ප්‍රබල ක්‍රීඩකයින් සමඟ ධර්මරාජ දෙවන පෙළ රග්බි කණ්ඩයමේ ද ක්‍රීඩා කරන්නට වාසනාවන්ත වුණා. වයස අවුරුදු 17 න් පහළ වයස් කාණ්ඩයේ ක්‍රීඩා කරද්දී ඔහු ධර්මරාජ දෙවන පෙළ රග්බි කණ්ඩායමේ නායකයා ලෙස නම් වුණේ ඔහුගේ තිබුණු නායකත්ව ගතිගුණ නිසාමයි.
1986 වසරේදී ධර්මරාජයට ඉතා ප්‍රබල රග්බි කණ්ඩායමක් තිබුණත් අවාසනාවන්ත ලෙස ඒ වසරේ ධර්මරාජ රග්බි කණ්ඩායමට ලීග් තරගාවලිය ක්‍රීඩා කරන්නට නොහැකි වෙනවා. ප්‍රබලයින් රැසක් පාසලෙන් සමුගත් පසුබිමක 1987 වසරේදී ප්‍රසන්න ගුණතිලක ගේ නායකත්වයෙන් අභියෝග රැසක් මත ධර්මරාජය සිය පළමු පෙළ රග්බි කණ්ඩායම නැවත ක්‍රීඩා පිටියට ගෙනෙනවා. එම වසරේදී ධර්මරාජ පළමු පෙළ රග්බි කණ්ඩායමේ උප නායකයා ලෙස කටයුතු කරන්නේ ද සනත් පිටිගලයි.
1988 වසරේදී ද අභියෝග රැසක් සමඟ කණ්ඩායම මෙහෙයවූ ඔහුගේ නායකත්වය යටතේ වරෙක සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙක් ඉන්ද්‍රජිත් බණ්ඩාරනායක රග්බි ක්‍රීඩාවට පිවිසෙනවා. එමෙන්ම පසුව ධර්මරාජ රග්බි කණ්ඩායමේ නායකයෙක් බවට ද පත්වුණු නාතවිතාරණ ද ඔහුගේ නායකත්වය යටතේ ධර්මරාජ රග්බි කණ්ඩායමට පිවිසෙනවා.
අභියෝග රැසක් මැද වුණත් 1988 වසරේ දී ධර්මරාජ රග්බි කණ්ඩායම සාන්ත පීතර කණ්ඩායමට එරෙහිව තියුණු ජයක් වාර්තා කරනවා. ඒ සෙන්ටර් ස්ථානයේ ක්‍රීඩා කළ සංජිව රත්නායකගේ අවසන් තීරණාත්මක උත්සාහක දිනුමේ සවියෙන්.
මලියදේව කණ්ඩායමට එරෙහිව තරගයේදී අපූරු සිදුවීමක් වූ බව සනත් පිටිගල මතක් කරන්නේ සිනහමුසු මුහුණින්. මලියදේව පිටියේදී පැවැත්වුණු ඒ තරගයේදී උත්සාහක දිනුමක් සඳහා ධවල රේඛාව ආසන්නයේ ගුවනේ පාවී ගිය සුදේශ් රත්නායක පිටිය අසල තිබුණු ලිඳකට වැටී තිබුණු සිය සගයන් බියට පත් කරමිනුයි. පන්දුවත් සමඟ ගුවනේ පාවී ගිය සුදේශ් එක්වරම අතුරුදහන් වූ බව සනත් පිටිගල මතක් කරන්නේ සිනහ මුසු මුහුණින්.
1988 ධර්මරාජ රග්බි කණ්ඩායම පුහුණුවීම් කරන්නේ වයිපර් ගුණරත්න ගේ පුහුණුකාරිත්වයෙන් වීම විශේෂත්වයක්. ඔහු යටතේ ධර්මරාජයේ රග්බි ක්‍රීඩාවට නවමු වෙනසක් වූ බවද ඔහු මතක් කර සිටිනවා.
ක්‍රීඩාවන් රැසකටම වර්ණ දිනා ඇති ඔහු පාසලේ වර්ණ රාත්‍රිය ක්‍රීඩාවන් රැසකින් වර්ණවත් කරමින් පාපන්දු, රග්බි, හොකී මෙන්ම මලල ක්‍රීඩා වලින් ද වර්ණ දිනාගෙන තිබෙනවා.
රග්බි පිටියේ නායකත්වයේ අත්දැකීම් යුධ පිටියටත් රැගෙන ගිය ඔහු කෙඩෙට් නිලධාරියෙක් ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාවට එකතු වෙනවා. නාවික හමුදාවේ ඉහළටම ගිය ඔහු නාවික හමුදාවේ කපිතාන් ධූරය දක්වාම ඉහළට යන්නට සමත් වුණා. වත්මනේ ඔහු නාවික හමුදා Marines අංශයේ අධ්‍යක්ෂක වරයා ලෙස සිය මාතෘ භූමියට සිය සේවය ලබා දෙනවා.
ධර්මරාජයේ රග්බි ක්‍රීඩාවට මෙන්ම අපේ මාතෘ භුමියටත් සනත් පිටිගල කළ සේවය අසීමිතයි. ඔහුගේ නායකත්වය, බාධක හමුවේ නොසැලෙන ගුණය ධර්මරාජ රග්බි පිටියේ සදා ජීවමානයි.