1989 RR Captain

Anurudha Ekanayake

Anuruddha Ekanayake

අඳුරු යුගයකින් ආලෝකය කරා ආ ධර්මරාජයේ රග්බි ක්‍රීඩාව 1988 – 1989 වසර වලදී ක්‍රමයෙන් සුපුරුදු දක්ෂතා අතරට එනවා. අත්දැකීම් බහුල ක්‍රීඩකයින් ද නවක ක්‍රීඩකයින් ද සමඟින් 1989 ධර්මරාජ රග්බි කණ්ඩායමේ මෙහෙයවන්නේ අනුරුද්ධ ඒකනායක. පාසලේදී පමණක් නොව පාසලෙන් පසුවත් ආදී ධර්මරාජිකයින්ගේ රග්බි පාපන්දු සංගමයට එක්ව පාසල වෙනුවෙන් දැඩි සේවයක් කරන්නට ඔහු කැපවුණේ ධර්මරාජයට තිබුණු ආදරය නිසාමයි.

2 ශ්‍රේණියෙන් ධර්මරාජයට පා තබන ඔහු කුඩා කළ සිටම රග්බි ක්‍රීඩාවට යොමු වුණා. වයස අවුරුදු 13 න් පහළ, වයස අවුරුදු 15 න් පහළ හා වයස අවුරුදු 17 න් පහළ වන තුරු ධර්මරාජයේ පාපන්දු කණ්ඩායම නියෝජනය කළ ඔහු පාපන්දුවට මෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවටත් අති දක්ෂයෙක් වුණා. වයස අවුරුදු 13 න් පහළ ක්‍රිකට් කණ්ඩායමටත් ක්‍රීඩා කළ ඔහු යගුලිය හා කවපෙත්ත යන පිටියේ ඉසව් වලින් ධර්මරාජයේ නාමය පළාත් මට්ටම කරා රැගෙන යන්නට සමත් වුණා.

1986 ධර්මරාජ රග්බි කණ්ඩායම අවසානවත්න තහනමකට ලක් වූ නිසා ඔහු 1987 වසරේදී ප්‍රසන්න ගුණතිලක ගේ නායකත්වය යටතේ ධර්මරාජ පළමු පෙළ රග්බි කණ්ඩායමට ක්‍රීඩා කරනවා. පසුව 1988 වසරේද සනත් පිටිගල ගේ නායකත්වයෙන් පළමු පෙළ රග්බි කණ්ඩායමේ දස්කම් දක්වන ඔහු ලංකා ඉතිහාසයේ දරුණු කාලසීමාවක් වූ 1989 වසරේදී ධර්මරාජ රග්බි කණ්ඩායමේ නායකත්වය භාර ගන්නේ අභියෝග රැසක්ම සමඟයි.

රටේ පැවති අයහපත් වාතාවරණය නිසා 1989 වසරේදී ධර්මරාජ රග්බි කණ්ඩායමට සැලසුම් කළ තරග 11 න් ක්‍රීඩා කළ හැකි වූයේ තරග පහක් හෝ හයක් පමණක් බව ඔහුගේ මතකය කියා සිටිනවා.

1989 වසරේ ධර්මරාජ රග්බි කණ්ඩායමේ තවත් සුවිශේෂතා කිහිපයක්ම තිබුණා. ඒ එම කණ්ඩායමට නායකයින් දෙදෙනෙක්ම ක්‍රීඩා කිරීමයි. 1988 ධර්මරාජ රග්බි කණ්ඩායමේ නායකයා වූ සනත් පිටිගල මේ වසරේදීත් ධර්මරාජ කණ්ඩායම නියෝජනය කළේ අනුරුද්ධ ඒකනායක ට මනා සහයක් ලබා දෙමිනුයි.

මේ කණ්ඩායමේ සාරංග කිරිදෙන, ධනංජය අළුදෙණිය, පිටිගල වැනි ප්‍රබලයින් රැසක්ම ක්‍රීඩා කළ අතර මහනුවර ක්‍රීඩා සමාජයේ පමණක් නොවන ශ්‍රී ලංකාවේම හොඳම ක්‍රීඩකයෙක් ලෙස සැලකෙන ඉන්ද්‍රජිත් බණ්ඩාරනායක පළමු වරට ධර්මරාජ රග්බි කණ්ඩායමට නියෝජනය කරන්නේ මේ වසරේදී වීම විශේෂත්වයක් වුණා.

1989 වසරේ ධර්මරාජය ක්‍රීඩා කළ තරග අතර මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලයට එරෙහිව ක්‍රීඩා කළ තරගය මතකයේ රැඳුනු තරගයක් බව අනුරුද්ධ ඒකනායක පවසා සිටිනවා. එම තරගය මුල සිටම ධර්මරාජ කණ්ඩායම පෙරමුණේ සිටියත් අවාසනාවට අවසන් මොහොතේදී එක් ලකුණකින් පරාජය වෙන්නට ධර්මරාජ රග්බි කණ්ඩායමට සිදු වුණා.

ධර්මරාජ ක්‍රීඩා කවුන්සිලයේ ලේකම් ද වූ අනුරුද්ධ ඒකනායක රග්බි ක්‍රීඩාවට දැක්වූ දස්කම් නිසාම ඔහුට 1988 හා 1989 වසර වල පාසැල් වර්ණ ද හිමි වෙනවා.
ධර්මරාජයෙන් නික්මුනත් ඔහු රග්බි ක්‍රීඩාවට සමු දුන්නේ නැහැ. වයස අවුරුදු 20 න් පහළ පිටපළාත් කණ්ඩායමට ක්‍රීඩා කරන්නට පවා ඔහුට වරම් හිමි වෙනවා. පසුව රදැල්ල කණ්ඩායමට ක්‍රීඩා කරන ඔහු 2005 දක්වාම රග්බි ක්‍රීඩාවේ නිරත වීම විශේෂත්වයක් .

1998 වසරේදී Inter Plantation සත් සාමාජික රග්බි තරගාවලියේ හොඳම ක්‍රීඩකයා ලෙස සම්මාන දිනා ගන්නවා. පසුව වසර හතකට පසුව කොටගල කණ්ඩායමට එවකට ජයග්‍රහණය ගෙන එන්නෙත් ඔහුගේ දක්ෂතා නිසයි.

ඉතාම නිහතමානී චරිතයක් ලෙස කවුරුත් හඳුනන අනුරුද්ධ ඒකනායක ධර්මරාජයෙන් නික්මුණු පසුවත් ධර්මරාජය අමතක නොකළ අයෙක්. ආදී ධර්මරාජිකයින්ගේ රග්බි පාපන්දු සංගමයේ සක්‍රිය සාමාජිකයෙකු ලෙස එහි ආරම්භයේ සිටම සම්බන්ධව සිටි ඔහු එහි නිළධාරියෙකු ලෙස පත් වුණත් නැතත් අද වන තෙක්ම සියට දැනුමෙන් ආදී ධර්මරාජිකයින්ගේ රග්බි පාපන්දු සංගමයට සහය ලබා දෙනවා.

කණ්ඩායමට අවශ්‍ය නම් කන්නට බත් පත පවා තමන්ගේ වියදමින් අරන් දෙන ඔහු හා ඔහුගේ සමකාලීනයෙකු වශයෙන් ක්‍රීඩා කරමින් අද වන තුරුම ආදී ධර්මරාජිකයින්ගේ රග්බි පාපන්දු සංගමයට ඉමහත් සේවයක් ලබා දෙන උපාලි බන්දුලසේන ද අනුරුද්ධ ඒකනායක ගැන මතක් කරනවිට නිතැතින්ම මතකයට එනවා.

ආදී ධර්මරාජිකයින්ගේ රග්බි පාපන්දු සංගමයට ඉතා විශාල සහයක් හද පතුලෙන්ම ලබා දෙන ඔහු ක්‍රීඩකයෙක් ලෙසත් නායකයෙක් ලෙසත් ආදී ශිෂ්‍යයෙක් ලෙසත් ධර්මරාජයේ රග්බි ක්‍රීඩාවට කරන සේවය අමරණීයයි.