1991 RR Captain

ධර්මරාජයේ රග්බි නායකයින් හා රග්බි ක්‍රීඩකයින් රැසක්ම ධර්මරාජ කන්දෙන් ලැබුණු සටන්කාමීත්වය යුධ පිටියට ද රැගෙන ගියේ සිය සේවය මව්බිමටත් ලබා දෙමිනුයි. රිවි රැස මෙහෙයුමේ දී සිය ජීවිතය මව්බිම වෙනුවෙන් පූජා කරමින් මව් බිම වෙනුවෙන් සිය උපරිම යුතුකම ඉටු කළ රොෂාන් නාතවිතාරණ 1991 වසරේදී ධර්මරාජ කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළා.
එකල ඔහුගේ දස්කම් විස්කම් ඔහුගෙන්ම අසාගන්නට අපට වාසනාව නැති වුණත් ඔහුගේ මව වන අමරා ගල්ගමුව හා ඔවුන්ගේ මිතුරන් වන උපාලි බන්දුලසේන, දිලුක් රත්නායක, ඉන්දික ඩි සොයිසා ගේ මතකයන් වලින් මේ සටහන සැකසුණා.
උපන්ගම වන අනුරාධපුරයේ සිට මහනුවරට පැමිණෙන ඔහු ධර්මරාජයට ඇතුළු වන්නේ අට වසරේදී. සුවිශේෂී දේහධාරී ලක්ෂණ තිබුණු ඔහු 14 වන වියේදී අඩි 6.9 ක් තරම් උස වුණේ කාගේත් අවධානය දිනා ගනිමිනුයි.
ඒ කාලයේ සිටම කවපෙත්ත විසි කිරීම හා යගුලිය විසි කිරීම යන ඉසව් වලින් කලාප හා පළාත් මට්ටමේ ජයග්‍රහණ ධර්මරාජයට ගෙන එන්නට ද රොෂාන් නාතවිතාරණ සමත් වුණා.
නවය වසරේ සිටි මේ දේහධාරී පොඩ්ඩා දුටු එවකට විදුහල්පති වූ ඒ. පී ගුණරත්න මහතා ඔහුව රග්බි ක්‍රීඩාවට කැඳවා ගන්නේ ජීවිතේට රග්බි බෝලයක් අල්ලා නොතිබුණු පොඩි කොල්ලෙක් පළමු පෙළ රග්බි කණ්ඩායම ඇතුළු කරමිනුයි.
වරෙක ඔහුගේ මව ඔහු රග්බි ක්‍රීඩා කිරීම පිළිබඳව සිය අකමැත්ත ප්‍රකාශ කළත් විදුහල්පතිතුමාගේ උනන්දුව නිසාම ඇය යොවුන් නාතවිතාරණ හට රග්බි ක්‍රීඩා කරන්නට අවසර ලබා දෙනවා.
ඉතා උස ක්‍රීඩකයෙක් වුණු ඔහු දෙවන පෙළ ක්‍රීඩකයෙක් ලෙස ධර්මරාජ පළමු පෙළ රග්බි කණ්ඩායමට එක්වන්නේ සිය උස නිසා Lineout අවස්තාවලදී කණ්ඩායමට අමතර වාසියක් එක් කර දෙමිනිනුයි. නාතවිතාරණ සිය පළමු තරගයේදී ම කාගේත් අවධානය දිනා ගන්නවා. ඔහුගේ දක්ෂතාව හඳුනාගත් කොළඹ රාජකීය විද්‍යාලය ද පළමු තරගයෙන් පසුව ඔහුව කොළඹ එවන්නැයි ඉල්ලා සිටි නමුත් ඔහුගේ මව එය ප්‍රතික්ෂේප කරනවා.
“ජම්ප් නාතේ ජම්ප්” Lineout අවස්තාවක් ලැබුණු වහා බෝගම්බර සිසාරා ඇසෙනවා. මහනුවර පොදු වෙළඳපොලේ මෙන්ම නගරයේ බොහෝ දෙනාද එවකට කඩ සාප්පු වසා දමා නාතවිතාරණ ක්‍රීඩා කරන තරග නැරඹීමට පැමිණෙන බව ඔහුගේ මව අප සමඟ පවසා සිටියේ ඔහුගේ දස්කම් පිළිබඳ අප සමඟ අදහස් බෙදා ගනිමිනුයි.
ඔහුගේ මිතුරෙක් නාතවිතාරණ ගැන මෙලෙස පවසා සිටියා. “නාතේ, අඩි 6යි අඟල් 7යි, ඒ කාලේ රග්බි ක්‍රීඩාවේ උසම ක්‍රීඩකයා. හරිම සුන්දර මිතුරෙක්, නාතේට වෙනම බූට් හොයන්න ඕන, සයිස් එක 13, කලිසමක් මහන්න ලෙන්ත් 1 1/2ක්වත් ඕන. බස් එකේ හිටගෙන යනවනම් ෆුට් බෝඩ් එකේ විතරයි යන්න පුලුවන්” ඔහුගේ සමකාලීනයෙක් වුණු උපාලි බන්දුලසේන, නාතවිතාරණ ගැන ඔහුගේ සුන්දර මතකයන් අප සමඟ බෙදා ගත්තේ එලෙසින්.
වසර හතරක් පළමු පෙළ කණ්ඩායම නියෝජනය කළ නාතවිතාරණ 1991 වසරේදී ධර්මරාජ කණ්ඩායමේ නායකත්වය හිමිකර ගන්නවා. ඒ පාසැල් වර්ණ ද දිනාගත් රග්බි ක්‍රීඩකයෙක් ලෙසයි.
1990 වසරේ තරග පහක් ජයගත් ශක්තිමත් ධර්මරාජ පළමු පෙළ කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයින් රැසක්ම 1991 වසරේදී ද නාතවිතාරණට සහය දැක්වූ අතර 1991 වසරේ තරග පහක් ජය ගන්නට ධර්මරාජ පළමු පෙළ කණ්ඩායම සමත් වුණා. ආනන්ද විද්‍යාලය සමඟ තරගය අවාසනාවන්ත ලෙස ජය පරාජයෙන් තොරව අවසන් වුණා.
ඉතිරි තරග තුන විනිසුරුවන්ගේ දුර්වල තීරණ නිසා ධර්මරාජයට ජය අහිමි වූ බව නාතවිතාරණට ගේ සමකාලීනයෙක් වුණු දිලුක් රත්නායක පවසා සිටිනවා. රාජකීය විද්‍යාලය සමඟ තරගය ලකුණු 16-10 ක් ලෙසත්, තර්ස්ටන් විද්‍යාලය සමඟ තරගය 10-13 ක් හා ලුම්බිණි විද්‍යාලය සමඟ තරගය සමඟ තරගය 12-13 ක් ලෙස ධර්මරාජය අවාසනාවන්ත පරාජයන් වලට මුහුණ දුන්නා.
ධර්මරාජය රග්බි ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් 1991 වසරේ අන්තර් පාසල් සත් සාමාජික රග්බි තරගාවලියේ පලිහ කාණ්ඩයේ අනු ශුරතාවය දිනා ගන්නටත් රොෂාන් නාතවිතාරණ ගේ නායකත්වයෙන් තරග වැදුණු ධර්මරාජ සත් සාමාජික රග්බි කණ්ඩායම සමත් වුණා. ඒ ප්‍රබල නාතවිතාරණ ගේ පෞර්ෂත්වය නිසා සියලුම පාසල් කණ්ඩායම් එවකට ධර්මරාජ කණ්ඩායමට දැඩි සේ බිය වූ බව දිලුක් රත්නායක පවසා සිටිනවා.
මහනුවර, CR & FC, පොලිස්, හැව්ලොක් වැනි ක්‍රීඩා සමාජ රැසකින් ඔහුට ආරාධනා ලැබුණත් කුඩා කල සිටම යුධ හමුදාවට ඔහු දැක්වූ ආශාව නිසා කැඩෙට් නිලධාරියෙක් ලෙස ඔහු යුධ හමුදාවට එක් වුණා.
යුධ හමුදාවට එක්වූ පසුව ඔහුට බොක්සින් ක්‍රීඩාවේ නිරත වන්නට අවස්තාව ලැබී තිබුණු අතර එහිදී ඔහු ක්‍රීඩා කළ පළමු තරගයෙන්ම එවකට යුධ හමුදා බොක්සින් ශුරයාව පරාජය කරන්නට ඔහු සමත් වුණා.
පසුව 23 හැවරිදි වියේම ගජබා රෙජිමේන්තුවේ දෙවන ලුතිනන් වරයෙක් වශයෙන් වශයෙන් උසස් වීම් ලබා යුද්ධයට සක්‍රියව දායක වුණු ඔහු 1995 වසරේ නොවැම්බර් 19 දා රිවිරැස මෙහෙයුමේද අභිතව සටන් කරමින් ජිවන ගමනට සමු දෙනවා. ඔහුගේ දස්කම් පිළිබඳව වත්මන් ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න ලියූ රණමග ඔස්සේ නන්දිකඩාල් පොතේ ද සඳහන් ව තිබීම විශේෂත්වයක්.
ඔහුගේ සොයුරු විදුරංග නාතවිතාරණ මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය වෙනුවෙන් රග්බි නායකයෙකු ලෙස වරෙක කටයුතු කිරීම විශේෂත්වයක්.
“නාතවිතාරණ නම අප සිත්වල සදා කාලිකව තිබෙන බව ස්ථිරයි. ඔහු ධර්මරාජයේ රග්බි ක්‍රීඩාවල කළ සේවය කියා නිම කළ නොහැකියි.” ඔහුගේ සමකාලීනයෙක් වන දිලුක් රත්නායක නාතවිතාරණ ගැන පසුවදනක් එක් කර සිටියා.