1992 RR Captain

Vajira Pitigala

Vajira Pitigala

අයියා මල්ලී නායකයින් ධර්මරාජයට නුහුරු නුපුරුදු දෙයක් නොවේ. 1988 වසරේ ධර්මරාජ රග්බි කණ්ඩායමේ නායකත්වය හෙබවූ සනත් පිටිගල ගේ සොයුරු වජිර පිටිගල 1992 වසරේදී ධර්මරාජයේ රග්බි සුක්කානම සියතට ගන්නවා.

සිය සොයුරාගේ අවෑමෙන් රග්බි ක්‍රීඩාවට ආදරය කළත් පාපන්දු, හොකී, මලල ක්‍රීඩා යන සියලුම ක්‍රීඩා ඉසව් වලට ඔහු එක ලෙස දක්ෂ වුණා. ධර්මරාජ පාපන්දු කණ්ඩායමේ ද නිත්‍ය සාමාජිකයෙක් වුණු ඔහු වයස අවුරුදු 17න් පහළ ධර්මරාජ පාපන්දු කණ්ඩායම නියෝජනය කරමින් ධර්මරාජ කණ්ඩායම මධ්‍යම පළාත් ශුරයින් බවට පත් කරන්නට ඉතා ඉහල දායකත්වයක් සපයනවා. පාපන්දු ක්‍රීඩාවට මෙන්ම හොකී ක්‍රීඩාවට ද එක ලෙස දක්ෂ වුණු ඔහු ධර්මරාජ හොකී කණ්ඩායම නියෝජනය කරමින් ධර්මරාජ කණ්ඩායම මධ්‍යම පළාත් ශුරයින් බවට පත් කරන්නටද වෙහෙස මහන්සි වෙනවා.

1990, 1991, 1992 යන වසර තුනේම ධර්මරාජ පළමු පෙළ රග්බි කණ්ඩායම නියෝජනය කරන ඔහු 1992 වසරේදී කණ්ඩයමේ සුක්කානම අතට ගන්නේ නවක ක්‍රීඩකයින් රැසක්ම සමඟයි. වයස් සීමාව හා විභාග වැනි කරුණු නිසා ප්‍රබල ක්‍රීඩකයින් රැසක් කණ්ඩායමෙන් නික්මුණු වසරක් ලෙස 1992 වසර හැඳින්විය හැකියි.

ඉන්දික ද සොයිසා, ලොකුසුරිය, විජේවර්ධන හා නවක ක්‍රීඩකයෙක් ලෙස කණ්ඩායමට එක්වුණු තිස්ස ගුරුගේ ඒ වසරේදී ප්‍රබල ක්‍රීඩකයින් ලෙස කණ්ඩායමට සිය දායකත්වය දැක්වූ බව වජිර පිටිගල මතක් කර සිටිනවා. 1992 වසර ආරම්භයේදී සිය කණ්ඩායමට පුහුණුකරුවෙක් නොසිටි බව ඔහුගේ මතකයේ තිබෙනවා. පසුව ඇලෙක්ස් ලාසරස් ධර්මරාජ රග්බි කණ්ඩායමට ප්‍රධාන පුහුණුකරු ලෙස එක්වුණා.

ඒ වසරේ ධර්මරාජ රග්බි කණ්ඩායම ක්‍රීඩා කළ ප්‍රධාන තරග දෙකක් ඔහුගේ මතකයේ තිබෙනවා. ඒ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය හා කොළඹ රාජකීය විද්‍යාලය සමඟ පැවැත්වුණු තරගයි. ත්‍රිත්ව තරගයේදී ධර්මරාජ කණ්ඩායම ඉතා හොඳ ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කළත් ත්‍රිත්ව කණ්ඩායම පළමු අර්ධයේ වාර්තා කළ උත්සාහක දිනුමක් හා දඬුවම් පහරක් නිසා තරගයේ ජය ඔවුන්ට හිමි වුණා. රාජකීය විද්‍යාලය සමඟ තරගය ද ධර්මරාජ කණ්ඩායම හොඳින් ක්‍රීඩා කළත් ඒ තරගය තුලදී පිටිගල ආබාධයකට ලක් වී තිබුණා. ධර්මරාජිකයින් සතු බාධක හමුවේ නොසැලෙන ගුණය මනා ලෙස පෙන්නුම් කරමින් ඔහු ඒ තරගය නිමා වන තුරු පිටියේ රැඳී සිටීම විශේෂත්වයක්.

එක්සත් සංගක්කාර, හා තරගාවලිය මැද කණ්ඩායමෙන් නික්මුණු T. P විජේරත්න මේ කණ්ඩායමේ ප්‍රධානතම ක්‍රීඩකයින් ලෙස දස්කම් දක්වන්නට සමත් වුණා.
ආබාධයක් මැද වුණත් ඔහු තර්ස්ටන් කණ්ඩායම සමඟ තරගය ක්‍රීඩා කරන්නේ සිය කණ්ඩායම පිළිබඳව ඔහුට තිබුණු හැඟීම නිසාමයි. ඒ තරගයේ පළමු උත්සාහක දිනුම වාර්තා කරන්නටත් ඔහු සමත් වෙනවා. පසුව තරගාවලිය මැද සුබෝධ කළුපේ, දුමින්ද කලන්සූරිය, ජනක් වැනි ක්‍රීඩකයින් හොඳ රිද්මයකට පිවිස දස්කම් දැක්වූ බව ඔහු මතක් කර සිටිනවා.

කණ්ඩායම් හැඟීමෙන් හොඳින් තරග කරමින් සිටි ධර්මරාජ කණ්ඩායමට මීළඟට හිමිවන්නේ කොළඹ ආනන්ද විද්‍යාලයේ අභියෝගයයි. මේ තරගය ඒ වසරේ ධර්මරාජ රග්බි කණ්ඩායම මුහුණ දුන් සංධිස්ථානයක් බව ඔහු මතක් කර සිටිනවා. මේ තරගයේ අවසානය වන තෙක් ආනන්ද කණ්ඩායම ඉදිරියෙන් සිටියත් අවසන් මිනිත්තු පහේදී ක්‍රියාත්මක වුණු ධර්මරාජ ක්‍රීඩකයෝ උත්සාහක දිනුමක් ක්‍රීඩා කරමින් තරගයේ දිනුම තමන් සතු කරගන්නට සමත් වුණා. ඒ පන්නරයෙන්ම කොළඹ ගිය ධර්මරාජ කණ්ඩායම ලකුණු 50-00 ක් ලෙස වෙස්ලි විද්‍යාලය ද පරාජය කළ බව ඔහුගේ මතකයේ තිබෙනවා.

ප්‍රබල ජයග්‍රහණ කිහිපයක් සමඟින් ධර්මරාජ කණ්ඩායම ලීග් ලකුණු සටහනේ තුන්වන ස්ථානය දක්වා එන්නට ද සමත් වෙනවා. පසුව පැවති ප්‍රේමදාස කුසලාන පිළිමලුන් පිටිදැකීමේ තරගාවලියට ධර්මරාජය යන්නේ ආබාධ රැසකුත් කරපින්නාගෙනයි. එහි පළමු තරගයේදී කෙසේ හෝ D. S සේනානායක කණ්ඩායම පරාජය කරන ධර්මරාජය ඉසිපතන කණ්ඩායම කණ්ඩායම තරගාවලියෙන් ඉවත් වෙනවා.
සිය වැඩිමහල් සහෝදරයාගේ අඩිපාරේ ම යමින් ඔහු පසුව නාවික වෘත්තිය තෝරා ගන්නවා.

ඔහුගේම වචනයෙන් කියනවා නම් “අහසින් වැටුණු” කණ්ඩායමක් සමඟ රග්බි ලීගය උඩු යටිකුරු කරමින් වජිර පිටිගල කළ වික්‍රමය ධර්මරාජ රග්බි රසිකයින්ගේ මතකයේ සදා ජීවමානයි.