1993 RR Captain

නවක ක්‍රීඩකයින් රැසක් සමඟින් ධර්මරාජ රග්බි කණ්ඩායම 1993 වසරට පිවිසෙනවා. 1993 වසරේ ධර්මරාජ කණ්ඩායමේ නායකත්වය දරමින් කටයුතු කරන්නේ සුබෝධ කලුපේ.
1980 වසරේදී ධර්මරාජයට එන සුබෝධ කලුපේ කුඩා කල සිටම රග්බි ක්‍රීඩාවට ඇලුම් කරනවා. ඒ නිසාම ඔහු වයස අවුරුදු 13 න් පහළ හා වයස අවුරුදු 15 න් පහළ ධර්මරාජ කණිෂ්ඨ රග්බි කණ්ඩායම් නියෝජනය කරනවා.
රග්බි ක්‍රීඩාවට ඔහුට තිබුණු දක්ෂතාවය නිසාම වයස අවුරුදු 15 න් පහළ කණ්ඩායමේ ක්‍රීඩා කරන සමයේම ඔහුට ධර්මරාජ දෙවන පෙළ රග්බි කණ්ඩායමේ ද අසුනක් හිමි වෙනවා. වයසෙන් මෙන්ම අත්දැකීම් වලින්ම මුහුකුරා යන සුබෝධ කලුපේ වයස අවුරුදු 17 න් පහළ කණ්ඩායමේ ක්‍රීඩා කරන කාලයේදීම ඔහුට ධර්මරාජ පළමු පෙළ කණ්ඩායමේ ක්‍රීඩා කිරීමට අවස්තාව හිමි වෙනවා.
පළමු පෙළ කණ්ඩායම අඛණ්ඩව වසර තුනක් නියෝජනය කරන ඔහු 1992 වසරේදී ධර්මරාජ රග්බි කණ්ඩායම නියෝජනය කරමින් ආර් ප්‍රේමදාස කුසලාන තරගාවලියටත් ක්‍රීඩා කරනවා.
1992 හා 1993 වසර වලදී ද වර්ණ දිනාගන්නා ඔහු 1993 වසරේදී ධර්මරාජ කණ්ඩායමේ සුක්කානම අතට ගන්නවා. එම වසරේ D.S සේනානායක විද්‍යාලය සමඟ තරගය ඔහුට අමතක නොවන තරගයක්. ඒ ධර්මරාජ කණ්ඩායම අවසන් මොහොතේ D.S සේනානායක කණ්ඩායම පරාජය කරන්නට සමත් වූ නිසයි.
1992 වසරේ ප්‍රේමදාස තරගාවලියේදී සිදු වූ අවාසනාවන්ත සිදුවීමක් ද ඔහු අප සමඟ බෙදා ගත්තා. අපගේ යාර 20 සීමාව සිට පන්දුව ප්‍රතිවාදී ධවල රේඛාව කරාම රැගෙන ගොස් එහිදී පන්දුව අතහැරීම නිසා උත්සාහක දිනුමක් අහිමි වීම ද ඔහුගේ මතකයේ නොනැසී පවතිනවා.
පාසලෙන් පසුව ශ්‍රී ලංකා පාසල් තේරීම් තරග සඳහා සහභාගී වන්නටත් සුබෝධ කලුපේට අවස්තාව හිමි වෙනවා. Kandy Youth ක්‍රීඩා සමාජයට ද ක්‍රීඩා කරන ඔහු John Keels කණ්ඩායම වෙනුවෙන් වෙළඳ සේවා රග්බි තරගාවලිය ද ක්‍රීඩා කිරීම විශේෂත්වයක්.
පසුව පුහුණුකරුවෙක් ලෙස මෙන්ම ORRFA හි සක්‍රීය සාමාජිකයෙක් ලෙස ද ඔහු ධර්මරාජයේ රග්බි ක්‍රීඩාවට ඉමහත් සේවයක් ඉටු කරනවා.
2000 වසරේ දී පුහුණුකරුවෙක් ලෙස ධර්මරාජ පළමු පෙළ රග්බි කණ්ඩායමට මෙහයවන ඔහු 2011 හා 2012 සහය පුහුණුකරු ලෙස ධර්මරාජ පළමු පෙළ රග්බි කණ්ඩායම පෝෂණය කරනවා.
එමෙන්ම ධර්මරාජ රග්බි ඉතිහාසය අලුත් කරමින් ධර්මරාජ සත් සාමාජික රග්බි කණ්ඩායම අන්තර් පාසල් සත් සාමාජික රග්බි තරගාවලිය ජයග්‍රහණය කරද්දී එම කණ්ඩායමේ සහය පුහුණුකරු ලෙසට කටයුතු කරන්නේ සුබෝධ කලුපේ.
2013 වසරේදී රධික හෙට්ටිආරච්චි ගේ පුහුණුකාරිත්වය යටතේ ධර්මරාජ රග්බි කණ්ඩායම අන්තර් පාසල් ලීග් රග්බි කිරුල ජයග්‍රහණය කරද්දී එම ජයග්‍රහණයේ වැදගත් කොටස්කරුවෙක් වෙමින් ඔහු කණ්ඩායමේ සහය පුහුණුකරු ලෙස ද කටයුතු කරනවා. 2013 වසරේ සිට 2016 වසර දක්වාම ඔහු ධර්මරාජ පළමු පෙළ රග්බි කණ්ඩායමට ගුරුහරුකම් ලබා දෙනවා.
ආදී ධර්මරජිකයින්ගේ රග්බි පාපන්දු සංගමයටත් ඉමහත් සේවයක් කළ ඔහු 2010, 2011 හා 2012 වසර වලදී එහි ලේකම් ලෙස ද කටයුතු කරමින් ධර්මරාජයේ රග්බි ක්‍රීඩාවට ඉමහත් සේවයක් ඉටු කළා.
නායකයෙක්, පුහුණුකරුවෙක් ලෙස මෙන්ම ආදී ධර්මරාජිකයෙක් ලෙස ද සුබෝධ කලුපේ ධර්මරාජයට කළ සේවය ඉතා ධර්මරාජ රග්බි පිටියේ සදා ජීවමානයි.