1994 RR Captain

80 දශකයේ අග භාගයේදී ධර්මරාජයේ රග්බි ක්‍රීඩාව නවමු මගකට යොමු වුණා. ඒ නැවුම් වෙනසත් රැගෙන 1994 වසරට ධර්මරාජ රග්බි කණ්ඩායම පිවිසෙන්නේ පාපන්දු ක්‍රීඩාවට මෙන්ම රග්බි ක්‍රීඩාවටත් දෙකටම අතිදක්ෂ නායකයෙක් සමඟින්. ඒ ජනක් සමරසිංහ.
පාපන්දු ක්‍රීඩාවට උපන් හපනෙක් වුණු ජනක් සමරසිංහ කුඩා කල සිටම පාපන්දු ක්‍රීඩාවට දැඩි ඇලුම් කමක් දැක් වූවා. ඒ නිසාම 7 ශ්‍රේණියේ සිටියදීම වයස අවුරුදු 14 න් පහළ පාපන්දු කණ්ඩායමට මුහුණදීමට වරම් හිමි කර ගත් ඔහු වයස අවුරුදු 16 න් පහළ 17 න් පහළ පාපන්දු කණ්ඩායම් වලට ද ක්‍රීඩා කළේ පාපන්දු ක්‍රීඩාවෙන් සුපිරි දස්කම් දක්වමිනුයි.
ඒ දස්කම් නිසාම ඔහු 1993 වසරේදී ධර්මරාජ විද්‍යාලයීය පාපන්දු කණ්ඩායමේ නායකත්වය හිමි කර ගන්නවා. ඒ සමඟම ඔහු දිස්ත්‍රික් පාසල් පාපන්දු කණ්ඩායමට ද සුදුසුකම් ලබන අතර ඒ නිසා ඔහුට විද්‍යාලයීය පාපන්දු වර්ණ ද හිමි වෙනවා.
විද්‍යාලයීය ශිෂ්‍යභට බල ඇණියේ ද සාමාජිකයෙක් වුණු ඔහු ධර්මරාජ විද්‍යාලය නියෝජනය කරමින් හර්මන් ලූස් කුසලානය ද ජයග්‍රහණය කරන්නේ විද්‍යාලයීය වර්ණ දිනා ගනිමිනුයි.
පාපන්දු ක්‍රීඩාවෙන් ලද පන්නරය රග්බි පිටියටත් රැගෙන එන ජනක් සමරසිංහ රග්බි ක්‍රීඩාව ආරම්භ කරන්නේ වයස අවුරුදු 15 න් පහළ කණ්ඩායමට සුදුසුකම් ලබමින්. ඉන් පසුව වයස අවුරුදු 17 න් පහළ කණ්ඩායමට මෙන්ම පසුව ධර්මරාජ පළමු පෙළ රග්බි කණ්ඩායමටත් ඔහු සුදුසුකම් ලබනවා.
1994 වසරේ ධර්මරාජ විද්‍යාලයීය රග්බි කණ්ඩායමේ නායකත්වය ඔහුට හිමිවන්නේ ඔහු සතුව තිබුණු අත්දැකීම් සම්භාරය නිසාමයි. 1994 ධර්මරාජ රග්බි කණ්ඩායමට එතරම් පහසු වසරක් වුණේ නැහැ. 1993 වසරේ එවකට සිටි පුහුණුකරු ලාසරස් ත්‍රිත්ව විද්‍යාලයට යන අතර 1994 වසරේ ධර්මරාජ විද්‍යාලයේ ප්‍රධාන පුහුණුකරු ලෙස අනිල් ජයසිංහ කණ්ඩායමට එක් වෙනවා.
ඉතා තියුණු සටනක් තිබුණු 1994 වසරේ ධර්මරාජ ත්‍රිත්ව තරගයේ ජය දුර්වල විනිසුරු තීරණ නිසා ධර්මරාජයට අහිමි වූ බව ජනක් සමරසිංහ සංවේගයෙන් මතක් කර සිටිනවා.
ඒ අතර 1994 වසරේ මහානාම තරගයත් ඉතා තියුණු තරගයක් වුණා. තරගය ජය ගැනීමට අවසන් මොහොතේ ලැබුණු දඬුවම් පහර ගෝල රාමුවේ වැදී අවසනාවන්ත ලෙස ඉවත යන්නේ ධර්මරාජ කණ්ඩායමට තවත් ජයක් අහිමි කරමින් බව ජනක් සමරසිංහගේ මතකයේ තිබෙනවා.
එක් වසරකදී ඉසව් තුනකින් වර්ණ ලබාගත් අයෙක් ලෙස ජනක් සමරසිංහ ධර්මරාජ ඉතිහාස පොතේ ස්වර්ණමය සටහනක් තබනවා. පාපන්දු, රග්බි මෙන්ම ශිෂ්‍ය භටයෙක් ලෙස ද පාසල් වර්ණ දිනා ගනිමින්. බර ඉසිලීමට ද ඉතා දක්ෂ වූ ඔහු තමන් අයත් වූ බර කාණ්ඩයේ සමස්ත ලංකා ශුරතාවය ද දිනා ගැනීම විශේෂත්වයක්. තවද ධර්මරාජ ක්‍රීඩා පිටියට නැතුවම බැරි චරිතයක් වුණු ඔහු වොලිබෝල් කණ්ඩායමේ ද ස්ථිර සාමාජිකයෙක් වුණා.
Fly half හා FullBack ස්ථාන වල ක්‍රීඩා කළ ජනක් සමරසිංහ පාසලෙන් පසුව මහනුවර ක්‍රීඩා සමාජයට යනවා. 1995 වසරේ සිට වසර පහක් ඔහු මහනුවර ක්‍රීඩා සමජයට නැතුවම බැරි ක්‍රීඩකයෙක් බවට පත් වෙනවා, අනතුරුව All Trinity ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරන ඔහු නැවත වතාවක් ඉතිහාසයට ස්වර්ණමය සටහනක් එකතු කරන්නේ All Trinity කණ්ඩායමක් මෙහෙයවූ පළමු ධර්මරාජිකයා බවට පත් වෙමින්.
පසුව ශ්‍රී ලංකා සංචිතයට ද සුදුසුකම් ලබන ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ද සිය දැනුම හා දක්ෂතාව හා අත්දැකීම් එකතු කරනවා. ධර්මරාජයේ පොඩ්ඩන්ට ද ඔහු උගත් ශිල්ප කියා දෙමින් ඔහු වයස අවුරුදු 13 න් පහළ ධර්මරාජ කණ්ඩායමේ පුහුණුකරු ලෙසද වරෙක කටයුතු කරනවා.
එවකට ධර්මරාජ ක්‍රීඩා පිටියට නැතුවම බැරි චරිතයක් වුණු ජනක් සමරසිංහගේ නොබිඳුණු වාර්තා, ඔහුගේ දක්ෂතාවයන් ධර්මරාජ කෙළිබිමේ සදා ජීවමානයි.