1995 RR Captain

Shivanka Jayasinghe

Shivanka Jayasinghe

පියවරෙන් පියවර දියුණු වෙමින් සංවිධානාත්මක වෙමින් පැමිණි ධර්මරාජ රග්බි කණ්ඩායම 90 දශකයේ අග භාගයේදී ඉතා ප්‍රබල ක්‍රීඩකයින් බිහි කරනවා. අත්දැකීම් බහුල ක්‍රීඩකයින් රැසක් සමඟින් 1995 ධර්මරාජ රග්බි කණ්ඩායමේ නායකත්වය දරන්නේ ශිවංක ජයසිංහ.

1981 වසරේදී ධර්මරාජයේ ප්‍රාථමික අංශයට එන ඔහු නාත දේවාල භූමියේ තිබුණු ධර්මරාජ ප්‍රාථමිකයේ සිට ලේක්වීව් කන්ද පාමුල අභිනවයෙන් ඉදිවුණු ප්‍රාථමිකය කරා ගිය පළමු ශිෂ්‍ය කණ්ඩායමේ සාමාජිකයෙක් වීමට තරම් වාසනාවන්ත වුණා.

ධර්මරාජයේ අපිට හුරුපුරුදු විදියටම ලේක්වීව් කන්දේ පඩිපෙළ නැග ගෙන සිය පන්තිය කරා ගිය ඔහු රග්බි ක්‍රීඩාවට පිවිසෙන්නේ අහම්බයකින්. “ඉස්සර අපි පඩිපෙළ නැග ගෙන උඩට යනකොට එවකට හිටිය ගුණරත්න විදුහල්පතිතුමා කන්ද නැගගෙන එන ළමයි දිහා බලාගෙන ඉන්නවා. ඒ කාලේ හැමෝම ගුණරත්න සර්ට බයයි.” ශිවංක ජයසිංහ පවසා සිටියා.

“දවසක් මම එහෙම උදේක එනකොට, සර් මට කතා කළා. මට මාර බය හිතුණා. මගෙන් ඇහුවා රගර් ගහනවද කියලා. මේ සතියේ මුල ඉඳන් ප්‍රැක්ටිස් එන්න කිව්වා.”
කොහොම වුණත් ඔහුගේ මව කුඩා ශිවංක ජයසිංහ රග්බි ක්‍රීඩා කරනවට එතරම් කැමැත්තක් දැක්වූයේ නැහැ. “මට විදුහල්පති තුමා ඊළඟ සතියේ හම්බුවෙලා ඇහුවා ප්‍රැක්ටිස් ගියා ද අහලා. මම කිව්වා අම්ම කැමති නැහැ කියලා. අම්මම එහෙනම් ඉස්කෝලෙට එක්කන් එන්න කියලා ඔහු කිව්වා.” එවකට ධර්මරාජයේ විදුහල්පති වුණු ගුණරත්න මහතා ශිවංක ගේ මවගෙන් ඔහුට රග්බි කරන්නට අවසර ඉල්ලා දෙන්නේ එලෙසිනුයි.

වයස අවුරුදු 12 න් පහල ධර්මරාජ රග්බි කණ්ඩායමෙන් රග්බි ක්‍රීඩා කිරීම ආරම්භ කරන ඔහු වයස අවුරුදු 15 න් පහළ, වයස අවුරුදු 17 න් පහළ කණ්ඩායම් ද නියෝජනය කරන්නේ එම කණ්ඩායම් වලද නායකත්වය ගෙන ක්‍රීඩා කරමිනුයි. රග්බි ක්‍රීඩාවට ප්‍රමුඛත්වය දුන්නත් ඔහු ධර්මරාජයේ මලල ක්‍රීඩා කණ්ඩායමේ ද ස්ථිර සාමාජිකයෙක් වුණා. එමෙන්ම බර හා සවි ඉසිලීම යන ක්‍රීඩාවලට ඉතා දක්ෂ වුණු ඔහු 1995 වසරේදී ඒ සඳහා පාසල් වර්ණ ද දිනා ගන්නවා.

වයස අවුරුදු 15 න් පහළ ක්‍රීඩා කරන කාලයේම ධර්මරාජ දෙවන පෙළ රග්බි කණ්ඩායම නියෝජනය කරන්නටත් ශිවංක ජයසිංහ වරම් හිමි කර ගන්නේ රග්බි ක්‍රීඩාවට ඔහුගේ තිබුණු දක්ෂතාවය නිසාමයි. වජිර පිටිගල නායකත්වය දරන වසරේදී ඔහු පළමු වරට පළමු පෙළ රග්බි කණ්ඩායම නියෝජනය කරන්නේ එතැන් සිට පළමු පෙළ කණ්ඩායමේ නායකත්වය දරන තෙක්ම අඛණ්ඩව වසර හතරක් පළමු පෙළ කණ්ඩායම නියෝජනය කරමිනුයි.

1995 කණ්ඩායම ඉතා එකමුතු කණ්ඩායමක් වූ බව ඔහුගේ මතක පොතේ සටහන් වී තිබෙනවා. වෑකඩපොළ, හෙට්ටිආරච්චි හා උපුල් සිල්වා වැනි ප්‍රබල ක්‍රීඩකයින් එවකට කණ්ඩායම සවිමත් කළේ 1995 වසර ධර්මරාජයේ වසරක් බවට පත් කරමින්.
“කණ්ඩායමේ පුදුම එකමුතුවක් තිබුණේ. අතිරේක ක්‍රීඩකයිනුත් එක්ක හිටපු ක්‍රීඩකයින් 20 දෙනාම අනෙකා ගැන හිතලා ක්‍රීඩා කලේ, පාසල ගැන හිතලා ක්‍රීඩා කලේ.

නිත්තවෙල ක්‍රීඩා ගාරයේ ඉඳන් පිට්ටනිය මැදට යනකොට හැමෝගෙම ඇස්වල කඳුළු, මොකද ධර්මරාජයට එච්චර ආදරයෙන් අපේ කණ්ඩායමට තරගයට ගියේ. පාසලේ ගුරුවරුත් කණ්ඩායමට ගොඩක් ආදරයෙයි. කිසිම විනය ප්‍රශ්නයක් තිබුණේ නැහැ.”
ඒ වසරේ දී ප්‍රබල ධර්මරාජ කණ්ඩායම ආනන්ද විද්‍යාලය පරාජය කරන අතර කොළඹ වෙස්ලි කණ්ඩායමට එරෙහිව දැවැන්ත ජයක් වාර්තා කරන්නටත් ඔවුන් සමත් වෙනවා. D.S සේනානායක විද්‍යාලයට එරෙහිව පවතී තරගය ද ධර්මරාජ කණ්ඩායම පහසුවෙන් ජය ගන්නවා.

එවකට පැවති ප්‍රේමදාස කුසලාන පිළිමලුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටය කරා යන්නට ධර්මරාජය සමත් වෙනවා. අවසන් පූර්ව වටයේදී ඔවුන් අවාසනාවත ලෙස මහනුවර සාන්ත අන්තෝනි කණ්ඩායම හමුවේ පරාජය වෙනවා. ඒ තරගයේ නියමිත කාලය හමුවේ තරගයේ ලකුණු සම වන අතර අතිරේක කාලය ද නිම වන්නේ ලකුණු සම වීමෙන් වීම විශේෂත්වයක්. ඒ නිසා තරගයේ තීරණය ලබා දෙන්නේ දඬුවම් පහර වලින්. අවාසනාවන්ත ලෙස එක් දඬුවම් පහරක් මඟ හැරීම නිසා ධර්මරාජයට තියුණු ජයක් අහිමි වෙනවා.

ප්‍රේමදාස කුසලාන තරගාවලියේ දක්ෂතා නිසා ශිවංක ජයසිංහ ප්‍රමුඛ, චාරක හේවාවිතාරණ, හෙට්ටිආරච්චි යන ක්‍රීඩකයින්ට ශ්‍රී ලංකා පාසල් කණ්ඩායමේ ද ස්ථානයක් වෙන් වීම විශේෂත්වයක්.

1993, 1994 හා 1995 වසර වලදී රග්බි ක්‍රීඩාව උදෙසා පාසැල් වර්ණ දිනා ගන්නා ඔහු අධ්‍යාපනයෙන් ද ඉතා දක්ෂ සිසුවෙක් වුණා. ඒ පළමු පෙළ කණ්ඩායමට ක්‍රීඩා කරමින්ම සාමාන්‍ය පෙළ විභාගය ද ලියා ඉන් D සමාර්ථ නවයක් ලබා ගැනීම නිසයි.
පසුව 1995 වසරේදී පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායක ලෙස ද ඔහු කටයුතු කරනවා. පාසලෙන් පසුව විදෙස්ගත වන ඔහු ඇමරිකාවේ වෙස්ට් වර්ජිනියා විශ්ව විද්‍යාල කණ්ඩායමේ ද කලක් රග්බි ක්‍රීඩා කරනවා.

1995 ධර්මරාජ කණ්ඩායම පාසල් රග්බි පිටියේ කරළියේ පෙරලි කළ කණ්ඩායමක්. එවන් කණ්ඩායමක් මෙහෙයවූ ශිවංක ජයසිංහ ලේක්වීව් රග්බි පිටියේ සදා අමරණීයයි.