1996 RR Captain

Janaka Ekanayake

Janaka Ekanayake

රධික හෙට්ටිආරච්චි වැනි ප්‍රබල ක්‍රීඩකයින් රැසක් සිටි 1996 ධර්මරාජ රග්බි කණ්ඩායමේ නායකත්වය භාරගන්නේ රග්බි පවුලක තවත් එක් පුරුකක්. සිය මාමාවරුන්ගේ පටන් අයියා මලෝ ද ධර්මරාජයට ඉමහත් සේවයක් ඉටු කළ ඒකනායක පවුලේ ජනක ඒකනයක 1996 ධර්මරාජ රග්බි කණ්ඩායමේ සුක්කානම භාරගෙන කටයුතු කරනවා.

කුඩා කළ සිටම රග්බි ක්‍රීඩාවට දක්ෂයෙක් වුණු ජානක ඒකනායක රග්බි ක්‍රීඩාවට මෙන්ම හොකී ක්‍රීඩාවට ද අති දක්ෂයෙක් වුණා. එමන්ම කවපෙත්ත විසි කිරීම, යගුලිය දැමීම හා හෙල්ල විසි කිරීම වැනි ක්‍රීඩා වලින් ද ඔහු පාසල් ක්‍රීඩා පිටිය වර්ණවත් කළා.
වයස අවුරුදු 13 න් පහළ ධර්මරාජ රග්බි කණ්ඩායමට පිවිසෙමින් රග්බි ක්‍රීඩාව ආරම්භ කරන ඔහු එතැන් පටන් පළමු පෙළ කණ්ඩායම දක්වාම සියලුම කණ්ඩායම් මෙහෙයවන්නට තරම් වාසනාවන්ත වුණා. රග්බි ක්‍රීඩාවට මන්ම හොකි ක්‍රීඩාවට ද දැඩි සේ ඇළුම් කල ජානක ඒකනායක වයස අවුරුදු 15 න් පහළ වයස කාණ්ඩයේ ක්‍රීඩා කරන සමයේ උදෑසන හොකී පුහුණුවීම් කර සවස රග්බි පුහුණුවීම් සඳහා එක්වුණු බව මතක් කර සිටින්නේ සිනහමුසු මුහුණින්.

වයස අවුරුදු 15 න් පහළ ක්‍රීඩා කරන සමයේ ධර්මරාජ පළමු පෙළ රග්බි කණ්ඩායමට ක්‍රීඩා කරන්නට තරම් ජානක ඒකනායක වාසනාවන්ත වුණා.
චානක හේවාවසම්, රධික හෙට්ටිආරච්චි වැනි ප්‍රබල ක්‍රීඩකයින් රැසකින් සමන්විත වුණු 1996 ධර්මරාජ රග්බි කණ්ඩායම ඉතා ප්‍රබල කණ්ඩායමක් වූ බව ජානක ඒකනායක මතක් කර සිටිනවා. ඒ වසරේ දස සාමාජික රග්බි තරගාවලියේ බඳුන කාණ්ඩයේ ශුරතාවය දිනා ගන්නට ධර්මරාජ රග්බි කණ්ඩායම සමත් වන්නේ ඒ නිසාමයි.
ලීග් තරගාවලියේ ආරමභයේදී ධර්මරාජ රග්බි කණ්ඩායම ප්‍රබල කොළඹ රාජකීය විද්‍යාලයීය රග්බි කණ්ඩායමට පරාජය වුණත් ඔවුන් ඉන් පසුබට වුණේ නැහැ. පසුව පැවති සාන්ත පීතර, විද්‍යාර්ථ තරග ජය පරාජයෙන් අවසන් කරගන්නා ඔවුන් එතැන් පටන් ක්‍රීඩා කළ තරග බොහොමයක් ජයගන්නට සමත් වූ බව ජානක ඒකනායකගේ මතකය කියනවා.

ප්‍රේමදාස කුසලාන තරගාවලිය , ජනාධිපති කුසලානය ලෙස අළු ගසා දමා නැගිටින්නේ මේ වසරේදීයි. එම තරගාවලියේ අවසන් පූර්ව වටය දක්වා යන්නට ජානක ඒකනායක ප්‍රමුඛ ධර්මරාජ කණ්ඩායම සමත් වෙනවා.

සාන්ත තෝමස් විද්‍යාලය සමඟ පැවැත්වුණු තරගය කවදාවත් අමතක නොවන තරගයක් බව ඔහු සඳහන් කර සිටිනවා. ඒ එම තරගයේ මුල සිටම පෙරමුණේ සිටි ධර්මරාජ කණ්ඩායම අවසන් මොහොතේදී දඬුවම් පහරකින් පරාජය කරන්නට ඔවුන් සමත් වූ නිසයි.

1996 වසරේ ඔහු ප්‍රමුඛ ධර්මරාජ රග්බි කණ්ඩායම දැක්වූ දක්ෂතා නිසා ඔහුට ධර්මරාජිකයෙක්ට ක්‍රීඩා දිවියේ හමුවන ඉහළම ගෞරවය වන දාගැබ්ද හිමිවෙනවා. පළමු පෙළ කණ්ඩායමේ වසර හතරක් ක්‍රීඩා කළ ඔහු 1993, 1994, 1995 යන වසර ත්‍රිත්වයේදී ම පාසල් වර්ණ දිනා ගන්නේ ධර්මරාජයේ රග්බි ක්‍රීඩාවට ඔහු කළ සේවය නිසාමයි.

සුන්දර මතක සටහන් රැසක් සමඟින් පාසලෙන් පිටවුණු ජානක ඒකනායක Old Trinitian ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරනවා. එහි එක තරගවාරයක් ක්‍රීඩා කරන ඔහු පසුව මහනුවර ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරන්නට සුදානමින් සිටියත් ඒ අතරතුර ඔහු විදෙස්ගත වෙනවා.

පූර්විකාවේ සටහන් වූ ලෙසම ඔහුගේ පවුලම රග්බි ක්‍රීඩාවට දැඩි ඇල්මක් දැක් වූවා. ඔහුගේ සොයුරා වන සුරේෂ් ඒකනායක ද ධර්මරාජය රග්බි කණ්ඩායමේ ක්‍රීඩා කල අතරම ඔහුගේ ළඟම ඥාතින් වුණු නාමල් ඒකනායක ද, ගාමිණි ඒකනායක ද ධර්මරාජ රග්බි කණ්ඩායම නියෝජනය කිරීමට වරම් ලැබූවන්.

උරුමයෙන් ආ රග්බි ක්‍රීඩාව නායකත්වය කරාම රැගෙන ගිය ජානක ඒකනායක, ධර්මරාජ රග්බි පිටියේ සදා ජීවමානයි.