1998 RR Captain

ධර්මරාජ විද්‍යාලයීය පළමු පෙළ රග්බි කණ්ඩායම 1998 වසරට පිවිසෙන්නේ නවක කණ්ඩායමක් සමඟිනුයි. ඒ නවක කණ්ඩායමේ නායකත්වය ගෙන කටයුතු කරන්නේ දුරේෂ් ගාල්ලගේ.
1985 වසරේදී ධර්මරාජයේ ප්‍රාථමිකයට එන දුරේෂ් ගාල්ලගේ කුඩා කල සීමට පන්ති කාමරයට වඩා ක්‍රීඩා පිටියට ඇලුම් කළා. වයස අවුරුදු 12 න් පහළ වයස් කාණ්ඩයේ සිට ධර්මරාජයේ පාපන්දු කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෙක් වුණු ඔහු වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම දක්වාම පාපන්දු ක්‍රීඩා කරනවා. පාපන්දු ක්‍රීඩාවට මෙන්ම මලල ක්‍රීඩාවට ද දක්ෂයෙක් වුණු ඔහු ධර්මරාජ මලල ක්‍රීඩා කණ්ඩායමේ ද ක්‍රීඩකයෙක් වන අතර ඔහු 1998 වසරේ ගැමුණු නිවාසයේ නිවාස නායකයා ලෙසද කටයුතු කළා.
පාපන්දු ක්‍රීඩාවෙන් ලද පන්නරය රග්බි ක්‍රීඩාවටත් රැගෙන එන ඔහු වයස අවුරුදු 12 න් පහළ වයස් කාණ්ඩයේ සිට රග්බි ක්‍රීඩාවට සම්බන්ධ වෙනවා. එතැන් පටන් පියවරෙන් පියවර ධර්මරාජයේ රග්බි ඉනිමඟ තරගය කළ ඔහු 1998 වසරේ ධර්මරාජ පළමු පෙළ රග්බි කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන්නේ අභියෝග රැසක් මධ්‍යයේයි.
නවක ක්‍රීඩකයින් රැසක් සමඟ තරග කළ ධර්මරාජ කණ්ඩායම 1998 වසරේදී ආනන්ද විද්‍යාලය, සුමංගල විද්‍යාලය හා සාන්ත අන්තෝනි විද්‍යාලය සමඟ තරග ඉතා හොඳින් ක්‍රීඩා කරන්නට සමත් වුණා. එම කණ්ඩායමේ සිටි ජ්‍යෙෂ්ටයින් ලෙස සංජය සපරමාදු, සමීර පින්නදුව හා ඉන්දික රණතුංග වැනි ක්‍රීඩකයින් කණ්ඩායමට හොඳ දායකත්වයක් ලබා දුන් බව ඔහුගේ මතකයේ සඳහන්.
රග්බි ක්‍රීඩාවට ඉතා දක්ෂ වූ ඔහු ඒ වෙනුවෙන් පාසල් වර්ණ ද දිනාගත්තේ රග්බි ක්‍රීඩාව වෙනුවෙන් ඔහු පාසලට කළ සේවය නිසයි.
අභියෝග රැසක් මැද නවක ක්‍රීඩකයින් රැසක් සමඟින් ධර්මරාජ රග්බි කණ්ඩායමට මෙහෙයවූ දුරේෂ් ගාල්ලගේ ධෛර්ය හා නායකත්ව ගති ගුණ ධර්මරාජ රග්බි වංශකතාවේ සදා ජීවමානයි.
කාලයත් සමඟ මැකීගිය තොරතුරු මේ සටහනට එකතු කරන්නට ඔබටත් ආරාධනා…
දුරේෂ් ගාල්ලගේ ගේ මතකයන් ඇසුරින්.
පසුවදන
ආදී ධර්මරාජයීය රග්බි පාපන්දු සංගමයට 1998 වසර ඉතා වැදගත් වසරක්. ඒ එම වසරේ කණ්ඩායමේ ක්‍රීඩකයින් වුණු දුරේෂ් ගාල්ලගේ, සංජය සපරමාදු, සමීර පින්නදුව හා ඉන්දික රණතුංග වැනි ක්‍රීඩකයින් 1999 සිට ආදී ධර්මරාජයීය රග්බි පාපන්දු සංගමය හා එක්ව ධර්මරාජය රග්බි ක්‍රීඩාවට ඉමහත් සේවයක් කරනවා.
මෑතකාලීනව සංජය සපරමාදු ධර්මරාජ රග්බි කණ්ඩායමේ කළමනාකරු වශයෙන් වසර කිහිපයක්ම ඔහුගේ සේවය කණ්ඩායම ලබා දුන්නා. ගෙවුණු වසර කිහිපයේදී, දුරේෂ් ගාල්ලගේ, සමීර පින්නදුව හා ඉන්දික රණතුංග ORRFA වෙත සිය උපරිම දායකත්වය ලබා දෙන්නේ ධර්මරාජයේ රග්බි ක්‍රීඩාව වෙනුවෙන් අපරිමිත සේවයක් ඉටු කරමිනුයි.