1999 RR Captain

Damith Kurukulasooriya

Damith Kurukulasuriya

1999 වර්ෂය ධර්මරාජ රග්බි වංශ කතාවට ඉතා වැදගත් වසරක් වුණා. ඒ ධර්මරාජයෙන් බිහිව ශ්‍රී ලංකා ජාතික රග්බි කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයින් කිහිපදෙනෙක්ම මේ කණ්ඩායමේ වැදගත් කොටස්කරුවන් වීමයි. ඒ ක්‍රීඩකයින් සියල්ල 1999 වසරේදී මෙහෙයවන්නට වරම් හිමි වුණේ දමිත් කුරුකුලසූරිය හටයි.

1985 වසරේ ධර්මරාජයේ පොඩ්ඩෙක් ලෙස ප්‍රාථමිකයට පා තබන දමිත් කුරුකුලසූරිය කුඩා කළ සිටම ක්‍රීඩාවට අතිශයින්ම ලැදි වූ ක්‍රීඩකයෙක් වුණා. මලල ක්‍රීඩා වලට අතිශයින්ම ඇළුම් කළ ක්‍රීඩකයෙක් වූ ඔහු කුඩා කල සිටම මලල ක්‍රීඩා පිටියේ සුපිරි දස්කම් දක්වන්නට සමත් වුණේ කාගේත් අවධානය දිනා ගනිමිනුයි.

පසුව බර ඉසිලීමේ ක්‍රීඩාවට යොමු වන දමිත් කුරුකුලසූරිය එම ක්‍රීඩාවෙන් ද දස්කම් දක්වන්නට පටන් ගත්තා. වයස අවුරුදු 13 න් පහළ වයස් කාණ්ඩයේ ක්‍රීඩා කරන සමයේදී බර ඉසිලීමේ ඉසව්වෙන් කණිෂ්ඨ ජාතික වාර්තාවක් පිහිටුවන්නට ද ඔහු සමත් වුණේ ඒ නිසයි. එවකට ඔහුගේ එම දක්ෂතාවය අගයමින් කුඩා දමිත් කුරුකුලසූරියට ධර්මරාජ වර්ණ රාත්‍රියේදී විශේෂ ඇගයීමක් (Merit) ද හිමි වුණා.

පසුව රග්බි ක්‍රීඩාවට යොමු වන ඔහු රග්බි ක්‍රීඩාවෙන් ද දස්කම් දක්වන්නේ වයස අවුරුදු 13 න් පහළ ධර්මරාජ රග්බි කණ්ඩායමේ අසුනකුත් වෙන් කරගනිමිනුයි. කෙසේ වෙතත් එවකට ධර්මරාජයේ විදුහල්පති වුණු දමුණුපොල මහතා ඔහුට එක්තරා උපදෙසක් ලබා දුන් බව ඔහු මතක් කර සිටියා. ඒ රග්බි හෝ බර ඉසිලීම යන ඉසව් වලින් එක් ක්‍රීඩාවක් තෝරාගෙන ක්‍රීඩා කරන ලෙසයි. කුඩා කළ පටන්ම රග්බි ක්‍රීඩාවට ඇලුම් කළ දමිත් කුරුකුලසූරිය රග්බි ක්‍රීඩාවට තෝරා ගන්නේ ඒ උපදෙසට අනුවයි.

ඉතා වේගවත් මෙන්ම ශක්තිමත් ක්‍රීඩකයෙක් වුණු දමිත් කුරුකුලසූරිය වයස අවුරුදු 13 න් පහළ හා වයස අවුරුදු 15 න් පහළ වයස් කාණ්ඩ වල 1st Center ස්ථානයේ ක්‍රීඩා කර තිබෙනවා. එහිදී ඔහු දැක්වූ දක්ෂතා නිසා වයස අවුරුදු 15 න් පහළ කණ්ඩායමේ ක්‍රීඩා කරන සමයේම ඔහුට වයස අවුරුදු 17 න් පහළ කණ්ඩායමේ ද ස්ථානයක් හිමි වුණා. පසුව ඔහු වයස අවුරුදු 17 න් පහළ ධර්මරාජ රග්බි කණ්ඩායමේ නායකත්වයට ද පත් වෙනවා. ඔහුගේ නායකත්වය යටතේ එවකට වයස අවුරුදු 17 න් පහළ රග්බි තරගාවලියේ දෙවන වටයට පිවිසෙන්නට ද ධර්මරාජය සමත් වෙනවා.

ඔහු සතුවූ නායකත්ව ගති ගුණ නිසාම ධර්මරාජ දෙවන පෙළ රග්බි කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන්නටත් ඔහුට අවස්තාව හිමි වුණා. වසර දෙකක් පළමු පෙළ රග්බි කණ්ඩයමේ ක්‍රීඩා කරමින් සිය අත්දැකීම් මුවහත් තබාගත් දමිත් කුරුකුලසූරිය 1999 වසරේදී ධර්මරාජ රග්බි කණ්ඩායමේ සුක්කානම භාර ගන්නවා.

1997 වසරේ, දමිත් කුරුකුලසූරියගේ නායකත්වය යටතේ ධර්මරාජ රග්බි කණ්ඩායම ඉතා තරගකාරී ලෙස ක්‍රීඩා කළා. එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන් ඒ වසරේ ලීග් රග්බි තරගාවලියේ දෙවන වටයට යන්නට ද සමත් වුණා.

ඒ වසරේ තරග අතුරින් සාන්ත පීතර කණ්ඩායම සමඟ පැවති තරගය ඉතා අවාසනාවන්ත තරගයක් වූ බව ඔහු මතක් කර සිටිනවා. ඒ තරගයේ ධර්මරාජය ඉදිරියෙන් සිටියත් අවසන් මිනිත්තු කිහිපයේ දුර්වල විනිසුරු තීරණ නිසා සාන්ත පීතර කණ්ඩායම ජය ගත් නිසයි. දෙවන වටයේ තරගයක් වුණු ආනන්ද විද්‍යාලය සමඟ තරගයේදී ඔහුට දරුණු ආබාධයකට මුහුණ දෙන්නට සිදු වෙනවා. ඒ පිළිබඳවත් දමිත් කුරුකුලසූරිය සිය මතකය අවදි කරමින් අප සමඟ පවසා සිටියා.

1999 ධර්මරාජ කණ්ඩායමේ ඉතා ප්‍රබල කණ්ඩායමක් වූ බව ඔහුගේ මතකය කියනවා. ධර්මරාජය නියෝජනය කර පසුව ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ ප්‍රබල ක්‍රීඩකයින් වුණු සාරානාත් හෙට්ටිආරච්චි, සුමේධ ජයසිංහ, හා උදය හෙට්ටිආරච්චි මේ කණ්ඩායමේ ප්‍රබල සාමාජිකයින් වුණා. මේ කණ්ඩායමේ ක්‍රීඩා කළ සජිත් සෙල්ලහන්නදී, සන්දුන් දර්ශන, T. D. හෙරත්, වඩුගේ, ප්‍රේමසිරි, නානායක්කාර, දිසානායක, අල්විස් හා හාතිඇල්ල වැනි ප්‍රබල ක්‍රීඩකයින් ඒ කණ්ඩායම සිටි බව ඔහු මතක් කර සිටියා. තවත් ප්‍රබල චරිතයක් වුණු ඉන්දික ගිනිගේ හා සුමේධ ජයසිංහ ගේ සොයුරු ඉන්දික ජයසිංහ ද ඒ කණ්ඩායමේ සිටි ප්‍රධානතම ක්‍රීඩකයින්.

වසර තුනක් ධර්මරාජ පළමු පෙළ රග්බි කණ්ඩායමට සිය සේවය ලබා දුන් දමිත් කුරුකුලසූරිය වසර තුනක් රග්බි ක්‍රීඩාව වෙනුවෙන් පාසල් වර්ණ හිමිකරගත්තේ රග්බි ක්‍රීඩාව වෙනුවෙන් ඔහු කළ සේවය නිසයි. තවද ඔහු පරාක්‍රම නිවාසයේ නිවාස නායකයා ලෙසද පාසල් ක්‍රීඩා පිටියට සේවය ලබා දුන්නා.

පාසලෙන් නික්ම ගිය දමිත් කුරුකුලසූරිය මහනුවර ක්‍රීඩා සමාජයට එක් වෙනවා. එහි වයස අවුරුදු 21 න් පහළ කණ්ඩායමට මෙන්ම මහනුවර ක්‍රීඩා සමාජ කණ්ඩායමට ද වසර දෙකක් ඔහු එහිදී සිය දායකත්වය ලබා දෙනවා.

පසුව ගුවන් හමුදා ක්‍රීඩා සමාජයට එක්වන ඔහු එහි Fly Half ක්‍රීඩකයා ලෙස දස්කම් දක්වනවා. පසුව මලයාසියාවට සංක්‍රමණය වන ඔහු මලයාසියාවේ ජෝහොර් ක්‍රීඩා සමාජයේ සත් සාමාජික රග්බි කණ්ඩායමේ ක්‍රීඩකයෙක් ලෙස ද ක්‍රීඩා කරනවා.
දමිත් කුරුකුලසූරිය ගේ පියාද ආදී ධර්මරාජිකයෙක්. නමින් සිරිපාල කුරුකුලසූරිය වූ ඔහුගේ අනෙක් පුත්‍රයන් වුණු, දමිත් ගේ සහෝදරයින් වුණු ශිරාන් හා රොෂාන් කුරුකුලසූරිය ද ආදී ධර්මරාජිකයින් වීම විශේෂත්වයක්.

දක්ෂයින් රැසක් මෙල්ල කරමින් නායකයෙක් ලෙස ධර්මරාජ කන්දේ දමිත් කුරුකුලසූරිය තැබූ සටහන අමරණීයයි.