2000 RR Captain

පියවර දහස් ගණනක දිගු ගමනක් වුවද ඇරඹෙන්නේ එක් ධෛර්යවන්ත පියවරකිනි. 1970 දශකයේ එලෙස කැපවීම් රැසක් මැද ඇරඹුණු ධර්මරාජයේ රග්බි ක්‍රීඩාව 2000 වසරේදී නව සහස්‍රයට පිවිසෙන්නේ නව මුහුණුවරකින්. 2000 වසරේදී ධර්මරාජ රග්බි කණ්ඩායමේ සුක්කානම හිමි වුණේ ටි. ඩී හේරත් හටයි.
කුඩා කල සිටම ක්‍රීඩා පිටියේ යාවජීව සාමාජිකයෙක් වුණු ටි. ඩී හේරත් ධර්මරාජ කෙළිබිමේ හුරුපුරුදු චරිතයක් වුණා. වයස අවුරුදු 13 න් පහළ හා 15න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ ද සාමාජිකයෙක් වුණු ඔහු ඒ පන්නරයෙන් වයස අවුරුදු 15 න් පහළ වයස් රග්බි ක්‍රීඩාවටත් යොමු වෙනවා.
එකම දිනයේ රග්බි හා ක්‍රිකට් පුහුණුවීම් යන පුහුණු සැසි දෙකටම සහභාගී වුණු ටි. ඩී හේරත් ඉතා කඩිසර ක්‍රීඩකයෙක් වුණා. 13 න් පහළ, 15 න් පහළ වයස් කාණ්ඩ වල ධර්මරාජ ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කළ ටි. ඩී හේරත් ට ඔහු වයස අවුරුදු 17 න් පහළ ක්‍රීඩා කරද්දී ක්‍රිකට් හා රග්බි අතුරින් එක ක්‍රීඩාවක් තෝරාගැනීමේ අභියෝගයට මුහුණ දෙන්නට සිදු වෙනවා. ඔහු එහිදී තෝරාගන්නේ රග්බි ක්‍රීඩාව වීම විශේෂත්වයක්.
පාසලේ ශිෂ්‍ය නායකයෙක් වුණු TD, ක්‍රීඩා කවුන්සිලයේ සභාපති ලෙස ද, වයස අවුරුදු 19 න් පහළ ධර්මරාජ හොකී කණ්ඩායමේ සාමාජිකයෙක් ලෙස ද සිය සේවය ධර්මරාජයට ලබා දීම තවත් විශේෂත්වයක් වුණා.
රග්බි ක්‍රීඩාවට අති දක්ෂයෙක් වුණු ඔහු වයස අවුරුදු 15 න් පහළ කණ්ඩායම නියෝජනය කරන සමයේ වයස අවුරුදු 17 න් පහළ කණ්ඩායමේ ද සාමාජිකයෙක් වුණා. 1997 වසරේදී පළමු වරට ධර්මරාජ පළමු පෙළ රග්බි කණ්ඩායම නියෝජනය කරන ඔහු වසර හතරක් ධර්මරාජ පළමු පෙළ රග්බි කණ්ඩායම නියෝජනය කර අත්දැකීම් බහුල නායකයෙක් ලෙස 2000 වසරේදී ධර්මරාජ රග්බි කණ්ඩායමේ සුක්කානම අතට ගන්නවා.
2000 වසරේ ධර්මරාජ රග්බි කණ්ඩායමේ ක්‍රීඩකයින් හතර දෙනෙක් ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම නියෝජනය කිරීම නිසා 2000 වසරේ කණ්ඩායම ඉතා ප්‍රබල කණ්ඩායමක් වූ බව ටි. ඩී හේරත් ගේ මතකය කියනවා. ශ්‍රී ලංකා පාසල් කණ්ඩායම නියෝජනය කල සාරානාත් හෙට්ටිආරච්චි, සුමේධ ජයසිංහ, සඳුන් දර්ශණ වැනි ප්‍රබල ක්‍රීඩකයින් ඒ වසරේ කණ්ඩායම නියෝජනය කළේ කණ්ඩායම තවත් සවිමත් කරමිනුයි.
2000 වසරේ ලීග් තරගාවලියේ පළමු වටයේදී ඉතා හොඳ දස්කම් දක්වන්නට ධර්මරාජ රග්බි කණ්ඩායම සමත් වෙනවා. ඒ වසරේ දෙවන වටයේ අර්ධ අවසන් පූර්ව වටය දක්වාම ඔවුන් ඉදිරියට යන්නට සමත් වෙනවා. අවසන් පූර්ව තරගයේදී ඔවුන් සාන්ත අන්තෝනි කණ්ඩායමට එරෙහිව අවාසනාවන්ත ලෙස පරාජය වෙනවා.
ඔහුගේ ක්‍රීඩා දිවියේ අමතක නොවනම තරගයක් ලෙස විද්‍යාර්ථ කණ්ඩායම සමඟ තරගය බවට ටි. ඩී හේරත් පවසා සිටිනවා. එම තරගයේ මුල සිටම ධර්මරාජය ලකුණු 6-0 ක් ලෙස පසු පසින් සිටියත් අවසන් මිනිත්තු 10 දී ඔහුගේම දෑතින් උත්සාහක දිනුමක් වාර්තා කර තරගයේ දිනුම ධර්මරාජයට ගෙන එන්නට ටි. ඩී හේරත් සමත් වූ නිසයි.
2000 වසරේදී ශ්‍රී ලංකා පාසල් කණ්ඩායම නියෝජනය කිරීම නිසා ටි. ඩී හේරත් ට ධර්මරාජිකයෙකුට වර්ණ රාත්‍රියේ හිමිවන ඉහළම ගෞරවය හිමි වෙනවා. ඒ 2000 වසරේදී ඔහු දාගැබින් පිදුම් ලබන නිසයි. 1999 වසරේදී ද ඔහුට රග්බි ක්‍රීඩාවට කළා වූ සේවය වෙනුවෙන් පාසල් වර්ණ හිමිවෙනවා.
පාසලෙන් පසුව ක්‍රීඩා සමාජ රග්බි පිටියට පිවිසෙන ඔහු ක්‍රීඩා සමාජ රග්බි පිටියේ ද ධර්මරාජ නාමය ඉහළටම ගෙන යන්නට සමත් වෙනවා. 2000 වසරේදී මහනුවර ක්‍රීඩා සමාජය හා 2001 වසරේ මහනුවර යොවුන් ක්‍රීඩා සමාජය නියෝජනය කරන ඔහු 2002 වසරේ සිට 2005 වසර දක්වා පොලිස් ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් ඉහළ දස්කම් දක්වනවා. එමෙන්ම 2000 වසරේ සිට 2005 වසර දක්වා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ද සාමාජිකයෙක් ලෙස කටයුතු කරන ඔහු 2002 වසරේ ආසියානු කුසලාන නියෝජනය කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ ද සාමාජිකයෙක්. එම කණ්ඩායමට ටි. ඩී හේරත්, රධික හෙට්ටිආරච්චිම, සාරානාත් හෙට්ටිආරච්චි හා සුමේධ ජයසිංහ යන ධර්මරාජිකයින් සිව්දෙනාම ක්‍රීඩා කිරීම විශේෂත්වයක්. පොලිස් ක්‍රීඩා සමාජය නියෝජනය කිරීමෙන් අනතුරුව ඔහු ජපානයට සංක්‍රමණය වී එහිදීද Dhoto විශ්වවිද්‍යාලයීය රග්බි කණ්ඩායම නියෝජනය කරනවා.
ටි. ඩී හේරත් ගේ පවුලේ පරම්පරා කිහිපයක්ම ධර්මරාජයේ සෙවණ ලබනවා. ඔහුගේ සියා වන D. B හේරත්, පියා වන L. B හේරත්, වැඩිමහල් සහෝදරයින් වන වන K.R හේරත් හා චම්පික හේරත් ද ධර්මරාජයේ සෙවණ ලැබූවන් ලෙස සඳහන්. ඔහුගේ සොයුරු K.R හේරත් ආදී ධර්මරාජිකයින්ගේ රග්බි පාපන්දු සංගමයේ කමිටු සාමාජිකයෙක් ලෙස තවමත් ධර්මරාජයේ රග්බි ක්‍රීඩාවට ඔහුගේ සේවය ලබා දෙනවා.
නව සහස්‍රයකට ධර්මරාජයේ රග්බි ක්‍රීඩාව රැගෙන ගිය විශිෂ්ඨ නායකයෙක් ලෙස ටි. ඩී හේරත් ගේ නාමය ධර්මරාජ රග්බි ලෝලීන් අතර සදා ජීවමානයි.