2001 RR Captain

නව සහශ්‍රයක නව බලාපොරොත්තුවක් සමඟින් 2001 වසරේ ධර්මරාජ රග්බි කණ්ඩායමේ සුක්කනාම හිමි වන්නේ තවත් අතිදක්ෂ ක්‍රීඩකයෙක් වුණු සජිත් සෙල්ලහන්නදී හටයි.
කුඩා කල සිටම රග්බි ක්‍රීඩාවට ඇළුම් කළ සජිත් සෙල්ලහන්නදී වයස අවුරුදු 13 න් පහළ ධර්මරාජ කණ්ඩායමට ක්‍රීඩා කරමින් සිය රග්බි දිවිය ආරම්භ කරනවා. වයස අවුරුදු 13 න් පහළ කණ්ඩායමේ සිට වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම දක්වා ධර්මරාජ රග්බි පිටියේ ඉතා කාර්යශූර චරිතයක් වුණු ඔහු වයස අවුරුදු 13 න් පහළ හා වයස අවුරුදු 17 න් පහළ කණ්ඩායම් වල උපනායකයා ලෙසද වයස අවුරුදු 15 න් පහළ හා 19 න් පහළ කණ්ඩායම් වල නායකයා ලෙසට කටයුතු කළේ නායකත්ව අත්දැකීම් රැසකින්ම සිය රග්බි ඔලොගුව පුරවා ගනිමිනුයි.
රග්බි ක්‍රීඩාවට පමණක් නොව ඔහු බර ඉසිලීමටත් ඉතා දක්ෂ වුණා. ඒ නිසාම ධර්මරාජ බර ඉසිලීමේ කණ්ඩායමේ ද කොටස්කරුවෙක් වුණු ඔහු බර ඉසිලිමේ ක්‍රීඩාව වෙනුවෙන් කණිෂ්ඨ ශ්‍රි ලංකා වාර්තාවක් ද පිහිටුවා ඇති ක්‍රීඩකයෙකි. ක්‍රීඩාවන්ට පමණක් සීමා නොවී බටහිර තූර්ය වාදක කණ්ඩායමට, චෙස් කන්ඩායමට, ශිෂ්‍යභට කාණ්ඩයට මෙන්ම විද්‍යලයේ බාලදක්ෂ සමූහයට ද සම්බන්ධව කටයුතු කළා.
1996 වසරේදී සජිත් සෙල්ලහන්නදී සාමාජිකත්වය දරන වයස අවුරුදු 15 න් පහළ ධර්මරාජ රග්බි කණ්ඩායම වයස අවුරුදු 15 න් පහළ රග්බි තරගාවලියේ අවසන් මහා තරගය දක්වා පැමිණීමට සමත් වුණා. එහිදී ධර්මරාජ කණ්ඩායම කොළඹ රාජකීය විද්‍යාලය සමඟ තරග වැදුණා.
1998, 1999, 2000 යන වසර තුනේම ධර්මරාජ පළමු පෙළ රග්බි කණ්ඩායම නියෝජනය කළ ඔහු 2001 වසරේ ධර්මරාජ පළමු පෙළ රග්බි කණ්ඩායමේ නායකත්වය අතට ගන්නේ නව බලාපොරොත්තු රැසක්ම ගෙනෙමිනුයි.
2001 වසරේ ධර්මරාජ කණ්ඩායම ඉතා ඉහළ දස්කම් දක්වන්නට සමත් වුණා. සජිත් සෙල්ලහන්නදී ගේ නායකත්වය යටතේ ධර්මරාජ රග්බි කණ්ඩායම Milo ජනාධිපති කුසලාන පිළිමලුන් පිටුදැකීමේ තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය දක්වා පැමිණෙන්නට සමත් වෙනවා. කොළඹ ඉසිපතන කණ්ඩායම සමඟ තරග වැදුණු ධර්මරාජ කණ්ඩායම එම තරගයේ අවසන් මිනිත්තු 15 වන තෙක් ඉදිරියෙන් සිටි බව සජිත් සෙල්ලහන්නදීගේ මතකය කියනවා. කෙසේ වෙතත් අවසන් විනාඩි 15 වේදී ඉසිපතනය තරගයේ ජයග්‍රහණය ධර්මරාජයෙන් උදුරාගෙන තිබුණේ අවාසනාවන්ත ලෙසයි.
“මා 2001 වසරේ කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළත් මගේ කණ්ඩායමේ ක්‍රීඩකයින් මට ලබා දුන් සහය අගය කළ යුතුමයි. G.D, වඩ්ඩා, කුමාර, සජීව, ඩොල්ෆා, S I, කුමාරසේන, එලුවා, කෝසල, දිසා Brothers, ලෙච්චා මල්ලි වැනි ජේෂ්ඨ ක්‍රීඩකයින් ඒ අවුරුද්දේ ඉතා ඉහළ දස්කම් දක්වන්නට සමත් වුණා.” සජිත් සෙල්ලහන්නදී ඔහුගේ කණ්ඩායම පිළිබඳව අප සමඟ එසේ අදහස් දක්වා සිටියා.
“මිට අමතරව මගේ කන්ඩායමේ හිටපු විශේෂ ක්‍රිඩකයෙක් මගේ සිහියට නැගෙනවා. ඔහු නමින් දුෂ්‍යයන්ත අසේල බන්ඩාර වැරැල්ලගම. අප කණ්ඩායමේ සාමාජිකයින් ඔහු ඇමතුවේ “Reserve Captain” කියලා. ක්‍රිඩා හැකියාවන් වගේම ඔහුට මානුෂීය ගුණ, සාමූහික හැගිම්, උත්සාහය හා කැපවීම තිබුණා. සිගිති… ඔබට නිවන් සුව අත්වේවා …!”
සජිත් සෙල්ලහන්නදී නායකත්වය දරන සමයේ කණ්ඩායමට සහය වුණු අය පිළිබඳව මතක් කරන්නටත් ඔහු අමතක කළේ නැහැ. “ජනක් සමරසිංහ, වෝල්ටර් සෙනෙවිරත්න, අරුණ කාලිංග, හේමන්ත යටවර, C S ඒකනායක, J B හේරත් යන ගුරැ භවතුන් ගෙන් අපට ලැබුණු ගුරු හරුකම්, විනය, ජවය, ශක්තිය හා පන්නරය මම හැමදාම අගය කරනවා.”
වසර තුනක් විද්‍යාලයේ රග්බි ක්‍රීඩාව වෙනුවෙන් වර්ණ දිනාගන්නා සජිත් සෙල්ලහන්නදී විද්‍යාලයීය ශිෂ්‍යභට කාණ්ඩය නියෝජනය කරමිනුත් ඉතා සුවිශේෂ මතක සටහන් කිහිපයක් තබනවා. 1998 වසරේදී හර්මන් ලූස් කුසලානයේ දෙවන ස්ථානය දිනූ ධර්මරාජ බටහිර තුර්ය වාදන කාණ්ඩයේ ද ඔහු සාමාජිකයෙක්. එමෙන්ම ශිෂ්‍ය භටයෙක් ලෙස ඔහු මාණ්ඩලික සැරයන් මේජර් දක්වා උසස්වීම් ලබා තිබීම විශේෂත්වයක්.
ධර්මරාජ බාලදක්ෂ සමූහයේ ද සාමාජිකයෙක් වුණු ඔහු, ක්‍රීඩා කවුන්සිලයේ සභාපති ලෙසද කටයුතු කළ අතර ධර්මරාජ විද්‍යාලයේ උප ප්‍රධාන ශිෂ්‍ය නායක වරයෙකු ලෙස ද කටයුතු කිරීම විශේෂත්වයක්.
2000 වසරේදී ශ්‍රී ලංකා පාසල් රග්බි සංචිතයට ද සුදුසුකම් ලබන ඔහු 2004 වසර දක්වා හැව්ලොක් ක්‍රීඩා සමාජයේ ක්‍රීඩා කරනවා. පසුව 2005 වසරේදී අවාසනාවන්ත ආබාධයක් නිසා ඔහුට ක්‍රීඩාවෙන් සමුගන්නට සිදු වෙනවා.
සජිත් සෙල්ලහන්නදී ගේ සහෝදරයින් ද රග්බි ක්‍රීඩාවේ නිරත වීම විශේෂත්වයක්. ඔහුගේ වැඩිමහල් සහෝදරයා වුණු ගිහාන් සෙල්ලහැන්නදි හා බාල සහෝදරයෙක් වුණු දිලංක නිරෝෂාන් සෙල්ලහැන්නදි ද ඔහු මෙන්ම රග්බි ක්‍රීඩාවට ඇළුම් කළා.
එක් ක්‍රීඩාවකින් පමණක් නොව අංශ රැසකින්ම දක්ෂතා දැක්වූ සජිත් සෙල්ලහන්නදී ගේ රග්බි ක්‍රීඩා විලාසය ඔහුගේ මතකයන් ධර්මරාජ රග්බි ඉතිහාසයේ සදා ජීවමානයි.