2002 RR Captain

Indika Udayakumara

Indika Udayakumara

තාක්ෂණය, රග්බි ක්‍රීඩාවේ දියුණුව මෙන්ම දිවයින පුරා රග්බි ක්‍රීඩාව තව තවත් ප්‍රචලිත වීමත් සමඟ 2000 න් පසුව පාසල් රග්බි පිටිය ඉතාම තරගකාරී මුහුණුවරක් ගත්තා. තරගකාරී රග්බි පිටියක අති දක්ෂ කණ්ඩායමක් සමඟ 2002 වසරේදී ඉන්දික උදයකුමාර ධර්මරාජ රග්බි පිටියේ වගකීම සිය දෙඋර මතට ගන්නවා.

1989 වසරේ ධර්මරාජයට එන ඉන්දික උදයකුමාර 6 වන ශ්‍රේණියේ සිටම බොක්සින් ක්‍රීඩාව යොමු වන්නේ කුඩා වයසින්ම කාගේත් අවධානය දිනා ගනිමිනුයි.

බොක්සින්, මලල ක්‍රීඩා රග්බි හා පාපන්දු යන සියලු ක්‍රීඩාවට ඔහු අතිදක්ෂ වන්නේ එම සෑම ක්‍රීඩාවකින්ම පාහේ නොමැකෙන මතක සටහන් තබමිනුයි. 1997 වසරේ “Stubs Shield” සමස්ත ලංකා කණිෂ්ඨ බොක්සින් තරගාවලියේ හොඳම බොක්සින් ක්‍රීඩකයා ලෙස ඔහු සම්මාන දිනා ගන්නේ ධර්මරාජයට ඉතා ඉහළ ගෞරවයක් ගෙනෙමිනුයි.
එතනින් නොනැවතුණු ඔහු 1996 වසරේ “Stubs Shield” සමස්ත ලංකා බොක්සින් තරගාවලියේ ශූරයා ලෙස අභිෂේක ලබන අතර ඔහුගේ සටන්කාමී දෑත් වල සවියෙන් ඉන්දික උදයකුමාර 1995 වසරේ ටී. බී ජයා කුසලාන බොක්සින් තරගාවලියේ අනුශූරයා ලෙසද ධර්මරාජයට ගෞරවයක් ගෙනෙනවා.

බොක්සින් ක්‍රීඩාවට මෙන් නොව මලල ක්‍රීඩාවන්ට ද ඉතා දක්ෂයෙක් වුණු ඉන්දික උදයකුමාර 2002 වසරේ ජාතික පාසල් ක්‍රීඩා උළෙලේ දී වයස අවුරුදු 21 න් පහළ මීටර 100 සහය දිවිමේ ඉසව්වට සහභාගී වන අතර ඔහු ප්‍රමුඛ ධර්මරාජ සහය දිවීමේ කණ්ඩායම ඉන් ලෝකඩ පදක්කම දිනා ගන්නේ පාසැල් රැසක අභියෝගය පහසුවෙන් මැඩලමින්.

බොක්සින්, මලල ක්‍රීඩා මෙන්ම පාපන්දු ක්‍රීඩාවටත් දස්කම් දැක්වූ ඉන්දික උදයකුමාර රග්බි ක්‍රීඩාවට යොමුවන්නේ අහම්බයෙන්. කුඩා කළ සිට රග්බි ක්‍රීඩා කළත් ඔහු රග්බි පුහුණුවීම් සඳහා සහභාගී වී තිබුණේ නැහැ. ඒ ඉන්දික උදයකුමාර 7 වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන සමයේ ඔහු බොක්සින් ක්‍රීඩා කරනු දුටු ජනක් සමරසිංහ ඔහුව රග්බි ක්‍රීඩාව සඳහා යොමු කළ බව ඉන්දික උදයකුමාර ගේ මතකය කියනවා.

ආරම්භය අහම්බයක් වුණත් රග්බි පිටිය ඉන්දික උදයකුමාර ට ආගන්තුක තැනක් නම් වුණේ නැහැ. වයස අවුරුදු 13 න් පහළ ධර්මරාජ රග්බි කණ්ඩායම නියෝජනය කරමින් වයස අවුරුදු 13 න් පහළ තරගාවලියේදී ඔහු උත්සාහක දිනුම් තුනක්ම වාර්තා කරන්නේ පැහැබර අනාගතයක පෙර ලකුණු පෙන්වමිනුයි.

අරුණ කාලිංග ගේ මග පෙන්වීම සමඟින් 1997 වසරේදී වයස අවුරුදු 15 න් පහළ තරගාවලිය ද ක්‍රීඩා කරන ඉන්දික උදයකුමාර 2000 වසරේදී වයස අවුරුදු 17 න් පහළ මෙන්ම වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම් දෙකම නියෝජනය කරන්නේ සිය ක්‍රීඩා දිවියට අත්දැකීම් රැසක්ම එකතු කර ගනිමිනුයි.

වසර තුනක පළමු පෙළ අත්දැකීම් සමඟින් ඉන්දික උදයකුමාර 2002 වසරේදී ධර්මරාජ පළමු පෙළ රග්බි කණ්ඩායමේ සුක්කානම අතට ගන්නවා. ඒ වසරේ සාන්ත අන්තෝනි තරගයට ධර්මරාජ කණ්ඩායම ඉතා හොඳින් මුහුණදුන් බව ඔහුගේ මතකය කියනවා. එවකට සාන්ත අන්තෝනි කණ්ඩායම ඉතා ප්‍රබල කණ්ඩායමක් වුණේ ප්‍රදීප් ලියනගේ, රාජගුරු, ස්වර්ණතිලක, ඉම්රාන් බිස්තමින් වැනි ශ්‍රී ලංකා ජාතික සංචිතයන් ද නියෝජනය කළ ක්‍රීඩකයින් 6 ක්ම එම කණ්ඩායමේ ක්‍රීඩා කළ නිසයි. ඉතා තිබුණු තරගයකට පසුව එම තරගයයෙන් ධර්මරාජය විශිෂ්ඨ ජයක් වාර්තා කර තිබුණා. 2002 වසරේ කිංග්ස්වුඩ් විද්‍යාලය සමඟ තරගට ධර්මරාජය හොඳ සුදානමකින් සිටියත් අවාසනාවන්ත ලෙස ඒ තරගය අවලංගු වූ බව ඔහු පවසා සිටියේ ඉතා කණස්සල්ලෙන්.

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය ලකුණු 84-00 ක් ලෙස බ්‍රැඩ්බි තරගාවලියේදී පරාජය කළ ප්‍රබල කොළඹ රාජකීය කණ්ඩායම සමඟ ධර්මරාජ කණ්ඩායම 2002 වසරේදී හොඳින් තරග වැදුණු බව ඉන්දික උදයකුමාර මතක් කර සිටිනවා. ඇතැම් විනිසුරු තීරණ මත ධර්මරාජ කණ්ඩායම තරග පරාජය වුණත් ඉතා තියුණු තරගයක් රාජකීයයන්ට ලබා දෙන්නට ධර්මරාජිකයින් සමත්ව තිබුණා. අති ප්‍රබල කණ්ඩායමක් වුණු රාජකීය විද්‍යාලයීය කණ්ඩායම ඒ වසරේ වාර්තා කළ අඩුම ලකුණු ගණන ඒ තරගයේදී වාර්තා වීම තවත් විශේෂත්වයක් වුණා.

2002 කණ්ඩායම ඉතා ප්‍රබල කණ්ඩායමක් වූ බව ඉන්දික උදයකුමාර පවසා සිටිනවා. උපනායකයින් හසිත සෙනෙවිරත්න සහ රුවන් හෙට්ටිආරච්චි, වඩුගේ, භාතිය, අමිල විතානආරච්චි, කපිලරත්න, සමීර ජයවර්ධන, ශමාල් විරකෝන්, කනිශ්ක අබුවන්ගල, දක්ශිත දර්මරත්න සහ රුමෙශ් සිල්වා වැනි ප්‍රබල ක්‍රීඩකයින් රැසක්ම ඒ වසරේදී සිය නායකයා සමඟ උරෙනුර සටන් වැදුණු කණ්ඩායමක කොටස්කරුවන්.

බොක්සින්, රග්බි හා මලල ක්‍රීඩා යන ක්‍රීඩා තුනෙන්ම ඉන්දික උදයකුමාර වර්ණ රාත්‍රියේ වර්ණ දිනා තිබීම විශේෂත්වයක්. 1999 වසරේදී බොක්සින් ක්‍රීඩාව සඳහා වර්ණ දිනූ ඔහු 1995, 1996, 1997 වසර වලදී බොක්සින් ක්‍රීඩාව සඳහා විශේෂ ඇගයීම් (Merit) ලබනවා. එමෙන්ම 2002 වසරේදී ඔහු රග්බි හා මලල ක්‍රීඩා සඳහා වර්ණ දිනා ගැනීම විශේෂත්වයක්. 2002 වසරේදී ධර්මරාජ ක්‍රීඩා කවුන්සිලයේ සභාපති ලෙස ද ඔහු කටයුතු කළා.

පාසලෙන් නික්මුණු ඉන්දික උදයකුමාර 2017 වසර දක්වාම ක්‍රීඩා සමාජ රග්බි පිටියේ දස්කම් දක්වන්නට සමත් වූ ක්‍රීඩකයෙක්. වසර 13 ක් CH & FC ක්‍රීඩා සමාජය නියෝජනය කළ ඔහු එක වසරක් CR & FC කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩා කරනවා.

වෙළඳ සේවා රග්බි තරගාවලියේද ඉතා දස්කම් දක්වන්නට සමත් වූ ඔහු Buthani Exports කණ්ඩායම නියෝජනය කරමින් 2007 වසරේදී වෙළඳ සේවා රග්බි තරගාවලියේ අනුශුරතාවය දිනා ගැනීම විශේෂත්වයක්. එමෙන්ම කාල්ටන් සුපර් 7s තරගාවලියේ 2013 ශූරතාව දිනූ Jaffna Challengers කණ්ඩායම නියෝජනය කරන්නට ද ඔහුට වාසනාව හිමි වුණා.

ඉන්දික උදයකුමාරගේ සහෝදරයින් ද ධර්මරාජ කෙළි බිමට ඉමහත් සේවයක් ඉටු කළ ක්‍රීඩකයින්. ඔහුගේ සොයුරු ප්‍රදීප් මුනිදාස 1997 ධර්මරාජ දස සාමාජික රග්බි කණ්ඩායමේ ක්‍රීඩකයෙක් ලෙස කටයුතු කළ අතර ඔහු ක්‍රිකට් ක්‍රීඩාවෙන් මෙන්ම බොක්සින් ක්‍රීඩාවෙන් ද ධර්මරාජය නියෝජනය කරන්නට සමත් වුණා. ඉන්දික උදයකුමාර ගේ අනෙක් සොයුරා වන නවින්ද්‍ර දයාන් මේ වන විට ශ්‍රී ලංකා බර ඉසිලීමේ කණ්ඩායමේ සහය පුහුණුකරු ලෙස කටයුතු කරන අතර පාසල් රග්බි පිටියේ සාන්ත ජෝසප්, ඉසිපතන කණ්ඩායම් වලත් ශාරීරික යෝග්‍යතා පුහුණුකරුවෙක් (Trainer) ලෙස කටයුතු කර තිබෙනවා. ඊට අමතරව ඉන්දික උදයකුමාරගේ පියා, P.K. මුනිදාස හා ඔවුගේ ළඟම ඥාතින් රැසක්ම ධර්මරාජයෙන්ම ශිල්ප හැදෑරීම විශේෂත්වයක්.

රග්බි පිටියේ පමණක් නොව පිටියෙන් එපිටත් ආදී ධර්මරාජිකයින්ගේ රග්බි පාපන්දු සංගමයට ඉතා ඉහළ සේවයක් කළ අයෙක් ලෙස ඉන්දික උදයකුමාර හැඳින්විය හැකියි. එහි භාණ්ඩාගාරික ලෙස ද ඔහු ධර්මරාජයේ රග්බි ක්‍රීඩාව නගා සිටුවන්නට සිය සේවය ලබා දීම විශේෂත්වයක්.

රග්බි පිටියේදී පමණක් නොව රග්බි පිටියෙන් එපිටදීත් ධර්මරාජයේ ක්‍රීඩාවේ අමරණිය සලකුණක් තැබූ ඉන්දික උදයකුමාර ධර්මරාජ කෙළි බිමේ සදා ජීවමානයි.