2003 RR Captain

අත්දැකීම් බහුල කණ්ඩායමක් සමඟින් ධර්මරාජ පළමු පෙළ රග්බි කණ්ඩායම 2003 වසරට මුහුණ දෙනවා. ඒ වසරේ ධර්මරාජ කණ්ඩායමේ සුක්කානම හිමිවන්නේ මිගාර ප්‍රේමචන්ද්‍ර හටයි.
1 වසරේ පොඩ්ඩෙක් ලෙස ධර්මරාජයට පැමිණි කාලයේ සිටම මිගාර ප්‍රේමචන්ද්‍ර ගේ හිත වැඩිපුර තිබුණේ ක්‍රීඩා පිටියේයි. මලල ක්‍රීඩා පිටියේ හා පිහිනුම් තටාකයේ පිහිනුම් ක්‍රීඩකයෙක් ලෙසද දස්කම් දක්වන්නට ද ඔහු සමත් වෙනවා. වයස අවුරුදු 13 න් පහළ මෙන්ම වයස අවුරුදු 15 න් පහළ කණ්ඩායම් ද නියෝජනය කරමින් ක්‍රිකට් ක්‍රීඩා කළ ඔහු එහි පන්නරයත් රැගෙන අවුරුදු 15 න් පහළ වයස් කාණ්ඩයේ සිට රග්බි ක්‍රීඩාවට පමණක් සිය අවධානය යොමු කරනවා.
1999 – 1998 වකවානුවේ අරුණ කාලිංග ගේ පුහුණුකාරීත්වය යටතේ ධර්මරාජ වයස අවුරුදු 15 න් පහළ රග්බි කණ්ඩායම ඉතා ප්‍රබල තත්වයක පැවතුණු බව මිගාර ප්‍රේමචන්ද්‍ර මතකය කියනවා. එම වයස අවුරුදු 15 න් පහළ කණ්ඩායමම දිනෙන් දින දියුණු වෙමින් නව ශිල්ප උගෙනිමින් වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම දක්වාම පැමිණීම විශේෂත්වයක් වුණා.
මිගාර ප්‍රේමචන්ද්‍ර නියෝජනය කළ වයස අවුරුදු 15 න් පහළ කණ්ඩායම ඒ වසරේ වයස අවුරුදු 15 න් පහළ දස සාමාජික රග්බි තරගාවලියේ බඳුන කොටසේ අවසන් පූර්ව වටය දක්වා පැමිණ තිබුණේ එවකට කණ්ඩායමේ දක්ෂතා මැනවින් පිළිබිඹු කරමිනුයි.
පසුව වයස අවුරුදු 17 න් පහළ කණ්ඩායම ක්‍රීඩා කරන සමයේ මිගාර ප්‍රේමචන්ද්‍ර පළමු පෙළ කණ්ඩායමේ දොරටු විවර වෙනවා. මිගාර ප්‍රේමචන්ද්‍ර නියෝජනය කළ වයස අවුරුදු 17 න් පහළ වයස් කාණ්ඩයට ක්‍රීඩා කළ ධර්මරාජ කණ්ඩායම ඒ වසරේදී එක් තරගයක් හැරෙන්නට ඔවුන් ක්‍රීඩා කළ අනෙක් තරග සියල්ලම ජයග්‍රහණය කිරීම විශේෂත්වයක්. ප්‍රබල වෙස්ලි කණ්ඩායම පවා පරාජය කළ ඔවුන් අවාසනාවන්ත ලෙස මහනුවර සිල්වෙස්තර විද්‍යාලය හමුවේ පමණක් පරාජය වී තිබුණා. එම වසරේ දස සාමාජික රග්බි තරගාවලියේ පලිහ කුසලාන අවසන් පූර්ව තරගය දක්වා ධර්මරාජ කණ්ඩායම පැමිණීමට සමත් වීම විශේෂත්වයක්.
2001, 2002 යන වසර වල පළමු පෙළ අත්දැකීම් සමඟින් මිගාර ප්‍රේමචන්ද්‍ර 2003 වසරේදී ධර්මරාජ පළමු පෙළ කණ්ඩායමේ සුක්කානම භාර ගන්නවා. ඒ වසරේදී ධර්මරාජ රග්බි කණ්ඩායම ආනන්ද විද්‍යාලය, වෙස්ලි විද්‍යාලය, ඉසිපතන විද්‍යාලය වැනි ප්‍රබල කණ්ඩායම් සමඟ සුපර් සෙවන්ස් රග්බි තරගාවලියක් ක්‍රීඩා කිරීම විශේෂත්වයක්.
2003 වසරේ ලීග් තරගාවලියේදී ධර්මරාජ කණ්ඩායමට එතරම් සාර්ථක වන්නට හැකි වන්නේ නැහැ. එනමුත් ඒ වසරේ කිංග්ස්වුඩ් විද්‍යාලය සමඟ පැවති රග්බි තරගය ඔහුගේ දිවියේ අමතක නොවන තරගයක් බව මිගාර ප්‍රේමචන්ද්‍ර පවසා සිටිනවා. ඒ පළමු වරට කිංග්ස්වුඩ් විද්‍යාලය හා ධර්මරාජ විද්‍යාලය අතර විලියම් වීරසිංහ අනුස්මරණ තරගය පැවැත්වුණේ ඒ වසරේදී වීම නිසයි.
රැන්ඩ්ල්ස් හිල් කන්දත්, ලේක්වීව් කන්දත් සටකාමිත්වයෙන් යාවූ ඒ තරගය ඉතා සුපිරි තරගයක් වූ බව මිගාර ප්‍රේමචන්ද්‍ර පවසා සිටිනවා. තියුණු තරගයකට පසුව ධර්මරාජ පළමු පෙළ කණ්ඩායම ඒ තරගය ලකුණු තුනකින් පරාජය වී තිබුණේ අවාසනාවන්ත ලෙසයි.
2003 වසරේ සත් සාමාජික රග්බි තරගාවලියේ බඳුන ශුරතාවය දිනා ගන්නට ධර්මරාජය සමත් වුණේ මිගාර ප්‍රේමචන්ද්‍ර ගේ නායකත්වය යටතේයි.
පළමු විලියම් වීරසිංහ කුසලාන තරගය ක්‍රීඩා කිරීමට භාග්‍යය හිමි වුණු ධර්මරාජ රග්බි නායකයා ලෙස මිගාර ප්‍රේමචන්ද්‍ර නම් ධර්මරාජ රග්බි පිටියේ සදා අමරණීයයි.