2004 RR Captain

Rumesh Silva

Rumesh Silva

පෙර වසරවල් වල මෙන්ම 2004 වසරේදීත් පාසල් රග්බි පිටිය ඉතා උණුසුම් වුණා. 2004 වසරේ ධර්මරාජ පළමු පෙළ රග්බි කණ්ඩායමේ නායකත්වය හිමි වුණේ අත්දැකීම් බහුල ක්‍රීඩකයෙක් වුණු රුමේෂ් සිල්වා හටයි.

කුඩා කල සිටම රග්බි පිටියට ඇළුම් කළ රුමේෂ් සිල්වා වයස අවුරුදු 13 න් පහළ වයස් කාණ්ඩයේ සිටම රග්බි පිටියේ දස්කම් දක්වන්නට සමත් වුණා. රග්බි ක්‍රීඩාවට මෙන්ම පාපන්දු ක්‍රීඩාවට ද ඔහු දස්කම් දැක්වූවා. ධර්මරාජ වයස අවුරුදු 19 න් පහළ පාපන්දු කණ්ඩායම නියෝජනය කරන්නට ද ඔහුට වරම් ලැබුණේ පාපන්දු ක්‍රීඩාවට ඔහුගේ තිබුණු දක්ෂතාවය නිසයි.

වයස අවුරුදු 15 න් පහළ මෙන්ම වයස අවුරුදු 17 න් පහළ වයස් කාණ්ඩ වල ද ධර්මරාජ කණ්ඩායම නියෝජනය කරමින් දස්කම් දැක්වූ ඔහු පළමු වරට ධර්මරාජ පළමු පෙළ රග්බි කණ්ඩායමට පිවිසෙන්නේ 2001 වසරේදීයි. වයස අවුරුදු 15 න් පහළ කණ්ඩායමේ දැක්වූ දක්ෂතා නිසාම ඔහුට ශ්‍රී ලංකා පාසල් වයස අවුරුදු 16 න් පහළ කණ්ඩායමට ක්‍රීඩා කරන්නටත් අවස්තාව හිමි වුණා.

2001, 2002 හා 2003 වසර වලදී ධර්මරාජ පළමු පෙළ කණ්ඩායම නියෝජනය කළ රුමේෂ් සිල්වා 2004 වසරේ කණ්ඩායමේ සුක්කානම භාරගන්නවා.

2004 වසරේදී ධර්මරාජ පළමු පෙළ රග්බි කණ්ඩායම කණ්ඩායමක් ලෙස එකමුතුව ක්‍රීඩා කළ බව රුමේෂ් සිල්වා ගේ මතකය කියනවා. එම වසරේ තර්ස්ටන් තරගය ඔහුට අමතක නොවන තරගයක් වුණා. තියුණු තරගයක් අවසානයේ තරගයේ ලකුණු සම වී තිබුණු අතර තරගයේ අවසන් මොහොතේ ලැබුණු දඬුවම් පහරක් රුමේෂ් සිල්වා සාර්ථක කර ගත්තේ තරගයේ ජය ධර්මරාජයට ගෙනෙමිනුයි.

2001 වසරේ ශ්‍රී ලංකා පාසල් කණ්ඩායමට ක්‍රීඩා කරන්නට වරම් ලැබුණු රුමේෂ් සිල්වා හට ඒ වසරේ මෙන්ම 2004 වසරේදීත් රග්බි ක්‍රීඩාව වෙනුවෙන් වර්ණ හිමි වුණා.

විද්‍යාලයේ ශිෂ්‍ය නායකයෙක් ලෙසද කටයුතු කළ ඔහු පාසලෙන් පසුවත් රග්බි පිටියේ හැර ගියේ නැහැ. ආදී ත්‍රිත්වයින්ගේ ක්‍රීඩා සමාජය ද නියෝජනය කළ ඔහු වයස අවුරුදු 21 න් පහළ CH & FC කණ්ඩායමේ ද පුහුණුවීම් සඳහා සහභාගී වීම විශේෂත්වයක්.

රුමේෂ් සිල්වා ගේ නායකත්ව ගති ගුණ හා ඔහුගේ ක්‍රීඩා විලාසය ධර්මරාජ රග්බි පිටියේ සදා ජීවමානයි.