2005 RR Captain

ධර්මරාජ රග්බි ඉතිහාසයේ තවත් අමරණිය වසරක් ලෙස 2005 වසර හැඳින්විය හැකියි. ධර්මරාජ රග්බි ඉතිහාසයට මතක සටහන් රැසක් එක්වූ 2005 වසර ධර්මරාජ පළමු පෙළ කණ්ඩායම මෙහෙයවූයේ මධුර නානයක්කාරයි.
1 ශ්‍රේණියේ පොඩ්ඩෙක් ලෙස ධර්මරාජයට එන මධුර නානායක්කාර ක්‍රීඩා පිටියට යොමුවෙන්නේ සිය සොයුරන්ගේ අවෑමෙනුයි. රග්බි ක්‍රීඩාවට පෙර ඔහු ක්‍රිකට් ක්‍රීඩාවට හා පාපන්දු ක්‍රීඩාවෙන් ඉතා ඉහළ දස්කම් දක්වන්නට සමත් වුණා.
වයස අවුරුදු 13 න් පහළ ධර්මරාජ ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කළ ඔහු පාපන්දු ක්‍රීඩාව සඳහාත් ඉතාම ඇළුම් කළා. වයස අවුරුදු 12 න් පහළ, වයස අවුරුදු 14 න් පහළ හා වයස අවුරුදු 16 න් පහළ ධර්මරාජ පාපන්දු කණ්ඩායම් වලට ක්‍රීඩා කළ ඔහු ඒ වයස් කාණ්ඩ තුනේම කණ්ඩායමේ නායකයා ලෙසද කටයුතු කරනවා.
ඔහුගේ නායකත්වය යටතේ වයස අවුරුදු 12 න් පහළ හා 14 න් පහළ පාපන්දු කණ්ඩායම ධර්මරාජයට ඒ ඒ වයස් කාණ්ඩ වල සමස්ත ලංකා ශුරතාවයන් ද දිනා ගැනීම විශේෂත්වයක්. වයස අවුරුදු 16 න් පහළ වයස් කාණ්ඩයේ ද සමස්ත ලංකා අවසන් පූර්ව වටයට පැමිණෙන්නට මධුර නානයක්කාර ප්‍රමුඛ ධර්මරාජ කණ්ඩායම සමත් වුණත් ඔවුන් අවාසනාවන්ත ලෙස සහිරා විද්‍යාලය හමුවේ ගෝල 2-1 ක් ලෙස පරාජය වුණා.
මධුර නානයක්කාර ප්‍රමුඛ ධර්මරාජ වයස අවුරුදු 16 න් පහළ ධර්මරාජ පාපන්දු කණ්ඩායම ඉතා ප්‍රබල කණ්ඩායමක් වුණා. ඔවුන්ගේ තිබුණු ප්‍රබලත්වය නිසාම දිවයිනේ ප්‍රකට ප්‍රබල ක්‍රීඩා සමාජයක් වන සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජයක් සමඟ ඔවුන්ට තරගයක් හිමි වෙනවා. ඒ තරගය ධර්මරාජ කණ්ඩායම ගෝල 2-1 ක් ලෙස පරාජය වුණත් ධර්මරාජ කණ්ඩායමේ ක්‍රීඩා විලාසය සියලු දෙනාගේම අවධානය දිනා ගන්නට සමත් වුණා.
සිය සොයුරන්ගේ අඩිපාරේ ගිය මධුර නානයක්කාර ධර්මරාජ වයස අවුරුදු 13 න් පහළ රග්බි කණ්ඩායමට එකතු වෙනවා. ඔහුගේ වැඩිමහල් සහෝදරයා වූ චමින්ද නානායක්කාර ද 1999 වසරේදී ධර්මරාජ පළමු පෙළ රග්බි කණ්ඩායම නියෝජනය කරන්නේ රග්බි ක්‍රීඩාව කෙරෙහි කුඩා මධුර නානයක්කාර ගේ සිතෙත් ආශාවක් ඇති කරමිනුයි.
මධුර නානයක්කාර වයස අවුරුදු 13 න් පහළ රග්බි කණ්ඩායම නියෝජනය කරන්නේ අරුණ කාලිංග ගේ පුහුණුකාරිත්වයෙන් ගුරු හරුකම් ලබමිනුයි. ඒ වසරේදී ඔවුන් මයිලෝ සමස්ත ලංකා රග්බි තරගාවලියේදී ඉතා හොඳ දස්කම් දැක්වූ බව මධුර නානයක්කාරගේ මතකය කියනවා.
එලෙසම වයස අවුරුදු 15 න් පහළ කණ්ඩායම ද නියෝජනය කළ ඔහු වයස අවුරුදු 17 න් පහළ කණ්ඩායම නියෝජනය කරන සමයේදීම ධර්මරාජ පළමු පෙළ රග්බි කණ්ඩායමේ සිය අසුන වෙන් කර ගන්නවා.
2003 වසරේදී පළමු වරට ධර්මරාජ පළමු පෙළ රග්බි කණ්ඩායම නියෝජනය කරන ඔහු වසර තුනක් ධර්මරාජ පළමු පෙළ රග්බි කණ්ඩායම නියෝජනය කරන්නේ 2005 වසරේදී ධර්මරාජ පළමු පෙළ රග්බි කණ්ඩායමේ සුක්කානම සියතට ගනිමිනුයි.
2005 වසරේ පැවැත්වුණු අන්තර් පාසල් සත් සාමාජික රග්බි තරගාවලිය තමාට අමතක නොවන තරගාවලියක් බව මධුර නානයක්කාර කියනවා. ඒ එම තරගාවලියේදී මධුර නානයක්කාරගේ නායකත්වයෙන් තරග වැදුණු ධර්මරාජ සත් සාමාජික රග්බි කණ්ඩායම තරගාවලියේ පළඟ ශුරතාවය දිනාගත් නිසයි.
එම තරගාවලියේ ආරම්භක තරගයේදී ධර්මරාජය සාන්ත පීතර කණ්ඩායමට පරාජය වුණත් ඔවුන් එවකට සත් සාමාජික රග්බි පිටියේ ප්‍රබලම කණ්ඩායමක් වුණු කොළඹ ඉසිපතන කණ්ඩායම පරාජය කරන්නේ ලකුණු 34-00 ක් ලෙස සියලු දෙනා වික්ෂිප්ත කරමිනුයි. එම පන්නරයෙන්ම තවත් ප්‍රබල කණ්ඩායමක් වුණු මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය ලකුණු 28-07 ක් ලෙස පරාජය කරන ධර්මරාජ කණ්ඩායම පළඟ අවසන් මහා තරගයේදී විද්‍යා විද්‍යාලය ලකුණු 17-07 ක් ලෙස පරාජය කරනවා. ඒ තරගයේ පළමු උත්සාහක දිනුම වාර්තා වන්නේ ද මධුර නානයක්කාරගේ සුරතිනුයි.
ඒ වසරේ ලීග් තරගාවලියේ නාලන්ද, සහිරා හා සිල්වෙස්ටර් තරග මධුර නානයක්කාරගේ ප්‍රමුඛත්වයෙන් ධර්මරාජ කණ්ඩායම ජය ගන්නවා. ඉතා ප්‍රබල කණ්ඩායමක් වුණු 2005 ධර්මරාජ කණ්ඩායමට ප්‍රබල ක්‍රීඩකයින් කිහිපදෙනෙක්ම ක්‍රීඩා කළ බව මධුර නානයක්කාර ගේ මතකය කියනවා. අකිල හෙට්ටිආරච්චි, චානක බණ්ඩාර, උප නායක බඹරදෙණිය, ගුණතිලක, අසංක පෙරේරා, සහන්, ගොඩිගමුව වැනි ක්‍රීඩකයින් ඒ වසරේදී දස්කම් දක්වන්නට සමත් වූ ක්‍රීඩකයින්.
2004 හා 2005 වසර වලදී ඔහුට වර්ණ හිමිවෙන්නේ රග්බි ක්‍රීඩාව උදෙසා කළා වූ සේවය නිසයි.
පාසලෙන් නික්මුණු පසුවත් ඔහු රග්බි ක්‍රීඩාව අමතක කරන්නේ නැහැ. ඔහු ලංකාබෙල් කණ්ඩායම වෙනුවෙන් වෙළඳ සේවා සත් සාමාජික රග්බි තරගාවලිය ක්‍රීඩා කරන අතර ලංකාබෙල් කණ්ඩායම ඔවුන් අයත් වුණු කාණ්ඩයේ ශුරතාවය ද දිනා ගන්නට සමත් වෙනවා.
පසුව ඩුබායි වෙත සංක්‍රමණය වුණු ඔහු වාර්ෂිකව පැවැත්වෙන Lanka Lions Tag Rugby තරගාවලිය සඳහා ද ධර්මරාජය නියෝජනය කරමින් ක්‍රීඩා කරනවා. එහිදී වසර දෙකක්ම පළඟ ශුරතාව දිනාගත් කණ්ඩායමට ද ක්‍රීඩා කරන ඔහු වරෙක කුසලාන අනුශුරතාව දිනූ ධර්මරාජ කණ්ඩායමට ද ක්‍රීඩා කරනවා.
මධුර නානයක්කාරගේ සොයුරන් ද ධර්මරාජයේම ශිල්ප උගත් අය වීම විශේෂත්වයක්. ඔහුගේ දෙටු සොයුරා වන පුජිත නානායක්කාර ධර්මරාජය වෙනුවෙන් පාපන්දු ක්‍රීඩා කළ අතර ඔහු පාපන්දු වර්ණ ද දිනාගෙන ශ්‍රී ලංකා පාසල් කණ්ඩායමට ද ක්‍රීඩා කළා. දෙවැනි සොයුරා දේශප්‍රිය නානායක්කාර වන අතර තෙවැනි සොයුරා වන චමින්ද නානායක්කාර මලල ක්‍රීඩා, පාපන්දු හා රග්බි යන ක්‍රීඩා තුනෙන්ම දස්කම් දක්වමින් විද්‍යාලයීය කණ්ඩායම් වලට සුදුසුකම් ලැබීම විශේෂත්වයක්.
ධර්මරාජයේ නාමයේ පාසල් රග්බි පිටියේ ඉහළටම රැගෙන ගිය නායකයෙක් ලෙස මධුර නානයක්කාර ධර්මරාජ රග්බි පිටියේ සදා ජීවමානයි.