2006 RR Captain

Anushka Jayasekara

Anushka Jayasekara

2006 වසරට ධර්මරාජ රග්බි කණ්ඩායම පිවිසෙන්නේ අභියෝග රැසක් සමඟිනුයි. 2006 වසරේ ධර්මරාජ රග්බි කණ්ඩායමේ නායකත්වය භාරගෙන කටයුතු කළේ අනුෂ්ක ජයසේකරයි.

1994 වසරේ දෙක ශ්‍රේණියේ පොඩ්ඩෙක් ලෙස ධර්මරාජයට එන අනුෂ්ක ජයසේකර ක්‍රීඩා පිටියට පිවිසෙන්නේ 6 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන කාලයේදීයි. ඒ ජිම්නාස්ටික් ක්‍රීඩාවෙන්. ජිම්නාස්ටික් ක්‍රීඩාවට ඉහළ දස්කම් දැක්වූ අනුෂ්ක ජයසේකරට 2000 වසර ඉතා සුවිශේෂ වසරක් වුණා. ඒ විද්‍යාලයීය නිවාසාන්තර මලල ක්‍රීඩා උත්සවයේ රග්බි තරග ක්‍රීඩා කරන 8 ශ්‍රේණියේ සිටි අනුෂ්ක ජයසේකර දුටු රාජපක්ෂ නම් ගුරු භවතෙකු ඔහුව රග්බි ක්‍රීඩාවට යොමු කිරීම නිසයි.

එතැන් පටන් ඔහු වයස අවුරුදු 13 න් පහළ 15 න් පහළ හා 17 න් පහළ ධර්මරාජ රග්බි කණ්ඩායම් වල සිය අසුන වෙන් කරගැනීමට සමත් වුණේ වයස අවුරුදු 17 න් පහළ ක්‍රීඩා කරන අවධියේම ධර්මරාජ පළමු පෙළ කණ්ඩායමේ අසුනකුත් තමන්ට වෙන් කර ගනිමිනුයි.

අනුෂ්ක ජයසේකර ක්‍රීඩා කළ 2002 වසරේ වයස අවුරුදු 15 න් පහළ කණ්ඩායම 15 න් පහළ තරගාවලියේ පළඟ අනුශුරතාවය දිනා ගැනීමට සමත් වීම විශේෂත්වයක්. ඔවුන් කුරුණෑගල සාන්ත ආනා, නාලන්ද , වත්තල සාන්ත අන්තෝනි, සාන්ත තෝමස් වැනි කණ්ඩායම පරාජය කර පළඟ අවසන් මහා තරගය දක්වා පැමිණි බව අනුෂ්ක ජයසේකරගේ මතකය කියනවා. කෙසේ වෙතත් ඔවුන් අවාසනාවන්ත ලෙස විද්‍යාර්ථ විද්‍යාලය හමුවේ අවසන් තරගය පරාජය වෙනවා.

අනුෂ්ක ජයසේකර පළමු වරට ධර්මරාජ පළමු පෙළ රග්බි කණ්ඩායම නියෝජනය කරන්නේ 2004 වසරේදීයි. ඒ රොමේෂ් සිල්වා ගේ නායකත්වය යටතේදීයි. ඒ වසරේ සාන්ත ජෝසප් තරගය ඔහුට අමතක නොවන තරගයක් බව අනුෂ්ක ජයසේකර පවසා සිටිනවා. සාන්ත ජෝසප් තරගය ධර්මරාජ කණ්ඩායම පෙරමුණේ සිටියත් අවසන් මොහොතේ ලකුණු 12 – 10 ක් ලෙස ධර්මරාජයෙන් ජයග්‍රහණය උදුරාගන්නට සාන්ත ජෝසප් කණ්ඩායම සමත් වී තිබුණා. අවසානයේදී දඬුවම් පහරක් ලැබුණත් අවාසනාවන්ත ලෙස එයත් අසාර්ථක වූ බව අනුෂ්ක ජයසේකර සංවේගයෙන් මතක් කර සිටිනවා.

වසර තුනක පළමු පෙළ අත්දැකීම් සමඟින් අනුෂ්ක ජයසේකර 2006 වසරේදී ධර්මරාජ පළමු පෙළ රග්බි කණ්ඩායමේ නායකත්වය භාර ගන්නවා. සහන් රත්නායක, අකිල නුවන් හෙට්ටිආරච්චි, අසංක දිසානායක, සහන් කොඩිතුවක්කුආරච්චි, ගලපිටිය, දේවප්‍රිය, වජිර, පැතුම් සිල්වා වැනි ප්‍රබල ක්‍රීඩකයින් ඒ කණ්ඩායමේ සිටි බව අනුෂ්ක ජයසේකර මතක් කර සිටිනවා. සහන් රත්නායක ඒ වසරේදී ශ්‍රී ලංකා පාසල් කණ්ඩායම නියෝජනය කිරීම විශේෂත්වයක් වුණා. එමෙන්ම අකිල නුවන් හෙට්ටිආරච්චි පසු කලෙක ක්‍රීඩා සමාජ රග්බි පිටියේ සුපිරි දස්කම් දැක්වූයේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම ද නියෝජනය කිරීමට වරම් හිමිකර ගනිමිනුයි.

කෙසේ වෙතත් අවසන්වන්ත ලෙස කණ්ඩායමේ ප්‍රධානතම ක්‍රීඩකයින් කිහිපදෙනෙක් හට ඒ වසරේ ලීග් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්තාව අහිමි වෙනවා. කෙසේ වෙතත් ඒ වසරේදී සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය සමඟ තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරගන්නා ධර්මරාජ කණ්ඩායම විද්‍යා විද්‍යාලය සමඟ තරගය ජය ගන්නේ ඉසිපතන, රාජකීය, ත්‍රිත්ව වැනි ප්‍රබල කණ්ඩායම් කිහිපයක් සමඟම කරට කර සටන් වැදීමෙන් අනතුරුවයි.

2005 හා 2006 වසර වලදී ඔහු රග්බි ක්‍රීඩාව වෙනුවෙන් පාසල් වර්ණ දිනා ගන්නවා.

අභියෝග රැසක් මැදින් කණ්ඩායම මෙහයවූ නායකයෙක් ලෙස අනුෂ්ක ජයසේකර ධර්මරාජ රග්බි පිටියේ සදා අමරණීයයි.