2007 RR Captain

Ruwantha Nawalage

Ruwantha Nawalage

2007 වසරට ධර්මරාජ රග්බි කණ්ඩායම පිවිසෙන්නේ අත්දැකීම් බහුල, නවක ක්‍රීඩක සංකලනයක් සමඟිනුයි. 2007 වසරේ ධර්මරාජ පළමු පෙළ රග්බි කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන්නේ රුවන්ත නාවලගේ යි.

කුඩා කල සිටම රග්බි ක්‍රීඩාවට ඇලුම් කළ රුවන්ත නාවලගේ රග්බි ක්‍රීඩාව ආරම්භ කරන්නේ 13 න් පහළ ධර්මරාජ රග්බි කණ්ඩායමෙනුයි. ඔහු සෙන්ටර් ක්‍රීඩකයෙක් ලෙස ක්‍රීඩා කළ 2002 ධර්මරාජ වයස අවුරුදු 13 න් පහළ රග්බි කණ්ඩායම සමස්ත ලංකා වයස අවුරුදු 13 න් පහළ තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය දක්වා පැමිණීමට සමත් වෙනවා. එම තරගාවලියේදී අඛණ්ඩව උත්සාහක දිනුම් හතක වාර්තා කරන රුවන්ත නාවලගේ තරගාවලිය පුරා උත්සාහක දිනුම් 12 ක් වාර්තා කරන්නේ නව වාර්තාවක් ද බිහි කරමිනුයි.

එම තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරගයකදී ධර්මරාජ කණ්ඩායම අවාසනාවන්ත ලෙස සාන්ත තෝමස් විද්‍යාලය හමුවේ පරාජය වීම නිසා තරගාවලියෙන් ඉවත් වෙනවා.

පසුව සහන් කොඩිතුවක්කුආරච්චිගේ නායකත්වයෙන් ධර්මරාජ වයස් අවුරුදු 13 න් පහළ කණ්ඩායම අගැමති කුසලාන තරගාවලියක් ද ක්‍රීඩා කරන අතර රුවන්ත නාවලගේ එම කණ්ඩායම ද නියෝජනය කිරීම විශේෂත්වයක්.

2004 වසරේදී රුවන්ත නාවලගේ ක්‍රීඩා කළ ධර්මරාජ වයස අවුරුදු 15 න් පහළ කණ්ඩායම සමස්ත ලංකා වයස අවුරුදු 15 න් පහළ ශුරතාවය දිනා ගන්නා ලද අතර ධර්මරාජ වයස අවුරුදු 18 න් පහළ කණ්ඩායම 2005 වසරේදී වයස අවුරුදු 18 න් පහළ දස සාමාජික රග්බි තරගාවලියේ ශුරතාවය දිනා ගද්දි රුවන්ත නාවලගේ එම කණ්ඩායමේ ද කොටස්කරුවෙක් වුණේ ඔහුගේ දක්ෂතාවයෙන් කණ්ඩායමට උපරිමය ලබා දෙමිනුයි.

2004 වසරේදීම ධර්මරාජ පළමු පෙළ රග්බි කණ්ඩායමේ අසුනක් රුවන්ත නාවලගේට හිමි වුණා. ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් සමඟ කරට කර හැපුණු ඔහු 2004 වසරේ සිට 2008 වසර දක්වා වසර පහක් ධර්මරාජ පළමු පෙළ රග්බි කණ්ඩායම නියෝජනය කිරීම විශේෂත්වයක්.

2007 වසරේදී ඔහුගේ නායකත්වය යටතේ B කාණ්ඩයේ අපරාජිත ශුරයින් බවට පත් වන්නට ධර්මරාජ පළමු පෙළ රග්බි කණ්ඩායම සමත් වුණේ නැවතත් A කාණ්ඩයේ සිහිනය යතාර්ථයක් බවට පත් කර ගනිමිනුයි.

2007 වසරේ අන්තර් පාසල් සත් සාමාජික රග්බි තරගාවලියේ ද ඉතා ඉහළ දස්කම් දක්වන්නට ධර්මරාජ පළමු පෙළ කණ්ඩායම සමත් වුණා. එම තරගාවලියේ අවසන් පූර්ව වටය දක්වා පැමිණීමට ධර්මරාජ කණ්ඩායම සමත් වුණා. මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයීය කණ්ඩායම සමඟ අවසන් පූර්ව වටයේදී ධර්මරාජ කණ්ඩායම තරග වැදුණු අතර අවාසනාවන්ත ලෙස තරගයේ ජය කිංග්ස්වුඩ් කණ්ඩායම දිනා ගත්තා. සිංගර් 7s තරගාවලිය ධර්මරාජ කණ්ඩායම අකිල නුවන් හෙට්ටිආරච්චි ගේ නායකත්වයෙන් තරග වැදුණු අතර ධර්මරාජය එම තරගාවලියේදී පළඟ ශුරතාවය දිනා ගන්නට සමත් වුණා.

2007 වසරේ තවත් සුවිශේෂ තරගයක මතකයක් රුවන්ත නාවලගේ අප සමඟ බෙදා ගත්තා. විද්‍යා විද්‍යාලයීය රග්බි කණ්ඩායම සමඟ පැවති තරගයේ අවසන් මොහොතේ තරගය ජය ගන්නට අකිල නුවන් හෙට්ටිආරච්චි මීටර 40 ක පමණ දුර සිට වාර්තා කළ දඬුවම් පහර ඔහු මතක් කළේ සිය සගයා ගැන ඉතා ආඩම්බරයෙන්. එම තරගයේ ධර්මරාජ කණ්ඩායම ජයගත්තේ ලකුණු 10 – 11 ක් ලෙස එක ලකුණකින් වීම විශේෂත්වයක්.

එම කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයින් ලෙස අකිල නුවන් හෙට්ටිආරච්චි, රොෂාන්, ගොඩිගමුව, දිලංග වැනි ක්‍රීඩකයින් ඔහු මතක් කර සිටියේ ඉතා ගෞරවයෙන්.

රග්බි ක්‍රීඩාවට ඔහු කරන ලද සේවය වෙනුවෙන් රුවන්ත නාවලගේට 2004, 2005, 2006, 2007, 2008 වසර වලදී රග්බි වර්ණ හිමි වුණා.

ධර්මරාජයේ රග්බි ඉතිහාසයට ස්වර්ණමය මතකයන් රැසක් එකතු කළ නායකයෙක් ලෙස රුවන්ත නාවලගේ ගේ නාමය ධර්මරාජ රග්බි පිටියේ සදා ජීවමානයි.