2008 RR Captain

Dilanga Gunathilake

Dilanga Gunathilake

2007 වසරේ B කාණ්ඩයේ අපරාජිත වුණු ධර්මරාජ කණ්ඩායම 2008 වසරේ නැවත A කාණ්ඩයට පිවිසෙන්නේ අභියෝග රැසකට මුහුණ දීමට සූදානමිනුයි. 2008 වසරේ ධර්මරාජ රග්බි කණ්ඩායමේ නායකත්වය සියතට ගෙන කටයුතු කරන්නේ ඩිලංග ගුණතිලකයි.

2002 වසරේදී 6 වසරේ ලාබාල ධර්මරාජිකයෙක් ලෙස ඩිලංග ගුණතිලක ක්‍රීඩාවට උපන් හපන්කම් දැක්වූවා. යගුලිය විසි කරන්නට නිවාසාන්තර ක්‍රීඩා උළෙලට ගිය ඩිලංග ගුණතිලක අවසානයේ නැවතුණේ රග්බි පිටියේ වීම විශේෂත්වයක්. ඔහුගේ ක්‍රීඩා කෞශල්‍ය දුටු, පසු කලෙක ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම ද නියෝජනය කළ S. I හෙට්ටිආරච්චි කුඩා ඩිලංග ගුණතිලකව රග්බි පිටියට කැඳවාගෙන යනවා.

රග්බි ක්‍රීඩාවට පමණක් නොව ක්‍රිකට් ක්‍රීඩාවට ද දස්කම් දැක්වූ ඔහු වයස අවුරුදු 13 න් පහළ ධර්මරාජ ක්‍රිකට් කණ්ඩායමේ ද ක්‍රීඩකයෙක් වෙනවා.

එවකට ධර්මරාජයේ රග්බි කණ්ඩායම් සමඟ කටයුතු කළ ෆයිසාල් මහතා ඩිලංග ගුණතිලකව වයස අවුරුදු 13 න් පහළ කණ්ඩායමට කැඳවා ගන්නවා. එතැන් පටන් ඔහු වයස අවුරුදු 13 න් පහළ, වයස අවුරුදු 15 න් පහළ මෙන්ම වයස අවුරුදු 17 න් පහළ ද නියෝජනය කරන්නේ ධර්මරාජ රග්බි ඉනිමගේ ඉහලටම යමිනුයි.

ඩිලංග ගුණතිලක වයස අවුරුදු 15 න් පහළ කණ්ඩායමේ ක්‍රීඩා කරන සමයේදී ඔහුගේ ජයග්‍රහණ ගොන්නට තවත් විශේෂ ජයග්‍රහණයක් එකතු වුණා. සහන් කොඩිතුවක්කුආරච්චිගේ නායකත්වයෙන් හා ඩිලංග ගුණතිලකගේ උපනායකත්වයෙන් වයස අවුරුදු 15 න් පහළ සමස්ත ලංකා ශූරතාවය දිනා ගන්නට ධර්මරාජ වයස අවුරුදු 15 න් පහළ කණ්ඩායම සමත් වුණා. එම තරගාවලියේ අවසන් මහා තරගයේ දී ධර්මරාජ කණ්ඩායම හමුවේ පරාජය වුණේ කොළඹ රාජකීය විද්‍යාලයයි.

වයස අවුරුදු 17 න් පහල ධර්මරාජ රග්බි කණ්ඩායම වයස අවුරුදු 17 න් පහළ දස සාමාජිකත්වය දිනා ගද්දි ඩිලංග ගුණතිලක එම කණ්ඩායමේ ද ප්‍රධාන ක්‍රීඩකයෙක් වුණා. එම කණ්ඩායම සහන රත්නායක විසින් විසින් මෙහෙයවූ අතර ඔවුන් අවසන් මහා තරගයේදී මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය පරාජය කළා.

වයස අවුරුදු 16 න් පහළට වයස් කාණ්ඩය ඩිලංග ගුණතිලකට ඉතා වැදගත් මතක රැසක් එකතු කරනවා. ඒ වයස අවුරුදු 16 න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායමට තේරීපත් වුණු ඔහු ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සංචාරයක් යන්නටද වරම් හිමි කරගත් නිසයි.

වයස අවුරුදු 17 න් පහළ කණ්ඩායමේ ක්‍රීඩා කරද්දී මධුර නානායක්කාරගේ නායකත්වය යටතේ ඩිලංග ගුණතිලකට ධර්මරාජ පළමු පෙළ රග්බි කණ්ඩායමේ අසුනක් හිමි වුණා. ඒ ඔහු රග්බි ක්‍රීඩාවට දැක්වූ දක්ෂතාව මනා කොට අගයමිනුයි.

2005, 2006, 2007 වසර වලදී පළමු පෙළ රග්බි කණ්ඩායම නියෝජනය කරන ඔහු 2008 වසරේදී ධර්මරාජ කණ්ඩායමේ සුක්කානම භාර ගත්තේ කණ්ඩායමේ අත්දැකීම් බහුලම ක්‍රීඩකයෙක් ලෙසයි.

2008 වසරේ A කාණ්ඩයේ තරග කළ ධර්මරාජ කණ්ඩායම ලීග් තරගාවලියේ ඉතා ඉහළ දස්කම් දක්වන්නට සමත් වුණා. සාන්ත තෝමස් විද්‍යාලය හා රාජකීය විද්‍යාලය සමඟ පැවැත්වුණු තරග ඔහුට කිසිදා අමතක නොවන තරග බව ඩිලංග ගුණතිලක පවසා සිටිනවා. සාන්ත තෝමස් කණ්ඩායම සමඟ තරගය ලකුණු 29-27 ක් ලෙස ධර්මරාජ කණ්ඩායම ලකුණු දෙකකින් පරාජය වුණේ අවාසනාවන්ත ලෙසයි. එම තරගයේ අවසන් මොහොතේ හිමිවුණු දඬුවම් පහරක් අවාසනාවන්ත ලෙස මඟහැරී ගිය බව ඩිලංග ගුණතිලක මතක් කර සිටියේ ඉතා කණගාටුවෙන්.

ඩිලංග ගුණතිලක සතු වූ දක්ෂතා ගොන්න නිසාම ඔහුට ශ්‍රී ලංකා කණ්ඩායමේ ද දොරගුළු විවර වුණේ ප්‍රබලයින් රැසක් සමඟ කරට කර ක්‍රීඩා කිරීමේ වරම් හිමිකර දෙමිනුයි.

ඩිලංග ගුණතිලක 2007 වසරේදී ශ්‍රී ලංකා වයස අවුරුදු 20 න් පහළ කණ්ඩායමට සුදුසුකම් ලැබුවා. ගයාන් වීරරත්න, රිසා මුබාරක්, ශ්‍රීනාත් සුරියබණ්ඩාර වැනි විශිෂ්ඨ ක්‍රීඩකයින් සමඟ කරට කර හැපුණු ඔහු ධර්මරාජයේ අභිමානයේ බෘනායි රාජ්‍යයටත් රැගෙන ගියේ එහි පැවැත්වුණු වයස අවුරුදු 20 න් පහළ රග්බි තරගාවලියකදී ඉහළ දස්කම් දක්වමිනිනුයි.

2008 වසරේදී ශ්‍රී ලංකා පාසල් ජාතික කණ්ඩායම සමඟ කොරියානු සංචාරයටත් සහභාගී වීමට ඔහුට වරම් හිමි වුණා. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම ඉතා ඉහළ දස්කම් දක්වන්නට සමත් වූ අතර හොං කොං සමඟ තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 15 – 12 ක් ලෙස අවාසනාවන්ත පරාජය වුණු බව ඔහුගේ මතකය කියනවා. රොෂාන් වීරරත්න දඬුවම් පහරකින් ලකුණු රැස් කරන්නට උත්සහ කළත් පන්දුව ගෝලරාමුවේ වැදී ඉවත ගොස් තිබුණේ තියුණු තරගයක ජය හොං කොං කණ්ඩායමට හිමිකර දෙමිනුයි.

පාසල් වර්ණ රාත්‍රිය සිය දක්ෂතා වලින් වර්ණවත් කළ ක්‍රීඩකයෙක් වූ ඩිලංග ගුණතිලක තුන් වතාවක්ම දාගැබ දිනා ගැනීම විශේෂයක්. ඔහු 2006, 2007 හා 2008 වසරේදී ධර්මරාජිකයෙකුට හිමිවන ඉහළම ගෞරවය වන දාගැබින් පිදුම් ලබනවා. ධර්මරාජයේ අභිමානය ජාත්‍යන්තර තලයට ගෙන ගිය ඩිලංග ගුණතිලක ශ්‍රී ලංකා පාසල් රග්බි කණ්ඩායමට කළ සේවය වෙනුවෙන් 2007 වසරේදී ඔහුට ශ්‍රී ලංකා වර්ණ ද හිමිවෙනවා.

පාසලෙන් නික්මුණත් ඩිලංග ගුණතිලක රග්බි ක්‍රීඩාවට සමු දුන්නේ නැහැ. 2009 වසරේ CR & FC කණ්ඩායම නියෝජනය කරන ඔහු 2011 හා 2012 වසර වලදී CH & FC කණ්ඩායම නියෝජනය කරනවා. පසුව 2013 වසරේදී ඔහු Up Country Lions කණ්ඩායම ද නියෝජනය කරන්නේ ධර්මරාජයේ අභිමානය ක්‍රීඩා සමාජ ක්‍රීඩා පිටියටත් රැගෙන යමිනුයි.

ධර්මරාජයේ අභිමානය ජාත්‍යන්තර රග්බි පිටියටත් රැගෙන ගිය නායකයෙක් ලෙස ඩිලංග ගුණතිලක ධර්මරාජ රග්බි පිටියේ සදා නොමැකෙන සළකුණක්.