2009 RR Captain

Darshana Atipola

Darshana Atipola

2008 වසරේ පළමු පෙළ රග්බි කණ්ඩායම ක්‍රීඩා කළ ප්‍රධාන ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ම 2009 වසරටත් එන්නේ 2009 කණ්ඩායමත් අත්දැකීම් බහුල කණ්ඩායමක් බවට පත් කරමිනුයි. 2009 වසරේ ධර්මරාජ රග්බි කණ්ඩායම මෙහයවිමේ වගකීම හිමි වුණේ දර්ෂණ ඇටිපොල හටයි.

1996 වසරේ ධර්මරාජයට එන දර්ෂණ ඇටිපොල රග්බි ක්‍රීඩාවට පමණක් නොව වෙනත් ක්‍රීඩා රැසකටම ඇති දක්ෂ වුණා. වයස අවුරුදු 13 න් පහළ මෙන්ම වයස අවුරුදු 15 න් පහළ වයස් කාණ්ඩ වල ධර්මරාජ මලල ක්‍රීඩා සංචිතයන් ද නියෝජනය කළ දර්ෂණ ඇටිපොල වයස අවුරුද් 13 න් පහළ ධර්මරාජ ක්‍රිකට් කණ්ඩායමේ ද කොටස්කරුවෙක් වුණා.

කෙසේ වෙතත් සියලුම ක්‍රීඩා අබිභවා රග්බි ක්‍රීඩාවට ඔහුගේ සිත යොමු වුණේ නිතැතින්මයි. වයස අවුරුදු 13 න් පහළ වයස් කාණ්ඩයෙන් රග්බි ආරම්භ කළ ඔහු වයස අවුරුදු 15 න් පහළ ධර්මරාජ රග්බි කණ්ඩායමේ ද සමාජිකයෙක් වුණේ සිය දස්කම් වලින් තමන්ට හිමි ස්ථානය වෙන් කර ගනිමිනුයි.

දර්ෂණ ඇටිපොල වයස අවුරුදු 15 න් පහළ කණ්ඩායමේ පළමු වසර ක්‍රීඩා කරන සමයේ ධර්මරාජ වයස් අවුරුදු 15 න් පහළ කණ්ඩායම මයිලෝ සමස්ත ලංකා පාසල් 15 න් පහළ රග්බි ශුරතාවය දිනා ගන්නට සමත් වුණේ දර්ෂණ ඇටිපොලගේ ක්‍රීඩා දිවියේ අමරණිය මතක සටහනක් තබමිනුයි. එමෙන්ම ඔහු වයස අවුරුදු 15 න් පහළ ධර්මරාජ රග්බි කණ්ඩායමේ නායකත්වය දැරූ වසරේදී ධර්මරාජ රග්බි කණ්ඩායම මයිලෝ කුසලානයේ අනුශුරතාවය දිනා ගැනීම විශේෂත්වයක්.

ක්‍රමයෙන් වයස අවුරුදු 17 න් පහළ අත්දැකීම් ද සිය රග්බි ඔලොගුවට එකතු කරගත් දර්ෂණ ඇටිපොල 2005 වසරේදී පළමු වරට ධර්මරාජ පළමු පෙළ රග්බි කණ්ඩායමට පිවිසෙන්නේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින්ට කරට කර සටනක් ලබා දෙමිනුයි.

අනතුරුව 2005, 2006, 2007, 2008 යන වසර වල ධර්මරාජ පළමු පෙළ රග්බි කණ්ඩායමට නැතුවම බැරි ක්‍රීඩකයෙක් වුණු දර්ෂණ ඇටිපොල 2009 වසරේදී ධර්මරාජ පළමු පෙළ රග්බි කණ්ඩායමේ නායකත්වය හිමි කර ගන්නේ බලාපොරොත්තු රැසක් සමඟිනුයි.

2009 වසරේ A කාණ්ඩයේ තරග වැදුණු ධර්මරාජ රග්බි කණ්ඩායම ඉහළ දස්කම් දක්වන්නට සමත් වුණේ තරග 3 ක ජය තමන් සතු කර ගනිමිනුයි. එමෙන්ම ඒ වසරේ මයිලෝ සත් සාමාජික රග්බි තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට පැමිණීමට ද දර්ෂණ ඇටිපොලගේ නායකත්වයෙන් තරග වැදුණු ධර්මරාජ සත් සාමාජික රග්බි කණ්ඩායම සමත් වුණා.

දර්ෂණ ඇටිපොල සත් සාමාජික රග්බි පිටියේ ඉතා ඉහළ දස්කම් දැක්වූ තරගාවලියක් ලෙස සිංගර් සත් සාමාජික රග්බි තරගාවලිය හැඳින්විය හැකියි. එම තරගාවලියේදී ශ්‍රී ලංකාවේ ප්‍රකට රග්බි විචාරකයෙක් වන චන්ද්‍රිශාන් පෙරේරා දර්ෂණ ඇටිපොලව Try machine – උත්සහක දිනුම් මැෂිම ලෙස හැඳින්වූ බව ඔහුගේ මතකයේ රන් අකුරින් සඳහන්ව තිබෙනවා.

පාසල් සත් සාමාජික රග්බි පිටියේ ඔහු දැක්වූ දක්ෂතා නිසා ශ්‍රී ලංකා ජාතික සත් සාමාජික රග්බි කණ්ඩායමේ අසුනක් ඔහුට නිතරගයෙන්ම හිමි වෙනවා.

පසුව ධර්මරාජයේ අභිමානය ක්‍රීඩා සමාජ තරග බිමට රැගෙන ගිය දර්ෂණ ඇටිපොල 2010, 2011, 2012, 2013 වසර වලදී මහනුවර ක්‍රීඩා සමාජයේ ප්‍රධානතම තරග දිනවන්නෙක් ලෙස ක්‍රීඩා කරනවා. එමන්ම වෙළඳ සේවා තරග පිටියේද ඉහළ දස්කම් දැක්වූ දර්ෂණ ඇටිපොල 2009 වසරේ MG International, 2010 – ජෝන් කීල්ස් මෙන්ම 2012 දී MAS කණ්ඩායම් වල ද ක්‍රීඩා කරනවා.

ධර්මරාජයේ රග්බි අභිමානය දිවයින පුරා පැතිරවූ ඔහු පුහුණුකරුවෙක් ලෙස ද ධර්මරාජ රග්බි පිටියට සිය සේවය ලබා දෙනවා. සුදුසුකම් ලත් රග්බි පුහුණුකරුවෙක් බවට ද පත්වුණු දර්ෂණ ඇටිපොල 2018 වසරේ සිට ධර්මරාජ වයස අවුරුදු 14 න් පහළ රග්බි කණ්ඩායමේ පුහුණුකරු ලෙසද කටයුතු කරන්නේ තමාගේ දක්ෂතාවයන් මීළඟ ධර්මරාජ රග්බි පරම්පරාවටත් උරුම කර දෙමිනුයි. එමන්ම ආදී ධර්මරාජිකයින්ගේ රග්බි පාපන්දු සංගමය (ORRFA) හි යාවජීව සාමාජිකයෙක් ලෙස ද ඔහු කරන සේවය අගය කළ යුතුමයි.

ධර්මරාජයේ අබිමානය ලෝකයට රැගෙන ගිය දර්ෂණ ඇටිපොලගේ සුපිරි ක්‍රීඩා විලාසයත් ඔහුගේ ධෛර්යවන්ත නායකත්වයත් ලේක්වීව් කන්දේ සදා අමරණීයයි.