2012 RR Captain

Miyuru Hewawasam

Miyuru Hewawasam

1999 වසරේදී ධර්මරාජයට එන මියුරු හේවාවසම් ප්‍රථමිකයේ සිටම ක්‍රීඩා පිටියට ඇළුම් කළා. ඔහු කෙළිබිමට පිවිසෙන්නේ අතිදක්ෂ මලල ක්‍රීඩකයෙක් ලෙසයි. මලල ක්‍රීඩකයෙක් ලෙස ධර්මරාජයට ඉමහත් ගෞරවයක් ගෙනා ඔහු වයස අවුරුදු 15 වයස් කාණ්ඩය තෙක්ම අඛණ්ඩව වසර ගණනාවක් මහනුවර දිස්ත්‍රික්කයේ හොඳම මලල ක්‍රීඩකයා ලෙස සම්මාන ලැබුවා.

වයස අවුරුදු 19 න් පහළ ධර්මරාජ මලල ක්‍රීඩා කණ්ඩායමටත් ක්‍රීඩා කළ මියුරු හේවාවසම් මලල ක්‍රීඩාවෙන් ලද පන්නරය රග්බි පිටියටත් රැගෙන ආවේ රග්බි පිටිය තුළ කෙටි කලකින්ම දීප්තිමත් දස්කම් දක්වමිනුයි. වයස අවුරුදු 13 න් පහළ ධර්මරාජ රග්බි කණ්ඩායමට සුදුසුකම් ලබන මියුරු හේවාවසම් ක්‍රමයෙන් වයස අවුරුදු 15 න් පහළ කණ්ඩායම් ද නියෝජනය කරන්නේ 2010 වසරේදී වයස අවුරුදු 18 න් පහළ කණ්ඩායමට ද ක්‍රීඩා කරමින්.

වයස අවුරුදු 17 න් පහළ කණ්ඩායමේ ක්‍රීඩා කරන සමයේම ඔහුට ධර්මරාජ පළමු පෙළ රග්බි කණ්ඩායමේ දොරගුළු විවර වුණා. ඒ 2009 වසරේදී දර්ශණ ඇටිපොලගේ නායකත්වය යටතේයි. 2010 වසරේදී සිංගර් දස සාමාජික රග්බි තරගාවලිය ජය ගන්නට ධර්මරාජ කණ්ඩායම සමත් වූ අතර එම කණ්ඩායමේ ද නායකත්වය දරන්නට මියුරු හේවාවසම් සමත් වුණේ දීප්තිමත් අනාගතයක පෙරමඟ ලකුණු පෙන්වමිනුයි.

දස සාමාජික තරගාවලියේ හා ලීග් තරග පිටියේ මියුරු හේවාවසම් දැක්වූ දක්ෂතා නිසාම ඔහුට 2010 වසරේදී රග්බි පාසල් ජාතික සංචිතයේ දොරගුළු විවර වෙනවා. 2010 වසරේ යොවුන් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගී වූ ශ්‍රී ලංකා යොවුන් රග්බි කණ්ඩයමේ අසුනක් මියුරු හේවාවසම්ට වෙන් වන්නේ ධර්මරාජයට ඉමහත් ගෞරවයක් ගෙනෙමිනුයි. ඔහුත් සමඟම ඔහුගේම සමකාලීනයෙක් වන ලෝචන ඒකනායක ද එම කණ්ඩායම නියෝජනය කරන්නේ ධර්මරාජයේ අභිමානය එංගලන්තයට රැගෙන යමිනුයි. එංගලන්තයේදී ශ්‍රී ලංකා යොවුන් රග්බි කණ්ඩායම බඳුන ශුරතාවය දිනා ගන්නට සමත් වූ අතර එහිදී මියුරු හේවාවසම් ඉතා ඉහළ දස්කම් දක්වන්නට සමත් වුණා.

ධර්මරාජයේ ක්‍රීඩා කරන සමයේදීම ක්‍රීඩා සමාජ රග්බි පිටියද තරණය කළ මියුරු හේවාවසම් 2010 වසරේදී කාල්ටන් සුපර් සෙවන්ස් තරගාවලියේ හම්බන්තොට ශාර්ක්ස් කණ්ඩායම නියෝජනය කරන්නේ අත්දැකීම් රැසක්ම සිය රග්බි ගමන් මල්ලට එකතු කර ගනිමිනුයි.

2009, 2010, 2011 වසර වලදී ධර්මරාජ පළමු පෙළ රග්බි කණ්ඩායම නියෝජනය කළ මියුරු හේවාවසම් වසර තුනක පළමු පෙළ අත්දැකීම් සමඟින් 2012 වසරේදී ධර්මරාජ පළමු පෙළ රග්බි කණ්ඩායමේ සුක්කානම සියතට ගන්නවා.

2012 වසරේදී ධර්මරාජ කණ්ඩායම තරග කළේ B කාණ්ඩයෙයි. B කාණ්ඩයේ සෙසු කණ්ඩායම් සුණු විසුණු කරන්නට මියුරු හේවාවසම් ප්‍රමුඛ ධර්මරාජ කණ්ඩායම සමත් වුණා. තරග හතරකම ඔවුන් ලකුණු 100 යේ සීමාව ඉක්මවා යන්නට සමත් වුණේ රග්බි තරග පිටිය තුළ ක්‍රිකට් ලකුණු පුවරු නිර්මාණය කරමිනුයි.

2012 වසරේදී පළමු වතාවට ගල්කිස්ස සාන්ත තෝමස් කණ්ඩායම පරාජය කරන්නට මියුරු හේවාවසම්ගේ නායකත්වයෙන් තරග වැදුණු ධර්මරාජ පළමු පෙළ රග්බි කණ්ඩායම සමත් වෙනවා. තීරණාත්මක වෙස්ලි තරගයෙන් ද පහසුවෙන් ජයගන්නා ධර්මරාජ පළමු පෙළ රග්බි කණ්ඩායම මියුරු හේවාවසම්ගේ නායකත්වය යටතේ 2012 වසරේදී B කාණ්ඩයේ අපරාජිත ශූරයින් බවට පත් වෙනවා.

ලීග් තරග පිටියේ ජයග්‍රහණයන් සත් සාමාජික රග්බි පිටියට ද රැගෙන යන මියුරු හේවාවසම්ගේ ධර්මරාජ කණ්ඩායම 2012 වසරේදී සමස්ත ලංකා සත් සාමාජික රග්බි තරගාවලියත් ජයග්‍රහණය කරන්නට සමත් වෙනවා. එම තරගාවලියේ විද්‍යාර්ථ විද්‍යාලය සමඟ පැවති අර්ධ අවසන් පූර්ව තරගය ඉතා තියුණු තරගයක් වූ බව මියුරු හේවාවසම් මතක් කර සිටිනවා

2012 වසරේදී මියුරු හේවාවසම් ප්‍රමුඛ ධර්මරාජ රග්බි කණ්ඩායම ජනාධිපති කුසලාන පිළිමලුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේදී ද ඉතා ඉහළ දස්කම් දක්වන්නට සමත් වුණා. කෙසේ වෙතත් අවසන් පූර්ව වටයේදී ඔවුන්ට අවාසනාවන්ත ලෙස ඉසිපතන විද්‍යාලය හමුවේ පරාජය වන්නට සිදු වුණා.

ලෝචන ඒකනායක, ළහිරු ප්‍රනාන්දු, මලින්ද, රෝචන හෙට්ටිආරච්චි, බුවනෙක උඩන්ගමුව, තිළිණ විජේසිංහ ඒ වසරේදී ප්‍රබල ක්‍රීඩකයින් ලෙස කණ්ඩායමට සිය දායකත්වය ලබා දුන් බව මියුරු හේවාවසම් මතක් කර සිටිනවා. එම වසරේ ශ්‍රී ලංකා පාසල් කණ්ඩායම තෝරන්නට කැඳවූ මුලික සංචිතයට ධර්මරාජ පළමු පෙළ රග්බි කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයින් 12 ක්ම තේරී පත්වීම විශේෂත්වයක්.

ධර්මරාජයේ ක්‍රීඩාව වෙනුවෙන් මියුරු හේවාවසම් කරන ලද සේවය උදෙසා ධර්මරාජිකයෙකුට හිමිවන ඉහළම ගෞරවය වන දාගැබ තෙවතාවක් හිමි වෙනවා. රග්බි ක්‍රීඩාව වෙනුවෙන් ඔහුට දෙවතාවක් දාගැබ හිමිවන අතර මලල ක්‍රීඩා වෙනුවෙන් ඔහු දැක්වූ දක්ෂතාව උදෙසා ද ඔහුට දාගැබ හිමි වෙනවා.

පාසලට කළ සේවය මෙන්ම ශ්‍රී ලංකා රග්බි පිටියට ඔහු කළ සේවයද ඇගයීමට ලක් වෙනවා. 2011 හා 2012 වසරේදී ඔහුට ශ්‍රී ලංකා රග්බි පාසල් වර්ණ හිමි වෙන්නේ ඒ නිසයි.

පාසල හැර ගියත් මියුරු හේවාවසම් රග්බි පිටිය හැර යන්නේ නැහැ. ඔහු 2013 වසරේද පොලිස් ක්‍රීඩා සමාජය හා එක්වන අතර පොලිස් ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් ඔහු 2013 වසරේද අන්තර් ක්‍රීඩා සමාජ සත් සාමාජික රග්බි තරගාවලියේ බඳුන ශුරතාවය දිනා ගන්නවා.

කාල්ටන් සුපර් සෙවන්ස් තරගාවලියේදී ඉතා ඉහළ ඉල්ලුමක් තිබුණු ක්‍රීඩකයෙක් බවට පත් වන මියුරු හේවාවසම් හම්බන්තොට ශාක්ස් කණ්ඩායමට මෙන්ම සබරගමුව ස්ටැලියන්ස් කණ්ඩායමට ද ක්‍රීඩා කරමින් දස්කම් දක්වනවා.

2015 වසරේදී CH & FC ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කරමින් දස්කම් දක්වන මියුරු හේවාවසම් පසුව ඩුබායි වෙත යන අතර එහිදී ඔහු ධර්මරාජ කණ්ඩායම නියෝජනය කරමින් ලංකා ලයන්ස් තරගාවලිය ද ක්‍රීඩා කරනවා.

මියුරු හේවාවසම් ගේ පියා S. හේවාවසම් ද ධර්මරාජයේම ආදී ශිෂ්‍යයෙක්. S. හේවාවසම් මලල ක්‍රීඩා මෙන්ම හොකී පිටියේද දස්කම් දැක්වූ ක්‍රීඩකයෙක් වන අතර පසුව ඔහු ධර්මරාජයේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා ලෙසට කටයුතු කරන්නට තරම් වාසනාවන්ත වුණා. මියුරු හේවාවසම් ගේ සොයුරු හසිත් හේවාවසම් ද ධර්මරාජයෙන්ම ශිල්ප හැදෑරු අතර ඔහු විද්‍යාලයේ බාලදක්ෂ සමූහය නියෝජනය කළ බාලදක්ෂයෙක්.

ධර්මරාජ රග්බි පිටියට වසර ගණනක් පුරා නායකත්වය දෙමින් ජයග්‍රහණය රැසක් ගෙනා නායකයෙක් ලෙස මියුරු හේවාවසම් ධර්මරාජ කන්දේ සදා ජීවමානයි.