2013 RR Captain

Rochana Hettiarachchi

1970 වෙන් ඇරඹුණු ධර්මරාජ රග්බි වංශ කතාවේ සාර්ථකම වසර 2013 දී උදාවෙනවා. අවුරුදු ගණනාවක දහසක් දෙනෙකුගේ වෙහෙස මහන්සියෙන් දහදිය ලේ කඳුළු මතින් ගොඩ නැගුණු ධර්මරාජ රග්බි කණ්ඩායම 2013 වසරේ අපරාජිතව අන්තර් පාසල් ලීග් රග්බි ශූරතාවය දිනා ගන්නවා. තවත් දහසකුත් එකක් කැපවීම් මතින් තවත් එක් සැබෑ ධර්මරාජිකයෙක් කොළඹ රාජකීය විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී ලීග් රග්බි කුසලානය සියතට ගන්නේ ලොව වටා සිටි සිය දහස් ගණනක් ධර්මරාජිකයින්ගේ නෙතට කඳුළක් එකතු කරමිනුයි. එදා එම කුසලානය දෝතට ගන්නට වාසනාවන්ත වුණේ 2013 වසරේදී ධර්මරාජ පළමු පෙළ රග්බි කණ්ඩායම මෙහෙයවූ රෝචන හෙට්ටිආරච්චි.

2000 වසරේ දී කුඩා ධර්මරාජිකයෙක් ලෙස ධර්මරාජ කන්ද නගින රෝචන හෙට්ටිආරච්චි කුඩා කළ සිටම ක්‍රීඩා පිටියට ආදරය කළා. හතර වසරේ සිට ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වූ ඔහු රග්බි ක්‍රීඩාවට මෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවටත් අතිදක්ෂයෙක් වුණා. එවකට වයස අවුරුදු 14 න් පහළ හා වයස අවුරුදු 15 න් පහළ ක්‍රිකට් කණ්ඩායම් ද නියෝජනය කළ ඔහු එම කණ්ඩායම් වල උපනායකයා ලෙසද කටයුතු කළා. ක්‍රිකට් ක්‍රීඩාවෙන් මහනුවර දිස්ත්‍රික්ක කණ්ඩායම ද නියෝජනය කිරීමට තරම් රෝචන හෙට්ටිආරච්චි වාසනාවන්ත වුණා. කෙසේ වුණත් රග්බි වලට ඔහු දැක්වූ ආදරය නිසාම වයස අවුරුදු 17 න් පහළ කණ්ඩායමෙන් රෝචන හෙට්ටිආරච්චි ක්‍රිකට් ක්‍රීඩාවට සමුදෙනවා.

මලල ක්‍රීඩාවන්ට ද දක්ෂයෙක් වුණු රෝචන හෙට්ටිආරච්චි වයස අවුරුදු 13 න් පහළ වයස් කාණ්ඩයේ ධර්මරාජ මලල ක්‍රීඩා කණ්ඩායමත් නියෝජනය කරන්නට සමත් වුණා. ඔහු රග්බි ක්‍රීඩාවට පිවිසුනේත් මලල ක්‍රීඩා පිටියෙන් ලද පන්නරය නිසාමයි. වරෙක ඔහු පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ මලල පුහුණු වීම් වල නිරත වනු දුටු එවකට ධර්මරාජ විද්‍යාලයේ ආචාර්ය ආනන්ද කස්තුරිආරච්චි මහතා රෝචන හෙට්ටිආරච්චිට රග්බි ක්‍රීඩාවට යොමු කරනවා. මුලින් සිය මව්පියන් අකමැති වුණත් පසුව කෙසේ හෝ සිය මව්පියන්ගේ ආශීර්වාදය ලබා ගන්නා ඔහු රග්බි ක්‍රීඩාව ආරම්භ කරනවා.

කෙමෙන් කෙමෙන් විද්‍යාලයීය වයස් කාණ්ඩ රග්බි කණ්ඩායම් නියෝජනය කළ රෝචන හෙට්ටිආරච්චි වයස අවුරුදු 15 න් පහළ සමස්ත ලංකා රග්බි තරගාවලිය ද නියෝජනය කරනවා. එහිදී ධර්මරාජ වයස අවුරුදු 15 න් පහළ කණ්ඩායම අවසන් පූර්ව වටය දක්වා පැමිණි නමුත් එහිදී අප කණ්ඩායම ඉසිපතන විද්‍යාලය හමුවේ පරාජය වූ බව රෝචන හෙට්ටිආරච්චිගේ මතකය කියනවා.

පසුව ඔහු වයස අවුරුදු 15 න් පහළ කණ්ඩායමට ක්‍රීඩා කරන සමයේ ධර්මරාජ වයස අවුරුදු 15 න් පහළ කණ්ඩායම මධ්‍යම පළාත් රග්බි ශුරයින් බවට පත් වෙනවා. 2009 වසරේ ඔහු වයස අවුරුදු 15 න් පහළ කණ්ඩායමට ක්‍රීඩා කරන කාලයේදීම ඔහුට ධර්මරාජ පළමු පෙළ රග්බි කණ්ඩායමේ පුහුණුවීම් සඳහා දොරගුළු විවර වෙනවා. එතැන් පටන් පළමු පෙළ සංචිතයේ ස්ථිර ක්‍රීඩකයෙක් බවට පත් වුණු ඔහු 2010 වසරේදී පළමු වරට ධර්මරාජ පළමු පෙළ රග්බි කණ්ඩායම නියෝජනය කරනවා.

2010 වසරේදී මයිලෝ දස සාමාජික රග්බි තරගාවලියට යන ධර්මරාජ දස සාමාජික රග්බි කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයෙක් ලෙසද රෝචන හෙට්ටිආරච්චි කටයුතු කරනවා. විද්‍යාලයීය ඉතිහාසය වෙනස් කරමින් එම තරගාවලියේ ශූරයින් බවට පත් වෙන්නට ධර්මරාජ දස සාමාජික රග්බි කණ්ඩායම සමත් වෙන්නේ ධර්මරාජ ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරමිනුයි.

2011 වසර නම් ධර්මරාජ පළමු පෙළ රග්බි කණ්ඩායමට එතරම් සුභ නොවූ බව රෝචන හෙට්ටිආරච්චි මතක් කර සිටිනවා. ඒ ඒ වසරේදී ධර්මරාජ පළමු පෙළ රග්බි කණ්ඩායමට B කාණ්ඩය දක්වා පසු බැසීමට සිදු වුණු නිසයි. A කාණ්ඩයේ රැඳී සිටීමට තරග හතරක් ජය ගැනීමට අවශ්‍ය වුණත් ධර්මරාජ කණ්ඩායමට හැකි වූයේ තරග තුනක් ජය ගන්නට පමණයි. කෙසේ වෙතත් 2011 වසරේ රෝචන හෙට්ටිආරච්චිගේ රග්බි දිවියට අමරණිය මතක සටහන් රැසක්ම එකතු වෙනවා. ඒ වසරේදී කිංග්ස්වුඩ් විද්‍යාලය මෙන්ම ත්‍රිත්ව විද්‍යාලය ද පරාජය කර තිබුණු ප්‍රබල ගල්කිස්ස විද්‍යා විද්‍යාලය ධර්මරාජය හමුවේ පරාජය වෙනවා. ඒ වසරේ වෙස්ලි තරගය ද ඔහුට ඉතා වැදගත් තරගයක් වුණා. තරගයේ ලකුණු සම වී තිබුණු මොහොතක මීටර 60 ක තරම් දුරක සිට ප්‍රතිවාදී ක්‍රීඩකයින් තිදෙනෙක් සම්පුර්ණයෙන් මුලා කරමින් ධාවනයේ යෙදුනු රෝචන හෙට්ටිආරච්චි තරගයේ ජයග්‍රාහී උත්සාහක දිනුම වාර්තා කරනවා.

ඉන් පසුව එළඹුණු 2012 වසරේදී ධර්මරාජයේ රග්බි ක්‍රීඩාවට වෙනතකට යොමු වූ බව රෝචන හෙට්ටිආරච්චිගේ මතකයේ සඳහන් වෙනවා. එවකට ආචාර්ය හේරත් මහතා ගේ ආගමනයෙන් පසුව රග්බි ක්‍රීඩකයින් සියලු දෙනා බර ඉසිලීමට යොමු වුණා. කෙසේ වුණත් 2012 වසරේදී ඔවුන්ට B කාණ්ඩයේ ක්‍රීඩා කිරීමට සිදු වන බව දැනගත් පසුව කණ්ඩායම ඉතා කණගාටු වූ බව ද රෝචන හෙට්ටිආරච්චි මතක් කර සිටිනවා. කෙසේ වෙතත් ඒ දුක ජයග්‍රහණයක් බවට පෙරළාගන්නට ධර්මරාජ පළමු පෙළ රග්බි කණ්ඩායම සමත් වෙනවා.

ධර්මරාජ ඉතිහාසයේ පළමු වතාවට 2012 වසරේදී අන්තර් පාසල් සත් සාමාජික රග්බි තරගාවලිය ජයග්‍රහණය කරන්නට ධර්මරාජ සත් සාමාජික රග්බි කණ්ඩායම සමත් වෙනවා. ඒ B කාණ්ඩයේ කණ්ඩායමක් සත් සාමාජික රග්බි තරගාවලිය ජයගත් පළමු අවස්ථාවයි.

එම තරගාවලිය රෝචන හෙට්ටිආරච්චිට අමතක නොවන මතක රැසක් එකතු කරන්නේ ඔහුගේ ධෛර්යවන්ත බව මනාව පිළිඹිබු කරමිනුයි. එම තරගාවලියේ අවසන් පූර්ව තරගයේදී ප්‍රතිවාදී ක්‍රීඩකයෙක් නවත්වන්නට උත්සහ කරද්දී ඔහුගේ හිසේ ප්‍රතිවාදී ක්‍රීඩකයෙකුගේ පාදයක් වදිනවා. ඔහුගේ එක් ඇසක් ක්ෂණිකව කළු වෙන්නේ එම පහරේ ප්‍රබලත්වය නිසාමයි.

“ඒ සාන්ත පීතර තරගය, ඒ තරගය ඔහු ඇහැක් වහගෙන සෙල්ලම් කළා. තරගයෙන් පසුව බලනකොට දරුණු ආබාධයක්, ඔහුගේ මුහුණේ අස්ථියක් (Cheekbone) බිඳී තිබුණා. වෛද්‍යවරයාගේ විරෝධය මත වුණත් ඔහු එම තරගය ක්‍රීඩා කළා. තරගයට ප්‍රථම ප්‍රධාන ආරාධිත අමුත්තන් එන මොහොතේ රෝචන හෙට්ටිආරච්චි ගේ නාසයෙන් ලේ බින්දු වැටුණත් එම බාධකයට ඔහු තරගය ක්‍රීඩා කරන එක නවත්වන්නට හැකි වුණේ නැහැ. අවසන් තරගය ක්‍රීඩා කරන අතරතුරදී නැවතත් හිසට වැදුණු පහරකින් ඔහුට පිටිය මැදදීම අසනීප වුණත්, නැවතත් නාසයට පුළුන් කෑල්ලක් තදකර ගන්නා රෝචන හෙට්ටිආරච්චි තරගය අවසන් වන තුරු ක්‍රීඩා කරන්නේ ධර්මරාජයට ඉතිහාස ගත ජයක් හිමි කරදෙමිනුයි.

සත් සාමාජික රග්බි තරගාවලිය ජයගැනීමෙන් නොනැවතුණු ධර්මරාජ පළමු පෙළ රග්බි කණ්ඩායම 2012 වසරේදීම B කාණ්ඩයේ ශුරතාවය ද අපරාජිතව ජයග්‍රහණය කරන අතර රෝචන හෙට්ටිආරච්චි එම ජයග්‍රහණයේ ප්‍රධානතම පුරුකක්.

2009 වසර පළමු වතාවට පළමු පෙළ සංචිතය නියෝජනය කරන රෝචන හෙට්ටිආරච්චිට 2010 වසරේදී පළමු වරට ධර්මරාජ පළමු පෙළ රග්බි කණ්ඩායම නියෝජනය කරනවා. එතැන් පටන් 2010, 2011 හා 2012 වසර වලදී උපයාගත් අත්දැකීම් සම්භාරය ද සමඟින් රෝචන හෙට්ටිආරච්චි 2013 වසරේදී ධර්මරාජ පළමු පෙළ රග්බි කණ්ඩායමේ නායකත්වය සියතට ගන්නවා.

2012 වසරේදී ඉතා ප්‍රබල කණ්ඩායමක් සිටියත් ජ්‍යෙෂ්ටයින් කිහිපදෙනෙක්ම කණ්ඩායමෙන් නික්මුණු 2013 වසර ආරම්භයේදී රග්බි පුහුණුවීම් සඳහා සහභාගී වුණේ ක්‍රීඩකයින් 16 දෙනෙක් වැනි සුළු පිරිසක් බව රෝචන හෙට්ටිආරච්චිගේ මතකයේ සඳහන්. කෙසේ වෙතත් පියවරෙන් පියවර කණ්ඩායම ගොඩනගා ගනිමින් 2013 වසරේ සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටය දක්වා පැමිණෙන්නට රෝචන හෙට්ටිආරච්චිගේ නායකත්වයෙන් තරග වැදුණු ධර්මරාජ සත් සාමාජික රග්බි කණ්ඩායම සමත් වෙනවා. එම තරගයෙන් සාන්ත පීතර කණ්ඩායම හමුවේ ධර්මරාජ සත් සාමාජික රග්බි කණ්ඩායම අවාසනාවන්ත ලෙස පරාජය වෙනවා.

සත් සාමාජික රග්බි තරගාවලියෙන් ලද අත්දැකීම් ද සමඟින් ධර්මරාජ පළමු පෙළ රග්බි කණ්ඩායම අන්තර් පාසල් ලීග් තරගාවලියට ක්‍රීඩා කරනවා. ත්‍රිත්ව විද්‍යාලය සමඟ පැවති තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරගත් ධර්මරාජ කණ්ඩායම ඉසිපතනයට එරෙහිව තරගය ක්‍රීඩා කරන්නේ අපරාජිතව තරගාවලියේ නිමා කිරීමේ බලාපොරොත්තුවෙන් බව රෝචන හෙට්ටිආරච්චි අප සමඟ පවසා සිටියා.

තිළිණ විජේසිං, බුවනෙක උඩන්ගමුව, ලෝචන ප්‍රනාන්දු, පසන් බණ්ඩාර, විහඟ නාවලගේ ජානක විජේසිංහ ප්‍රමුඛ කණ්ඩායමේ සෑම ක්‍රීඩකයෙකුම පාහේ කණ්ඩායමට ඉතා ඉහළ සහයක් ලබා දුන් බව ඔහු මතක් කළා.

“ගෙවල් වලින් එද්දිම ඔලුව හදන එන්නේ අද දිනනවා කියලා, මැච් එකට විනාඩි 10 කට කළින් යක්ෂයෝ ආවේශ වෙලා වගේ තමා පිට්ටනියට එන්නේ. කවුරුහරි එක්කෙනෙක් light blue and maroon ජර්සිය පහු කරොත් එයාව පන්නගෙන ගිහින් අල්ලගන්නවාමයි, ටීම් එකේ හැම එක්කෙනාම එහාපැත්තෙ එක්කෙනාට සපෝර්ට් එක දෙනවා. Changing Room එකෙන් එලියට එද්දී විද්‍යාලයීය ගීතය කියලා එන්නේ ඒ දේවල් අමතක වෙන්නේ නැහැ.” රෝචන හෙට්ටිආරච්චි ඒ කාලපරිච්චේදය පිළිබඳව සිය මතකයන් අවදි කරමින් පවසා සිටියා.

එම තරගවාරයේදී ඔහුට අමතක නොවන තරග ගැන අදහස් දක්වමින් ඔහු සාන්ත ජෝසප් කණ්ඩායමට එරෙහි තරගය මතක් කර සිටියා. ධර්මරාජය පසු පසින් සිටි මොහොතක බුවනෙක උඩන්ගමුව මීටර 50 ක් පමණ ප්‍රතිවාදීන් පෙරළා දිවගොස් තැබූ උත්සාහක දිනුම ඔහුට කිසිදා අමතක නොවන බව රෝචන හෙට්ටිආරච්චි පවසා සිටියා.

රෝචන හෙට්ටිආරච්චි ප්‍රමුඛ ධර්මරාජ පළමු පෙළ රග්බි කණ්ඩායම 2013 වසරේදී අපරාජිතව අන්තර් පාසල් ලීග් කිරුළ දිනා ගන්නේ ධර්මරාජිකයින්ගේ සිහින සැබෑ කරමිනුයි.

ධර්මරාජයේ රග්බි ක්‍රීඩාවට කළා වූ සේවය වෙනුවෙන් රෝචන හෙට්ටිආරච්චිට 2012 හා 2013 වසර වලදී ධර්මරාජිකයෙකුට වර්ණ රාත්‍රියේදී හිමිවන ඉහළම ප්‍රධානය වන දාගැබ හිමි වෙනවා. 2010 වසරේදී රග්බි ක්‍රීඩාව වෙනුවෙන් වර්ණ දිනා ගන්නා ඔහුට ක්‍රිකට් ක්‍රීඩාව උදෙසාද ඇගයීම් ලැබෙනවා.

ඔහු පාසැල් රග්බි පිටියේදී දැක්වූ දක්ෂතා නිසාම කොළඹ රාජකීය විද්‍යාලයට එරෙහිව පැවැත්වුණු අවසන් තරගයෙන් පසුව Up Country Lions කණ්ඩායමෙන් ඔහුට ආරාධනා ලැබෙනවා. 2013 වසරේදී Up Country Lions කණ්ඩායමට ක්‍රීඩා කරන ඔහු Dialog සමාගම නියෝජනය කරමින් වෙළඳ සේවා සත් සාමාජික රග්බි තරගාවලියත් ක්‍රීඩා කරනවා. පසුව 2014 දී CR & FC කණ්ඩායමට ක්‍රීඩා කරන ඔහු 2014/15 තරග වාරයේ ThePapare ජනප්‍රියම රග්බි ක්‍රීඩකයා ලෙස සම්මාන දිනා ගන්නවා.

Dialog කණ්ඩායම නියෝජනය කරමින් 2015 වසරේ වෙළඳ සේවා රග්බි තරගාවලියේ පළඟ ශුරතාව දිනා ගන්නා රෝචන හෙට්ටිආරච්චි එම තරගාවලියේ හොඳම රග්බි ක්‍රීඩකයා ලෙස සම්මාන දිනා ගන්නවා. ඒ වසරේදීම CR & FC කණ්ඩායම නියෝජනය කරමින් අන්තර් ක්‍රීඩා සමාජ සත් සාමාජික රග්බි තරගාවලිය නියෝජනය කරන ඔහු එහි “නැගී එන රග්බි ක්‍රීඩකයා” සම්මානය දිනා ගන්නවා. එම දක්ෂතා නිසාම ඔහුට ශ්‍රී ලංකා ජාතික සංචිතයේද දොරගුළු විවර වන්නේ ධර්මරාජයට ද අභිමානයක් ගෙනෙමිනුයි. එමෙන්ම ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සත් සාමාජික රග්බි සංචාරයන් යන්නට ද ඔහුට අවකාශ හිමි වෙනවා.

පසුව 2016 වසරේදී ඔලිම්පික් තේරීම් තරග සඳහා ක්‍රීඩා කළ ශ්‍රී ලංකා සංචිතයේ ද ඔහුට අසුනක් වෙන් වෙනවා. CR & FC කණ්ඩායම නියෝජනය කරමින් අඛණ්ඩව තරග දෙකක් තරගයේ වීරයා සම්මාන දිනා ගැනීමෙන් පසුව අවාසනාවන්ත පාදයේ ආබාධයක් නිසා රෝචන හෙට්ටිආරච්චිට කලක් රග්බි පිටියෙන් ඈත් වී සිටින්නට සිදු වෙනවා.

ධර්මරජිකයින් දහස් ගණනකයේ සිහින සැබෑ කරන්නට අන්තර් පාසල් ලීග් රග්බි කිරුළ ධර්මරාජ කන්දට ගෙනා නායකයා ලෙස රෝචන හෙට්ටිආරච්චි ධර්මරාජ රග්බි ඉතිහාසයේ සදා ජිවමායි.