2015 RR Captain

2013 වසරේදී ලැබුණු නව ජවයත් සමඟින් ධර්මරාජ පළමු පෙළ රග්බි කණ්ඩායම 2015 වසරට මුහුණ දෙනවා. 2013 පාසල් රග්බි පිටියේ විජයග්‍රහණය කළ කණ්ඩායමේ සිටි ජ්‍යෙෂ්ඨයින් රැසක්ම 2014 වසරෙන් පසුව කණ්ඩායමට සමුදෙනවා. නවක ක්‍රීඩකයින් රැසක්ම සමඟින් 2015 වසරේ ධර්මරාජ පළමු පෙළ රග්බි කණ්ඩායම මෙහෙයවීමේ අභියෝගය හිමිවන්නේ විරාජ් වීරසේකර හටයි.
පාපන්දු ක්‍රීඩාවට අති දක්ෂයෙක් වූ විරාජ් වීරසේකර ඔහු රග්බි ක්‍රීඩාව ආරම්හ කරන්නේ විද්‍යාලයීය රග්බි දිනයෙන්. පාපන්දු ක්‍රීඩාවට පමණක් නොව ඔහු මලල ක්‍රීඩා සඳහා ද දස්කම් දක්වනවා. උස පැනීම, සහය දිවීම, දුර පැනීම යන ඉසව් වල ද දස්කම් දක්වන ඔහු වොලිබෝල් මෙන්ම හොකී ක්‍රීඩාවන් සඳහා සිය දායකත්වය පටන් ගන්නවා.
වරෙක රග්බි දිනයට සහභාගී වූ විරාජ් වීරසේකර රග්බි ක්‍රීඩාවට ආදරය කරන්නට පටන් ගන්නවා. ඒ නිසාම ඔහු 2012 වසරේදී රග්බි පුහුණුවීම් සඳහා එකතු වෙනවා.
විරාජ් වීරසේකර 2013 වසරේ ලීග් ශූරතාවය දිනූ ධර්මරාජ පළමු පෙළ රග්බි කණ්ඩායමටත් සිය දායකත්වය ලබා දෙනවා. ඒ වසරේදී Wing ක්‍රීඩකයෙක් ලෙස දස්කම් දක්වන ඔහු 2014 වසරේ සිට ක්‍රීඩා කරන්නේ Full Back ස්ථානයේයි.
පාපන්දු ක්‍රීඩාවෙන් උපයාගත් දක්ෂතා රග්බි පිටියට ගෙන එන විරාජ් වීරසේකර වයස අවුරදු 18 න් පහළ ශ්‍රී ලංකා සංචිතයටත් සුදුසුකම් ලබන්නේ ධර්මරාජයට ගෞරවයක් ගෙනෙමිනුයි. ඔහු ශ්‍රී ලංකාව නියෝජනය කරමින් යොවුන් ඔලිම්පික් තරගාවලිය සඳහා චීනයේ සංචාරයක ද නිරත වෙනවා. විරාජ් වීරසේකර නියෝජනය කළ ශ්‍රී ලංකා කණ්ඩායම එම තරගාවලියේ සිව්වන ස්ථානය දිනා ගන්නට ද සමත් වෙනවා.
2015 වසරේදී ඔහු ධර්මරාජ ඉතිහාසයේ සුවිශේෂ සංධිස්ථානයක් සනිටුහන් කරනවා. ඒ රග්බි, පාපන්දු හා වොලිබෝල් යන කණ්ඩායම් තුනේම නායකත්වය දරමින්.
2015 වසරේදී වේල්ස් කුමර විද්‍යාලය සමඟ පැවති තරගය තමාට අමතක නොවන තරගයක් බව විරාජ් වීරසේකර පවසා සිටිනවා. එම තරගයේ පළමු අර්ධය නිමා වෙද්දී ලකුණු 7 – 21 ක් ලෙස වේල්ස් කුමර විද්‍යාලය ඉදිරියෙන් සිටියා. කෙසේ වෙතත් විරාජ් වීරසේකර වාර්තා කළ උත්සාහක දිනුම් ත්‍රිත්වයේ සවියෙන් ධර්මරාජය තරගය ලකුණු 48 – 21 ක් ලෙස ජය ගන්නවා.
එම වසරේ ආනන්ද විද්‍යාලය සමඟ තරගයත් විරාජ් වීරසේකරගේ නායකත්වයෙන් තරග වැදුණු ධර්මරාජ කණ්ඩායමට ඉතා වැදගත් තරගයක් වුණා. ඒ එම තරගය පරාජය වුණහොත් ධර්මරාජ කණ්ඩායමට B කාණ්ඩය දක්වා දක්වා පසු බැසීමට සිදුවන නිසයි. එම තරගයේ දෙවන අර්ධයේ පිටියට පැමිණි විරාජ් වීරසේකර උත්සාහක දිනුම් තුනක් වාර්තා කර තිබීම තවත් විශේෂත්වයක්.
2015 වසරේ ශ්‍රී ලංකා වයස අවුරුදු 20 න් පහළ සත් සාමාජික රග්බි සංචිතයට මෙන්ම වයස අවුරුදු 20 න් පහළ රග්බි කණ්ඩායමට ද ඔහුට කැඳවුම් ලැබුණේ රග්බි ක්‍රීඩාව කෙරෙහි ඔහුගේ වූ දක්ෂතාවය නිසාමයි.
විද්‍යාලයීය වර්ණ රාත්‍රිය වර්ණවත් කළ ක්‍රීඩකයෙක් ලෙස විරාජ් වීරසේකර හැඳින්විය හැකියි. 2013 වසරේදී රග්බි ක්‍රීඩාව වෙනුවෙන් දාගැබ දිනාගන්නා ඔහු 2014 හා 2015 වසර වලදී රග්බි ක්‍රීඩාව වෙනුවෙන් වර්ණ දිනා ගන්නවා. එමෙන්ම 2014 වසරේදී ඔහු හොකී ක්‍රීඩාව වෙනුවෙන් දාගැබ දිනා ගන්නා අතර එම වසරේදීම ඔහු මලල ක්‍රීඩාව වෙනුවෙන් වර්ණ දිනා ගන්නවා. 2012 වසරේදී ඔහු පාපන්දු ක්‍රීඩාව වෙනුවෙන් ද වර්ණ දිනා ගන්නවා.
ඔහුගේ සහෝදරයින් වන කාංචන වීරසේකර හා බුද්ධික වීරසේකර ද ධර්මරාජයෙන්ම සිප් සතර හැදෑරූ ශිෂ්‍යයින් වීම විශේෂත්වයක්.
විද්‍යාලයීය වර්ණ රාත්‍රිය වර්ණවත් කළ නායකයෙක් ලෙස විරාජ් වීරසේකර ධර්මරාජ රග්බි ඉතිහාසයේ සදා අමරණීයයි.