2016 RR Captain

2016 වසරට ධර්මරාජ රග්බි කණ්ඩායම පිවිසෙන්නේ අභියෝග රැසක් සමඟයි. 2013 වසරේදී අපරාජිතව අන්තර් පාසල් ලීග් ශුරතාවය දිනා ඒ දිනාගත් ගෞරවය පාසල් රග්බි පිටියේ පවත්වා ගැනීම එතැන් පටන් ක්‍රීඩා කළ සෑම කණ්ඩායමකටම නිතැතින්ම පැවරුණු ගෞරවයක්. ඒ අහියෝගයත් සමඟින් 2016 වසරේ ධර්මරාජ පළමු පෙළ රග්බි කණ්ඩායමේ සුක්කානම භාර ගන්නේ චලිඳු විජේසිංහ.
චලිඳු විජේසිංහ ධර්මරාජයේ ක්‍රීඩා පිටියට අත්පොත් තබන්නේ ජිම්නාස්ටික් ක්‍රීඩාවෙන්. 2 වසරේ කුඩා ධර්මරාජිකයෙක් ලෙස ජිම්නාස්ටික් ක්‍රීඩාව අරඹන ඔහු කුඩා කළ සිටම පන්ති කාමරයට දැඩි ඇල්මක් දක්වනවා. ජිම්නාස්ටික් ක්‍රීඩාවට අතරව ඔහු මල්ල ක්‍රීඩා ඉසව් වලටද සහභාගි වුණේ ධර්මරාජ මලල ක්‍රීඩා කණ්ඩායමට ද අනගි සහයක් ලබා දෙමිනුයි.
චලිඳු විජේසිංහ රග්බි ක්‍රීඩාවට යොමු වන්නේ 4 වන ශ්‍රේණියේ සිටයි. එතැන් සිට රග්බි පිටියේ ඉහළ දස්කම් දක්වන ඔහු ධර්මරාජ වයස අවුරුදු 12 න් පහළ කණ්ඩායමේ ද අසුනක් තමාට වෙන් කරගන්නේ ඉතා ලාබාල වියේදීමයි.
පසුව වයස අවුරුදු 14 න් පහළ කණ්ඩායමට ද ක්‍රීඩා කරන ඔහු වයස අවුරුදු 16 න් පහළ ධර්මරාජ රග්බි කණ්ඩායමට පිවිසෙන්නේ එතෙක් ඔහු සහභාගී වූ මලල ක්‍රීඩා හා ජිම්නාස්ටික් ක්‍රීඩාවන්ට දොර වසා දමමිනුයි.
2013 වසරේ වයස අවුරුදු 18 න් පහළ ධර්මරාජ කණ්ඩායමට ක්‍රීඩා කරන ඔහු එවකට වයස අවුරුදු 18 න් පහළ තරගාවලියේ බඳුන ශුරතාවය දිනූ කණ්ඩායමට ද සිය දායකත්වය ලබා දෙනවා.
2013 වසරේදී ඒ ලබාගත් පන්නරයත් සමඟින් චලිඳු විජේසිංහ 2014 වසරේදී පළමු වරට ධර්මරාජ පළමු පෙළ රග්බි කණ්ඩායම නියෝජනය කරන්නට තරම් වාසනාවන්ත වෙනවා. රග්බි පිටිය පුරා ධර්මරාජය වෙනුවෙන් ඉහළ දස්කම් දැක්වූ ඔහු 2015 වසරේදී ද පළමු පෙළ කණ්ඩායම නියෝජනය කර 2016 වසරේදී ධර්මරාජ පළමු පෙළ රග්බි කණ්ඩායමේ සුක්කානම සියතට ගන්නවා.
ඒ වසරේ සත් සාමාජික රග්බි තරගාවලියේ බඳුන ශුරතාවය දිනා ගන්නට ධර්මරාජ කණ්ඩායම සමත් වන්නේ චලිඳු විජේසිංහ ගේ නායකත්වයෙනුයි. එමෙන්ම 2016 වසරේ මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය සමඟ තරග තමන්ට අමතක නොවන තරගයක් බව චලිඳු විජේසිංහ පවසා සිටියා.
ලකුණු 17 – 17 ක් ලෙස තරගය සම සමව තිබුණු අවස්ථාවේ අවසන් මොහොතේදී ආනන්දරාජා කිංග්ස්වුඩ් ක්‍රීඩකයින් ගුවනේ පා කරමින් අති දක්ෂ උත්සාහක දිනුමක් වාර්තා කරන අතර ආනන්දරාජා ගේ අතට සාර්ථකව පන්දුව ලබා දීමේ වගකීම දැරුවේ තමන් බව චලිඳු විජේසිංහ සතුටින් මතක් කර සිටියා.
එමෙන්ම එම වසරේ ලීග් රග්බි තරගාවලියේ පළඟ අවසන් මහා තරගයට කොළඹ සාන්ත ජෝසප් කණ්ඩායමට එරෙහිව තරග වදින්නටත් ධර්මරාජ කණ්ඩායම සමත් වීම විශේෂත්වයක්.
2016 වසරේදී චාමික ප්‍රියමන්ත, නිමේෂ්, බවන්ත උඩන්ගමුව, උප නායක මනීෂ වැනි ක්‍රීඩකයින් කණ්ඩායමට ඉතා ඉහළ දායකත්වයක් ලබා දුන් බව ද චලිඳු විජේසිංහ මතක් කර සිටියා.
වසර තුනක් ධර්මරාජ පළමු පෙළ රග්බි කණ්ඩායම නියෝජනය කරන චලිඳු විජේසිංහ 2015 හා 2016 වසර වලදී රග්බි ක්‍රීඩාව වෙනුවෙන් වර්ණ දිනා ගන්නේ ඔහු ධර්මරාජ රග්බි පිටියට කළ සේවය නිසයි.
පාසල් රග්බි පිටියට සමු දුන්නත් ඔහු රග්බි ක්‍රීඩාවට සමු දුන්නේ නැහැ. ධර්මරාජයේ රග්බි ක්‍රීඩාව වැවිලිකරුවන්ගේ රග්බි පිටියටත් රැගෙන ගිය ඔහු හපුගස්තැන්න නියෝජනය කරමින් අන්තර් වැවිලි ක්‍රීඩා සමාජ සත් සාමාජික රග්බි තරගාවලියත් ක්‍රීඩා කරනවා.
අමතක නොවන ජයග්‍රහණ රැසකට සිය දායකත්වය ලබා දුන් නායකයෙක් ලෙස චලිඳු විජේසිංහ ධර්මරාජ රග්බි පිටියේ සදා ජීවමානයි.