2018 RR Captain

Bawantha Udangamuwa

Bawantha Udangamuwa

ධර්මරාජ පළමු පෙළ රග්බි කණ්ඩායමට ඉතා අභියෝගාත්මක වුණු 2018 වසරේදී, ධර්මරාජ රග්බි කණ්ඩායමේ වගකීම සියතට ගෙන කටයුතු කරන්නේ තවත් සුවිශේෂී නායකයෙක්. සිය සොයුරාගේ අඩිපාරේ යමින් රග්බි පිටියට විජයග්‍රහණය කළ ඔහු බවන්ත උඩන්ගමුව.

2013 අන්තර් පාසල් ලීග් ශුරතාවය දිනූ ධර්මරාජ පළමු පෙළ රග්බි කණ්ඩායමේ සිටි ප්‍රධානතම ක්‍රීඩකයෙක් වුණු බුවනෙක උඩන්ගමුවගේ සොයුරු බවන්ත උඩන්ගමුව රග්බි පිටියට පිවිසින්නේ පවුලේ උරුමයෙන්. රග්බි පිටියට මෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවට ද අති දක්ෂයෙක් වුණු ඔහු වයස අවුරුදු 13 න් පහළ වයස් කාණ්ඩයේ සිටම ධර්මරාජ ක්‍රිකට් කණ්ඩායම් වලත් නායකයා ලෙස කටයුතු කලා.

2011 වසරේදී ඔහු ධර්මරාජ වයස අවුරුදු 13 න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දරන සමයේ ඔහු වයස අවුරුදු 13 න් පහළ තරගාවලියේ අවසන් පූර්ව තරගයට සිය කණ්ඩායම රැගෙන ගිය අතර වයස අවුරුදු 17 න් පහළ වයස් කාණ්ඩයේ ඔහු ක්‍රීඩා කරන සමයේ ඔහුගේ නායකත්වයෙන් වයස අවුරුදු 17 න් පහළ කණ්ඩායාම 17 න් පහළ තරගාවලියේ දෙවන වටයේ අර්ධ අවසන් පූර්ව තරග වලට පිවිසුණා.

ක්‍රිකට් පිටිය දිග් විජය කළ බවන්ත උඩන්ගමුව වයස අවුරුදු 13 න් පහළ මහනුවර දිස්ත්‍රික් මෙන්ම මධ්‍යම පළාත් කණ්ඩායම ද නියෝජනය කළ අතර පසුව ඔහු මධ්‍යම පළාත් වයස අවුරුදු 15 න් පහළ කණ්ඩායමේ නායකයා ලෙසද කටයුතු කළා. වයස අවුරුදු 19 න් පහළ හා 17 න් පහළ ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයන් වලට ද ඔහු ක්‍රීඩා කිරීම කැපී පෙනුණා.

ධර්මරාජ පළමු පෙළ ක්‍රිකට් කණ්ඩායමේ ද නායකයා ලෙස ද කටයුතු කරන්නට වරම් දිනාගත් ඔහු ඒ වසරේම ධර්මරාජ පළමු පෙළ රග්බි කණ්ඩායමේ ද නායකත්වය හොබවන්නේ ලෙහෙසියෙන් ක්‍රීඩකයෙකුට සපුරා ගත නොහැකි අභියෝගයක් ජය ගනිමිනුයි.

බවන්ත උඩන්ගමුව පළමු වරට ධර්මරාජ පළමු පෙළ කණ්ඩායමේ අසුනක් වෙන් කර ගන්නේ 2013 වසරේදීයි. එම වසරේදී සොයුරාගේ දක්ෂතා දුටු ඔහු 2014, 2015, 2016, 2017 යන වසර වලද පළමු පෙළ කණ්ඩායම නියෝජනය කරන අතර ඉතා අභියෝගාත්මක වසරක් වුණු 2018 වසරේදී ඔහු නායකත්වයේ සුක්කානම සියතට ගන්නවා.

2017 වසරේ කිංග්ස්වුඩ් විද්‍යාලයට එරෙහිව වාර්තා කළ ජය හා ඒ වසරේදීම සාන්ත පීතර කණ්ඩායමට එරෙහිව වාර්තා කළ ජයග්‍රහණ තමාගේ මතකයේ රැඳී තිබෙන බව බවන්ත උඩන්ගමුව මතක් කර සිටියා.

එමෙන්ම 2018 වසරේ විද්‍යාර්ථ විද්‍යාලය සමඟ තරගය තමාට අමතක නොවන තරගයක් බව බවන්ත උඩන්ගමුව පවසා සිටිනවා. එම තරගයේ පළමු අර්ධයේදී විද්‍යාර්ථ කණ්ඩායම ලකුණු 23-00 ක් ලෙස ඉදිරියෙන් සිටියත් දෙවන අර්ධයේ තරගයට පිවිසුණු බවන්ත උඩන්ගමුව ප්‍රමුඛ ධර්මරාජ කණ්ඩායම තරග නිමා කරන්නේ ලකුණු 23-29 ක් ලෙස ජයග්‍රහණය තමන්ට හිමිකර ගනිමිනුයි.

මනුක හියාරාපිටිය, අධිෂ දිසානායක, රකිඳු කරුණාතිලක තරින්ද කපුවත්ත වැනි ක්‍රීඩකයින් 2018 වසරේදී තමාට ඉතා හොඳ සහයක් ලබා දුන් බව ද බවන්ත උඩන්ගමුව මතක් කරන්නට අමතක කළේ නැහැ.

2017 වසරේදී ශ්‍රී ලංකා පාසල් කණ්ඩායමට ද ක්‍රීඩා කරන්නට ද බවන්ත උඩන්ගමුව සමත් වුණා. එමෙන්ම බහමාස් සංචාරයට එක්වුණු ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩා කළ බවන්ත උඩන්ගමුව ශ්‍රී ලංකා පාසල් වර්ණ ද දිනා ගත්තා.

කෙසේ වුණත් බවන්ත උඩන්ගමුව හට රග්බි ක්‍රීඩාව සඳහා ධර්මරාජ වර්ණ හිමි නොවීම අවාසනාවක් වුණා.

පාසලෙන් පසුවත් බවන්ත උඩන්ගමුව රග්බි ක්‍රීඩාව අතහැරියේ නැහැ. ඔහු සිය සොයුරාගේ අඩිපාරේ යමින් මහනුවර ක්‍රීඩා සමාජය හා එක්වුණා. මහනුවර ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කළ මංගල තරගයේදීම ඔහු උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් වීම තවත් විශේෂත්වයක්.

බවන්ත උඩන්ගමුව ගේ පියා ධර්මරාජයේම සිප් සතර හැදෑරුවෙක්. බවන්ත උඩන්ගමුවගේ කනිටු සොයුරා වන විසල් උඩන්ගමුව ද ධර්මරාජ පළමු පෙළ රග්බි කණ්ඩායම නියෝජනය කරමින් ජයග්‍රහණ රැසකටම සිය දායකත්වය දරන්නට සමත් වුණා. 2019 ධර්මරාජ පළමු පෙළ රග්බි කණ්ඩායම නැවත A කාණ්ඩයට ගෙන ඒමට සටන් කළ ධර්මරාජ පළමු පෙළ රග්බි කණ්ඩායමේ ප්‍රධානතම ක්‍රීඩකයෙක් වුණේ ද විසල් උඩන්ගමුවයි. උඩන්ගමුව සොයුරන්, 2013 ලීග් ශූර බුවනෙක උඩන්ගමුව, බවන්ත උඩන්ගමුව හා විසල් උඩන්ගමුව ගේ දස්කම් ධර්මරාජ කන්දට කිසිදාක අමතක නොවනු ඇත.

ක්‍රිකට් හා රග්බි ක්‍රීඩා දෙකම දිග්විජය කළ ක්‍රීඩකයින් අපට හමුවන්නේ කලාතුරකින්. ධර්මරාජ කන්දේ රග්බි හා ක්‍රිකට් ක්‍රීඩා දෙකම විජයග්‍රහණය කළ නායකයෙක් ලෙස බවන්ත උඩන්ගමුව ගේ නම සදා ජීවමානයි.

බවන්ත උඩන්ගමුව ගේ මතකයන් ඇසුරින්..

කාලයෙන් මැකී ගිය තොරතුරු මේ සටහනට එකතු කරන්නට ඔබටත් ආරාධනා.