2019 RR Captain

2018 වසරේදී B කාණ්ඩය දක්වා පසු බෑ ධර්මරාජ පළමු පෙළ රග්බි කණ්ඩායම නැවතත් A කාණ්ඩයට ගෙන ඒමේ අභියෝගය 2019 වසරේදී භාර ගන්නේ තවත් අත්දැකීම් බහුල නායකයෙක්. වසර පහක පළමු පෙළ අත්දැකීම් සමඟින් කණ්ඩායමේ සුක්කානම භාරගන්නා ඔහු මනුක හියාරාපිටිය.
මනුක හියාරාපිටිය ද රග්බි පිටියට පිවිසෙන්නේ සිය සොයුරාගේ අවෑමෙන්. 2013 වසරේ ලීග් ශුරතාවය දිනූ කණ්ඩායමේ සාමාජිකයෙක් වුණු ඔහුගේ සොයුරු ඩිලන්ත හියාරාපිටිය ගේ ක්‍රීඩා විලාසය දුටු කුඩා මනුක හියාරාපිටියත් 6 ශ්‍රේණියේ සිටම රග්බි ක්‍රීඩාවට යොමු වෙනවා.
ඔහු 2011 වසරේ වයස අවුරුදු 12 න් පහළ ධර්මරාජ පළමු පෙළ කණ්ඩායමේ ක්‍රීඩා කරන සමයේදී එම කණ්ඩායම වයස අවුරුදු 12 න් පහළ තරගාවලියේ බඳුන ශුරතාව දිනා ගත් බව ඔහුගේ මතකයේ තිබෙනවා.
එමෙන්ම 2013 වසරේදී වයස අවුරුදු 14 න් පහළ බඳුන ශුරතාවය ද දිනා ගන්නා ඔහු 2012 වසරේ පැවති තරගාවලියකදී ධර්මරාජ කණ්ඩායම නියෝජනය කරමින් මධ්‍යම පළාත් අනු ශුරතාවය ද දිනා ගන්නවා.
එමෙන්ම ඔහු ක්‍රීඩා කළ ධර්මරාජ වයස අවුරුදු 16 න් පහළ ධර්මරාජ රග්බි කණ්ඩායම ද 2016 වසරේ වයස අවුරුදු 16 න් පහළ තරගාවලියේ බඳුන ශුරතාවය දිනා ගත්තා.
අත්දැකීම් රැසක් සමඟින් මනුක හියාරාපිටිය 2015 වසරේදී පළමු වරට ධර්මරාජ පළමු පෙළ රග්බි කණ්ඩායමේ අසුනක් වෙන් කරගන්නවා. ඒ එවකට ධර්මරාජ ප්‍රධාන රග්බි පුහුණුකරු වුණු රධික හෙට්ටිආරච්චිගේ මඟ පෙන්වීම යටතේයි.
2016, 2017, 2018 තරග වාරයන් හි අත්දැකීම් ද සමඟින් මනුක හියාරාපිටිය 2019 වසරේදී ධර්මරාජ පළමු පෙළ රග්බි කණ්ඩායමේ සුක්කනාම භාරගන්නේ කණ්ඩායම නැවත A කාණ්ඩයට රැගෙන ඒමේ අභියෝගය ද සමඟයි.
ඒ වසරේ විද්‍යාර්ථ විද්‍යාලයට එරෙහිව පැවති තරගය තමාට අමතක නොවන තරගයක් බව මනුක හියාරාපිටිය පවසා සිටිනවා. තරගයේ අවසන් මිනිත්තුවේදී උත්සාහක දිනුමක් වාර්තා කරමින් ධර්මරාජය එම තරගය ජය ගත්තා. එම අවසාන උත්සාහක දිනුම සඳහා Lineout අවස්තාවක සිට පන්දුව නිවැරදි එල්ලයකට පිටියට යොමු කිරීමේ වගකීම ඉටු කළේ ද මනුක හියාරාපිටියයි.
එම තරග වාරයේ සාන්ත අන්තෝනි හා සහිරා තරග පරාජය වුණත් D. S සේනානායක විද්‍යාලයට එරෙහිව අවසන් මොහොතේ පෙරළිකාර ජයක් වාර්තා කරන මනුක හියාරාපිටියගේ ධර්මරාජ කණ්ඩායම නැවතත් සිය A කාණ්ඩයේ සිහිනයට ලං වෙනවා.
නැවත වතාවක් A කාණ්ඩයට පැමිණීම සඳහා ඔවුන්ට හිමිවන අවසන් කඩුල්ල මහනුවර වාරියපොළ ශ්‍රී සුමංගල විද්‍යාලයයි. එම තරගයේදී ද තරින්ද කපුවත්ත අවසන් මොහොතේදී වාර්තා කළ උත්සාහක දිනුම නිසා ධර්මරාජය A කාණ්ඩයේ සිහිනය මනුක හියාරාපිටියගේ නායකත්වයෙන් නැවතත් ලඟා කර ගන්නවා.
තරින්ද කපුවත්ත, විසල් උඩන්ගමුව, මලින්ත රාජපක්ෂ, චනිඳු අබේරත්න, සුපුන් විජේසිරි, හර්ෂ රොඩ්රිගෝ,මදුශංක නවරත්න, දුලන්ජ කුමාර, නවීන් දිසානායක, දිනේෂ් චතුරංග, ලසන්ත බස්නායක, සජීව ගමගේ වැනි ක්‍රීඩකයින් එම තරගවාරයේදී ධර්මරාජ කණ්ඩායමට කළ සේවය අගයන්නටත් මනුක හියාරාපිටිය අමතක කළේ නැහැ.
ධර්මරාජයේ රග්බි ක්‍රීඩාවට කළාවූ සේවය වෙනුවෙන් මනුක හියාරාපිටියට 2018 වසරේදී රග්බි වර්ණ ද හිමි වෙනවා.
මනුක හියාරාපිටිය ගේ සොයුරා වන ඩිලන්ත හියාරාපිටිය ද ධර්මරාජ පළමු පෙළ රග්බි කණ්ඩායම නියෝජනය කළ අතර 2013 අන්තර් පාසල් ලීග් කිරුළ දිනූ ධර්මරාජ කණ්ඩායමේ ප්‍රධානම ක්‍රීඩකයෙක් ලෙස ද ඔහු ක්‍රීඩා කළා. ඔහුගේ පියා වන කිත්සිරි හියාරාපිටිය ද ධර්මරාජයේම සිප්සතර හැදෑරුවෙක් වන අතර ධර්මරාජ රග්බි ප්‍රේක්ෂකාගාරයේ ඔහු ඉතා හුරු පුරුදු මුහුණක්. මනුක හියාරාපිටිය ගේ සියා බී. ඩී ගුණතිලක ද ධර්මරාජයේම පහස ලැබූවෙකු වන්නේ මනුක හියාරාපිටිය තුන්වන පරම්පරාවේ ධර්මරාජිකයෙකු බවට පත් කරමිනුයි.
A කාණ්ඩයේ සිහිනය යළි සැබෑවක් කරන්නට මූලික වූ නායකයෙක් ලෙස මනුක හියාරාපිටිය ධර්මරාජ කන්දේ සදා ජීවමානයි.
මනුක හියාරාපිටියගේ මතකයන් ඇසුරින්..
ඔබේ මතකයන් ද මේ සටහනට එකතු කරන්නට සුහද ආරාධනා….