1970 RR Captain

1970 Gamini Jayasundara

Gamini Jayasundara

සහෝදරයින් හත් දෙනෙකුගෙන් යුතු පවුලක අභිමානවත් සාමාජිකයෙක් වුණු ගාමිණි ජයසුන්දර ධර්මරාජයට එන්නේ 1956 වසරේදීයි. එවකට රග්බි ක්‍රීඩාව නොතිබුණු හෙයින් හොකී, ක්‍රිකට්, පාපන්දු හා මලල ක්‍රීඩාවට ඔහුගේ අවධානය යොමු වන්නේ පවුලෙන් ලැබූ පන්නරය නිසාමයි. ඔහුගේ වැඩිමහල් සහෝදරයින් සියලු දෙනාම පාහේ රග්බි, බොක්සින් හා මලල ක්‍රීඩාවන්ට ඒ වන විටත් පෙම්බැඳ තිබුණේ පුංචි ගාමිණිටත් නොදැනීම ඔහුගේ සිතේ ක්‍රීඩාවට ආදරයක් ගෞරවයක් ඇති කරමිනුයි.

පුහුණුකරුවෙකු නොමැතිව එවකට අපේම “ලොකු අයියලා” ධර්මරාජයේ කුඩා සහෝදරයින්ට රග්බි ක්‍රීඩා කරන්නට කියා දුන්නා. ධර්මරාජයේ රග්බි ක්‍රීඩාවේ තවත් මුල් පුරුකක් වුණු ගාමිණි ගේ ලොකු අයියා ආනන්ද ජයසුන්දරත් එතැන මූලිකත්වය ගෙන කටයුතු කළ අයෙක්. වයස අවුරුදු 12න්, පහළ 14 න් පහළ හා 16 න් පහළ ලෙස එතරම් සංවිධානාත්මක නොවන ලෙස රග්බි ක්‍රීඩාව ක්‍රීඩා කළ ගාමිණි ජයසුන්දරටත් තවත් බොහෝ දෙනෙක්ටත් සංවිධානාත්මකව ධර්මරාජය රග්බි පිටියට ගෙනෙන්නට දැඩි ආශාවක් හටගත්තා.
අවශ්‍ය මුදල් නොතිබුණත් ගාමිණි ජයසුන්දර, ඩී. පී. පී අල්විස් වැනි අයගේ දහදිය මහන්සියෙන් ධර්මරාජය පළමු වතාවට පළමු පෙළ රග්බි කණ්ඩායමක් නිළ වශයෙන් පිහිටුවාගත්තා. (කාලයේ වැලි තලාවෙන් ඇතැම් නම් ගම මැකී ගිහින්, මේ ගෞරවය හිමි විය යුතු නම් ගම ඔබත් දන්නවානම් ඔබටත් ඒ මතකය ලියා තබන්නට සුහද ආරාධනා).
ගාමිණි ජයසුන්දර ගේ නායකත්වයෙන් බලගැන්වුණු මංගල ධර්මරාජ පළමු පෙළ රග්බි කණ්ඩායමට තවත් දක්ෂ ක්‍රීඩකයින් රැසක්ම ඇතුලත් වුණා. ඩී. පී. පී අල්විස්, කහවත්ත, රෝහණ ඒකනායක, රොහාන් ඒකනායක, උපාලි ඒකනායක, මුනිදාස වැනි ක්‍රීඩකයින්ගේ දැඩි කැපවීම කණ්ඩායමට ලැබුණේ “මෙරූන් හා ලා නිල් ජර්සිය” පළමු වරට පැළඳි වාසනාවන්තයින් වීමට ද වරම් දිනා ගනිමින්.

ඒ වසරෙදි අපිට පාසල් කණ්ඩායම් සමඟ තරග නම් ලැබී තිබුණේ නැහැ. කෙසේ වෙතත් ආනන්ද ජයසුන්දර ගේ මූලිකත්වයෙන් අපට පේරාදෙණිය විශ්වවිද්‍යාලයිය රග්බි කණ්ඩායම සමඟ රග්බි තරගයක් ලැබෙන්නේ ධර්මරාජ ඉතිහාසයේ මංගල රග්බි තරගය සනිටුහන් කරමින්.
පසුව එවකට තිබුණු කැන්ඩි ලේක් ක්ලබ් ක්‍රීඩා සමාජය සමඟද ධර්මරාජ පළමු පෙළ රග්බි කණ්ඩායම තරගයක් ක්‍රීඩා කළා. ධර්මරාජයේ පළමු රග්බි ජය වාර්තා වෙන්නේ කැන්ඩි ලයන්ස් කණ්ඩායමට එරෙහිවයි. ධර්මරාජයේ රග්බි රසිකයින් ප්‍රීති ප්‍රමෝදයට පත් කරමින්, එදා අතේ සතයක්වත් නොමැතිව නිසි පුහුණුකරුවෙකුවත් නොමැතිව ඇරඹු ධර්මරාජ පළමු පෙළ රග්බි කණ්ඩායම ජයග්‍රහණ වැස්සේ තෙමුණා.

ශිෂ්‍ය නායකයෙකු ලෙස හා ශිෂ්‍ය භටයෙකු ලෙස ලැබුණු පන්නරය නිසා ගාමිණි ජයසුන්දර ශ්‍රී ලංකා යුධ හමුදාවට එකතු වුණා. දේහධාරී පෞර්ෂය, රග්බි ක්‍රීඩාවෙන් ලැබුණු පන්නරය, ධර්මරාජයෙන් උගත් නායකත්ව දක්ෂතා නිසා ඔහු යුධ හමුදාවේ තනතුරු වල දිනෙන් දින ඉහළට ගියා. ඔහු සිය යුධ හමුදා දිවිය අවසන් කළේ ජාතික ශිෂ්‍යභට බලකායේ අධ්‍යක්ෂක ධූරයෙන් ද පිදුම් ලබමිනුයි.

එවකට යුද්ධය ඇවිලී ගිය සමයේ යාපනයේ මෙහෙයුම් දියත් කළ හමුදා සෙබළුන් දිරි ගන්වන්නට ඔවුන් මෙහෙයවන්නට කැපවූ ප්‍රධානතම පුද්ගලයෙක් වුණේ ධර්මරාජ පුතෙකු වූ ගාමිණි ජයසුන්දරයි. වරෙක යාල් දේවි දුම්රියේ යුධ හමුදාව යාපනයට යන්නට සුදානම් වී සිටියා. ඔහුට ලැබුණු ඔත්තුවකට අනුව යුධ හමුදාව ගමන් කරන දුම්රියට ත්‍රස්තවාදීන් බෝම්බ තබන්නට සුදානම්ව සිටි අතර හමුදාව යාපනයට නොගියහොත් ත්‍රස්තවාදීන් යාපනය සම්පුර්ණයෙන්ම අල්ලා ගැනීමේ අවධානමක් ද තිබුණා. ත්‍රස්තවාදීන්ගේ අභියෝගයට සත පහකට බිය නොවූ ඔහු දුම්රියේ සිය ගමන ඇරඹු අතර බෝම්බ ඇතැයි කිවූ ස්ථානයට පෙර දුම්රිය නවතා තමාම පා ගමනින් ගොස් බෝම්බ නිෂ්ක්‍රිය කර දුම්රිය ධාවනය කළ කතාව ඔහුගේ දක්ෂතාවයන් හා අභියෝග භාර ගැනීමේ හැකියාව පෙන්වූ එක් කුප්‍රකට කතාවක්.

ධර්මරාජයේ රග්බි ගමනට මෙන්ම ජාතියේ ආරක්ෂාවටද මුර දේවතාවෙක් වුණු ගාමිණි ජයසුන්දර මහතාණෙනි ඔබ ධර්මරාජ රග්බි ඉතිහාසයේ සදා අමරණීයයි.

Interviewed and edited by Ashvin Kalinga & Deshan Wattegama