1974 RR Captain

Upul Thalagoda

Upul Thalagoda

ධර්මරාජයේ රග්බි ඉතිහාසය සොයා යන මේ ගමනේ තවත් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් වන වසරක් 1974. 1974 වසරේ ධර්මරාජ රග්බි කණ්ඩායම මෙහෙයවන්නේ ධර්මරාජයේ රග්බි ඉතිහාසයට ඉමහත් සේවයක් කළ උපුල් තලාගොඩයි.

වයස අවුරුදු 12 න් පහළ 14 න් පහල පාපන්දු පිටියේ මෙන්ම වයස අවුරුදු 13 න් පහළ 15 න් පහළ ක්‍රිකට් පිටියේද ඉතා ඉහළ දස්කම් දැක්වූ ඔහු 1972 වසරේදී ධර්මරාජ පළමු පෙළ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන්නටත් වාසනාව හිමි කර ගන්නවා. 1971 දී සිය මංගල රග්බි තරගය ක්‍රීඩා කරන උපුල් තලාගොඩ ධර්මරාජයේ දෙවන පෙළ රග්බි කණ්ඩායමෙන් ධර්මරාජ රග්බි පිටියට අත්පොත් තියනවා. 1972 වසර වන විට කණ්ඩායමේ අත්දැකීම් බහුලම ක්‍රීඩකයෙක් ලෙස ඔහු පළමු පෙළ රග්බි කණ්ඩායමේ තමන්ගේ ස්ථානය වෙන් කරගන්නේ ඒ වසර තුළ ධර්මරාජය ක්‍රීඩා කළ තරග පහටම තමන්ගේ දහදිය මහන්සියෙන් දායකත්වය සපයමින්.

1973 – 1974 වසර වලදී ඔහුට රග්බි පිටිය තුළ ක්‍රීඩකයෙක් ට හිමි වන දුර්ලභ අවස්ථාවක් තමන් සතු කරගන්නට වාසනාව ලැබෙනවා. එවකට මහනුවර පාසල් කණ්ඩායම හා කොළඹ පාසල් කණ්ඩායම අතර තරගයක් සඳහා පැවති පුහුණුවීම් වලට යන යොවුන් තලාගොඩ චෝකි වයිට් නම් විදෙස් පුහුණුකරුගේ ඇස ගැටෙනවා. ඔහුගේ දක්ෂතා දුටු වයිට් පුහුණුකරු මේ යොවුන් Wing ක්‍රීඩකයෙක් ලෙස ශ්‍රී ලංකා පාසල් කණ්ඩායමට නම් කරන්නේ ධර්මරාජ ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කරමින්. බ්‍රිතාන්‍ය පාසල් කණ්ඩායමට එරෙහිව තරග වැදුණු ශ්‍රී ලංකා පාසල් කණ්ඩායමේ ඉතා වැදගත් කාර්යභාරයක් මේ යොවුන් උපුල් තලාගොඩ ඉටු කරනවා.
1972 වසරේ සිට 1975 වසර දක්වා වසර පහක් ධර්මරාජයේ පළමු පෙළ රග්බි කණ්ඩායම නියෝජනය කරමින් ධර්මරාජයට සිය සේවය දුන් උපුල් තලාගොඩ ධර්මරාජයේ රග්බි සංස්කෘතිය ක්‍රමයෙන් දළුලා ගෙන එන සමයක 1974 දී ධර්මරාජ රග්බි පිටියේ සුක්කානම අතට ගන්නවා.

1974 වසරේ පැවති පුහුණු තරගයකදී ධර්මරාජය, එවකට මහනුවර ප්‍රබල කණ්ඩායමක් වුණු ත්‍රිත්ව විද්‍යාලය පරාජයට කරනවා. ඉසිපතන තරගයත් හොඳින්ම ක්‍රීඩා කළ ධර්මරාජ රග්බි කණ්ඩායම ලැබුණු තරග සියල්ලේම උපරිම දස්කම් දක්වන්නට සමත් වුණා. එම තරගවාරයේදී විමුක්ති ගොඩගම, කමල් සෙනෙවිරත්න හා පසුව ගුවන් හමුදා කණ්ඩායමේ ෆ්ලයි හාෆ් ස්ථානයේ ක්‍රීඩා කළ රණසිංහ ඉතා හොඳින් දස්කම් දක්වන්නට සමත් වීම කැපී පෙනුණා.

යොවුන් ධර්මරාජිකයින්ට ඉතා හොඳ ආදර්ශයක් සපයමින් එවකට කණ්ඩායමේ සිටි ක්‍රීඩකයින් බොහොමයක් අධ්‍යාපනයේ හිනිපෙත්තටම ගියේ ධර්මරාජයට අභිමානයක් වෙමිනුයි. මෙගාපොලිස් සංවර්ධන ව්‍යාපෘතියට අනුබද්ධව කටයුතු කල මහාචාර්ය ශ්‍රීකාන්ත හේරත්, නවසීලන්තයේ ඕක්‌ලන්ඩ් නගරයේ නගර සභා සභිකයෙක් වන ජයන්ත රාජසූරිය, ශ්‍රී ලංකා වාරය හා මත්ස්‍ය නිෂ්පාදන අධිකාරියේ හිටපු සභාපති නිහාල් කැප්පෙටිපොල, කැනඩාවේ ටොරන්ටෝ නගරයේ ප්‍රධාන ඉංජිනේරු රොහාන් නාරම්පනාව, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වරයෙකු වූ නිකහැටිය ද මෙම 1974 ධර්මරාජ රග්බි කණ්ඩායම නියෝජනය කළ හිටපු රග්බි ක්‍රීඩකයින් වීම ධර්මරාජයට අභිමානයක්.

ධර්මරාජයේ වර්ණ රාත්‍රියේ උපුල් තලාගොඩ සුපිරි රග්බි තරුවට සුවිශේෂී තැනක් වෙන් වී තිබෙනවා. 1972 වසරේදී මෙන්ම 1973 වසරේදී ද ඔහු රග්බි ක්‍රීඩාව වෙනුවෙන් පාසල් වර්ණ දිනා ගන්නවා. 1974 වසරේදී ඔහු පාසල් ක්‍රීඩකයෙකුට ලැබිය හැකි උපරිම ගෞරවයක් වන දාගැබ දිනා ගන්නේ ධර්මරාජයේ රග්බි ක්‍රීඩාව වෙනුවෙන් ඔහු කළ සේවය නිසයි.

1974 වසරේදී ධර්මරාජයේ පුහුණුකරු ලෙස කටයුතු කළ රනිල් තෙන්නකෝන් මහතාත්, රග්බි කණ්ඩායම භාර ආචාර්ය ලෙස කටයුතු කළ සීවලී අබේගුණවර්ධන මහතාත් මතක් කරන්නට අප සමඟ කළ සාකච්චාවේදී උපුල් තලාගොඩ අමතක කළේ නැහැ.

ධර්මරාජකයින් රැසකටම නායකත්වයේ ගුණාංග කියා දුන් තලාගොඩ මහතා පාසලෙන් නික්ම යෑමෙන් අනතුරුව CH&FC ක්‍රීඩා සමාජය සමඟ අත්වැල් බැඳ ගන්නවා. දේශීය රග්බි පිටියේ ප්‍රකට නාමයක් වන YC Chang සමඟ ක්‍රීඩා කිරීමට තරම් වාසනාවන්ත වන ඔහු සිය වේගය නිසාම දිවයින පුරා ක්‍රීඩා සමාජ රැසකම ගෞරවය දිනා ගන්නවා. 1977 වසරේ සිට 1981 වසර දක්වා මහනුවර ක්‍රීඩා සමාජයට සිය දායකත්වය ලබා දෙන ඔහු 1982/83 තරගවාරයේදී දිඹුල – දික්ඔය කණ්ඩායමට ක්‍රීඩා කරනවා.
එමෙන්ම පාසල් තරග පිටියේ නායකත්ව ගුණාංග පාසලෙන් එපිටටත් රැගෙන ගිය ඔහු එම වසරේදීම ශ්‍රී ලංකා දුම්කොළ සංස්ථා කණ්ඩායම මෙහෙයවමින් එම කණ්ඩායම වෙළඳ සේවා සත් සාමාජික රග්බි තරගාවලියේ ශුරයින් බවට පත් කරනවා. එතැනින් නොනවතුනු ඔහු 1984 වසරේ ඌව රග්බි කණ්ඩායමට ද සිය සේවය ලබා දෙනවා.
සිය ක්‍රීඩා දිවියෙන් හමාර කිරීමෙන් අනතුරුවද ධර්මරාජය වෙනුවෙන් ඔහු කළ සේවය අති විශිෂ්ඨයි. ආදී ධර්මරාජිකයින්ගේ රග්බි පාපන්දු සංගමය ආරම්භයේ සිටීම එයට සම්බන්ධව කටයුතු කරන්නට ඔහු කටයුතු කරනවා. පසුව වසර ගණනක් ආදී ධර්මරාජිකයින්ගේ රග්බි පාපන්දු සංගමයේ සභාපති ලෙස ද සිය සේවය ධර්මරාජයේ රග්බි ක්‍රීඩාවට ලබා දෙන ඔහු අදටත් ධර්මරාජ රග්බි වංශකතාවේ නොමැකෙන සලකුණක්. උපුල් තලාගොඩ ගේ වේගය ඔහුගේ නායකත්වය ධර්මරාජ කන්දේ සදා අමරණීයයි.