1976 RR Captain

Vimukthi Godagama

1976 වසර ධර්මරාජ රග්බි ඉතිහාසයට ඉතා වැදගත් වසරක්. ඒ 1976 වසරේදී පළමු වරට තරග 10 කින් සමන්විත නිළ අන්තර් පාසල් රග්බි තරගාවලියකට සහභාගී වීමට ධර්මරාජය යොවුන් රග්බි කණ්ඩායමට අවස්ථාව ලැබුණු නිසයි.
විමුක්ති ගොඩගම ධර්මරාජ රග්බි කණ්ඩායමේ වගකීම අතට ගන්නේ මේ කාල වකවානුවේදීයි.

ධර්මරාජ විද්‍යාලය තුළ නිල වශයෙන් රග්බි ක්‍රීඩාව ආරම්භ කිරීමට පෙර සිටම රග්බි ක්‍රීඩාවට ඇලුම් කළ විමුක්ති ගොඩගම 1972 වසරේ සිට වසර පහක්ම ධර්මරාජ පළමු පෙළ රග්බි කණ්ඩායම නියෝජනය කිරීම ඔහුගේ දක්ෂතාව මොනවට පිළිඹිබු කරනවා. රග්බි ක්‍රීඩාවට පමණක් නොව පාසලේ සියලුම ක්‍රීඩාවන්ට ඔහුගෙන් සිදු වූ සේවය අතිවිශිෂ්ටයි. 1975 වසරේ ක්‍රීඩා කවුන්සිලයේ භාණ්ඩාගාරික වුණු විමුක්ති පළමු වරට ක්‍රීඩා කවුන්සිලයට ශබ්ද විකාශන යන්ත්‍රයක් මිලදී ගැනීමට ඉතා වෙහෙස මහන්සි වූ අයෙක්.

ධර්මරාජය තුල දක්ෂ රග්බි ක්‍රීඩකයින් සොයා ගන්නට පන්තියෙන් පන්තියට ගොස් කොල්ලන් ක්‍රීඩා පිටියට ඇද ගෙන ආ හැටි විමුක්ති හරි ලස්සනට විස්තර කරනවා. ඒ වෙහෙස මහන්සියේ ප්‍රතිඵලයක් ලෙස ධර්මරාජය 1976 පාසල් රග්බි තරගාවලියට හොඳ කණ්ඩායමක් සමඟින් මුහුණ දෙනවා.

ප්‍රබල ධර්මරාජ කණ්ඩායම එහිදී තරග හතක්ම ජය ගන්නේ තරග දෙකක් පමණක් පරාජය වෙමින්, එක් තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් කර ගනිමිනුයි. ශාන්ත අන්තෝනි තරගය හා ත්‍රිත්ව විද්‍යාලය අතර තරග පමණක් ඔවුන් පරාජය වූ අතර ඉසිපතන තරගය ධර්මරාජිකයෝ ජය පරාජයෙන් තොරව අවසන් කර ගත්තා.
ධර්මරාජ ශාන්ත අන්තෝනි තරගය මේ තරගය අතරින් සුවිශේෂම තරගය වුණා. වයිපර් ගුණරත්න ගේ නායකත්වයෙන් තරග වැදුණු ශාන්ත අන්තෝනි පිළ තරගයේ මුල් භාගයේ ලකුණු 10 ක් වාර්තා කළත් එතැන් පටන් එකදු ලකුණක් හෝ වාර්තා කරන්නට ධර්මරාජ රග්බි ක්‍රීඩකයින් ඔවුන්ට ඉඩක් ලබා දුන්නේ නැහැ. ධර්මරාජයේ රග්බි ක්‍රීඩාවට කළ සේවය වෙනුවෙන් විමුක්ති දෙවරක්ම ධර්මරාජිකයෙකුට ලබා ගත හැකි ඉහලම ප්‍රධානයක් වන දාගැබෙන් පිදුම් ලැබුවා. ඒ 1975 හා 1976 වසර වලදීයි. විමුක්ති ගොඩගම නායකත්වයේ කටයුතු කරද්දී එවකට ධර්මරාජ රග්බි කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළේ ලාල් කුමාරසිංහ මහතා බව ඔහු ඉතා භක්තියෙන් මතක් කර සිටියා.

විමුක්ති ගේ සොයුරු ප්‍රගති ගොඩගම ද 1977 වසරේ හා 1978 වසර වලදී ධර්මරාජ දෙවන පෙල රග්බි කණ්ඩායම නියෝජනය කිරීම තවත් විශේෂත්වයක් වෙනවා.
පාසල් රග්බි පිටියෙන් පසුව මහනුවර ක්‍රීඩා සමාජය හා Kandy Lions කණ්ඩායම වසර තුනක් නියෝජනය කළ ඔහු පසුව කණිෂ්ඨ රග්බි පුහුණුකරුවෙක් ලෙසද සිය සේවය රග්බි පිටියට ලබා දුන්නා. විමුක්ති ගොඩගමගේ සටන්කාමි ක්‍රීඩා විලාසය තවමත් ධර්මරාජ කන්දේ අමරණීයයි.