1977 RR Captain

තමන්ගේ ජීවන ගමන තුළ තමන්ට අවශ්‍ය වූ සියලුම දේම සපුරා ගන්නට ලැබෙන්නේ ඉතාම අතලොස්සකටයි. උතුම් නත්තල් දිනයේ මේ සටහන වෙන් වන්නේ එසේ තමන්ගේ පරම බලාපොරොත්තුවත් සපුරා ගත් ධර්මරාජ රග්බි ක්‍රීඩාවේ යුග පුරුෂයෙක් පිළිබඳවයි. ඒ 1977 ධර්මරාජ රග්බි නායක අරුණ කාලිංග.
1965 වසරේ ධර්මරාජයට ඇතුළත් වන ඔහු පාසලේ ක්‍රීඩා කටයුතු වල නොමැකෙන සළකුණක් බවට පත් වුණා. ක්‍රිකට් ක්‍රීඩාවට, හොකී ක්‍රීඩාවට මෙන්ම පාපන්දු ක්‍රීඩාවටත් එකසේ දක්ෂ වුණු ඔහු වයස අවුරුදු 12න් පහළ, අවුරුදු 14න් පහළ, අවුරුදු 16න් පහළ හා වයස අවුරුදු 17 න් පහළ කණ්ඩායම් නියෝජනය කළ ධර්මරාජය සතු ප්‍රබලම ක්‍රීඩකයෙක් බවට පත්ව තිබුණා.
ධර්මරාජ විද්‍යාලයීය බාලදක්ෂ කණ්ඩායමේ බලදක්ෂයෙක් ලෙසට කටයුතු කළ ඔහු ධර්මරාජ විද්‍යාලයේ පළමු පෙළ ක්‍රිකට් කණ්ඩායමේ ද ප්‍රධානතම සාමාජිකයෙක් බවට 1975 -76 වකවානුවේ පත් වෙනවා. රග්බි ක්‍රීඩාවට ඇති ආදරය නිසාම ධර්මරාජ ක්‍රිකට් කණ්ඩායමට මදකට සමු දෙන ඔහු පූර්ණ කාලීනව රග්බි ක්‍රීඩාවට යොමු වෙනවා. වසර පහක් ධර්මරාජ පළමු පෙළ රග්බි කණ්ඩායම නියෝජනය කළ ඔහු 1977 වසරේදී ධර්මරාජ රග්බි කණ්ඩායමේ නායකයා බවට පත් වෙන්නේ රග්බි ක්‍රීඩාව කෙරෙහි වූ ඔහුගේ දක්ෂතාවයන් නිසාමයි.
1977 වසර ධර්මරාජ රග්බි ඉතිහාසයට සුවිශේෂ වසරක් වුණා. ඒ එතෙක් ධර්මරාජ රග්බි කණ්ඩායමට පරාජය කරන්නට නොහැකිව තිබුණු වයිපර් ගුණරත්න ගේ නායකත්වයෙන් තරග වැදුණු ප්‍රබල ශාන්ත අන්තෝනි කණ්ඩායම පරාජය කරන්නට ලේක්වීව් කන්දේ ධර්මරාජ රග්බි කණ්ඩායම සමත් වූ නිසයි.
ලාල් කුමාරසිංහ මහතාගේ පුහුණුකාරීත්වයෙන් හා මඟ පෙන්වීමෙන් ධර්මරාජ රග්බි කණ්ඩායම 1977 වසර ආරම්භ කරන්නේ අත්දැකීම් බහුල ක්‍රීඩකයින් රැසක් ද සමඟිනුයි. එහිදී වූ සුවිශේෂ සිදුවීමක් ඔහුගේ එවකට ක්‍රීඩා සගයෙක් වුණු මිල්රෝයි මෙන්ඩිස් මහතා අප සමඟ පවසා සිටියා. මිල්රෝයි මෙන්ඩිස් ධර්මරාජයට පැමිණෙන්නේ මහනුවර ශාන්ත අන්තෝනි විද්‍යාලයේ සිටයි. ඔහු දක්ෂ ක්‍රීඩකයෙක් බව හඳුනාගත් අරුණ කාලිංග ස්ව කැමැත්තෙන්ම සිනහ මුසු මුවකින් සිය Flyhalf ස්ථානය නවක ක්‍රීඩකයාට ලබා දෙන්නේ තමාට වඩා ධර්මරාජය වටිනා බව බොහෝ දෙනාට වටිනා පාඩමක් කියා දෙමිනුයි. නායකත්වයෙන් පරිණත වූ අරුණ කාලිංග ගේ දුර දක්නා නුවණ මොනවට පිළිබිඹු කරමින් පසු කලෙක මිල්රෝයි මෙන්ඩිස් ධර්මරාජය බිහි කළ සුපිරිම රග්බි ක්‍රීඩකයෙක් බවට පත් වෙනවා. මේ සිදුවීම මිල්රෝයි මෙන්ඩිස් අප සමඟ බෙදා ගත්තේ ඉතා සංවේදීවයි.
1977 වසරේ ශාන්ත අන්තෝනි කණ්ඩායම සමඟ පැවැත්වුණු තරගය ධර්මරාජ ඉතිහාසයේ ඉතා වැදගත් සන්ධිස්ථානයක්. ඒ අරුණ කාලිංග ගේ නායකත්වයෙන් තරග වැදුණු ධර්මරාජ රග්බි කණ්ඩායම ලකුණු 3-0 ක් ලෙස ප්‍රබල ශාන්ත අන්තෝනි කණ්ඩායම පරාජය කරන නිසයි. එවකට පාසල් රග්බි පිටියේ සිටි දරුණුම රග්බි ක්‍රීඩකයෙකි වන වයිපර් ගුණරත්න ඒ කණ්ඩායමේ ක්‍රීඩා කිරීම නිසා මේ තරගය ඉතා උණුසුම් වුණා. අරුණ කාලිංග ගේ තවත් පාසල් සගයෙක් වන කමල් සුගතපාල මහතා අප සමග තවත් අපූරු කතාවක් පවසා සිටියා.
“වයිපර් දැනගෙන හිටියා මැච් එකේ දිනන්න නම් අරුණ ව එලියට දාන්න ඕනේ කියලා, එයා කියලයි ආවේ අරුණව එලියට දානවා කියලා. මැච් එක ඇන්තනිස් පැරදුනත් අරුණට ටකල් කරලා ඉන්ජරියක් කරලා එයාව එළියට දාන්න වයිපර්ට පුළුවන් වුණා.” උකුල් ඇටයට සිදුවූ දරුණු ආබාධයක් නිසා අරුණ කාලිංගට තරගයේ දෙවන අර්ධයේදී පිටියෙන් ඉවත් වෙන්නට සිදු වෙනවා. ප්‍රතිවාදී කණ්ඩායම් ඔහුට කෙතරම් බිය වූ යේද යන්නට ඔබට තවත් උදාහරණ අවශ්‍යද ?
1977 වසරෙන් පසුව 1978 වසරේදීත් ඔහු ධර්මරාජ පළමු පෙළ රග්බි කණ්ඩායමේ ක්‍රීඩා කළා. ඉන් පසුව තවත් වසර දෙක තුනක්ම ඔහුගේ සහය ධර්මරාජ පළමු පෙළ රග්බි කණ්ඩායමට ලැබුණේ ධර්මරාජයට ඔහුගේ තිබුණු ලැදියාව නිසාමයි.
රග්බි, හොකී සහ පාපන්දු වර්ණ හා ධර්මරාජිකයෙකුට ක්‍රීඩා පිටියේ ලැබෙන ඉහළම ගෞරවය වන දාගැබද දිනා ගනිමින් ධර්මරාජයෙන් නික්මුණු ඔහුගේ මීළඟ නැවතුම්පොළ වුණේ ශ්‍රී ලංකා පාසල් රග්බි කණ්ඩායමේ කොටසක් වුණු Outstaions රග්බි කණ්ඩායමයි. අනතුරුව මහනුවර රග්බි කණ්ඩායම වෙනුවෙන් ද ඔහු වසර කිහිපයක්ම සේවය ලබා දෙනවා.
තමාට දිනා දෙන්නට බැරි වුණු ලීග් ශුරතාවය කෙසේ හෝ “පොඩි මල්ලිලා” ලවා හෝ දිනවා දෙන්නට මේ “අරුණ ලොකු අයියාට” තිබුනේ පුදුමාකාර ආශාවක්. ගෙදර දරුවන්ට තිබුණු බත් පතත් ධර්මරාජ රග්බි කණ්ඩායමේ කොල්ලන්ට දුන් ඔහු සිය සගයින් සමඟ එක්ව ආදී ධර්මරාජිකයින්ගේ රග්බි පාපන්දු සංගමය අරඹන්නේ කෙසේ හෝ ධර්මරාජයට ලීග් කුසලානයක් ගෙනේ ඒමේ අරමුණිනුයි. 1994 වසරේ සිට 1998 වසර දක්වා ORRFA සභාපති ධූරය දරන ඔහු ඒ කාලයේම ධර්මරාජයේ රග්බි ක්‍රීඩාවට ලැදි වයස අවුරුදු 13 න් පහළ වයස අවුරදු 15 න් පහළ පොඩි කොල්ලන් පුහුණු කරවන්නේ ඔවුන්ටත් තමා දන්නා ශිල්පය කියා දෙමිනුයි.
පසුව 99 වසරේ සිට 2002 දක්වා හා 2006 සිට 2008 වසර දක්වාත් ආදී ධර්මරාජිකයින්ගේ රග්බි පාපන්දු සංගමයේ ලේකම් ලෙස කටයුතු කරන ඔහු එතැන් පටන් 2014 වසරේ සිය ජිවන රග්බි පිටියෙන් සමුගන්නා තුරුම ORRFA හි අනුශාසකවරයෙකු ලෙස සිය සේවය පාසලට ලබා දෙනවා. මලික් සමරවික්‍රම, හේමන්ත යටවර සමඟින් සිංගර් ශ්‍රී ලංකා රග්බි සත් සාමාජික රග්බි තරගාවලියේ ප්‍රධානතම සංවිධායකවරයෙකු ලෙස ද ඔහු කටයුතු කර තිබෙන්නේ ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාවට ද සිය සේවය ලබා දෙමිනුයි.
ධර්මරාජයේ රග්බි ක්‍රීඩාවේ ආරම්භයේ සිටම ධර්මරාජයේ රග්බි ක්‍රීඩාවට ආදරය කරමින් සිය ලේ දහදිය ඇස්, ඉස්, මස් සියල්ල ධර්මරාජයට පූජා කළ ඔහුගේ හා ඔහුගේ සගයින්ගේ ඉමහත් මහන්සියෙන් දැමූ අඩිතාලම නිසාම අද ධර්මරාජය සතුව ලීග් රග්බි ශුරතාවක් තිබෙනවා. දෙනෙත් පියාගන්නට පෙර සිය පරම ආශාව වූ ලීග් කුසලානයක් ධර්මරාජයට ගෙන ඒම දැකගැනීමට තරම් ඔහු වාසනාවන්ත වුණා. දයාබර නායකයාණෙනි ඔබ ධර්මරාජයට කළ සේවය අමරණීයයි. ඔබේ නාමය ලේක්වීව් කන්දේ සදා ජීවමානයි.