1982 RR Captain

1982 වසර ධර්මරාජයට ඉතා සුවිශේෂී වසරක්. ඒ ධර්මරාජ රග්බි ඉතිහාසයේ තවත් පතාක යෝධයෙක් ධර්මරාජ රග්බි කණ්ඩායම මෙහෙයවූ නිසයි. ඒ නම කියූ පමණින් බොහෝ දෙනෙකු හඳුනන C. S ඒකනායකයි.
1974 වසරේදී 6 ශ්‍රේණියට ඇතුළුවන ඔහු පාපන්දු හා හොකී ක්‍රීඩාවට අති දක්ෂයෙක් වුණා. එයට ප්‍රධානතම හේතුව වුණේ ඔහු විද්‍යාලයීය නේවාසිකාගාරයේ හිඳීමත් නේවාසිකාගාරයේ එම ක්‍රීඩා ඉතා ජනප්‍රිය නිසත් වීම බව ඔහු අප සමඟ පවසා සිටියා. වයස අවුරදු 14 න් පහළ පාපන්දු කණ්ඩායමේ දැල් රකින්නා ද වුණු ඔහු මලල ක්‍රීඩා වලින් ඉතා දස්කම් දැක්වූයේ උස පැනීමේ ශුරයෙක් බවට පත් වෙමිනුයි. යොවුන් C. S ඒකනායක එවකට රජයේ පාසල් මලල ක්‍රීඩා තරගාවලි මෙන්ම, කලාප මලල ක්‍රීඩා තරගාවලි සඳහා ද ධර්මරාජය නියෝජනය කරන්නේ ජයග්‍රහණ රාශියක් වාර්තා කරමිනුයි.
පාපන්දු පිටියේ උපන් දක්ෂයෙක් වුණු ඔහු වයස අවුරදු 14 න් පහළ, 16 පහළ, 18 න් පහළ දක්වාම පාපන්දු හා මලල ක්‍රීඩා කණ්ඩායම් නියෝජනය කරනවා.
පාපන්දු පිටියෙන් රග්බි හුරුව ගත් ඔහු 1980 වසරේදී ධර්මරාජ රග්බි කණ්ඩායමට පිවිසෙන්නේ ඔහුගේ පාපන්දු හා මලල ක්‍රීඩා දක්ෂතා ද්විත්වයන්ම රග්බි පිටියටත් රැගෙන එමිනුයි. 1979 වසරේදී මිල්රෝයි මෙන්ඩිස් තමන්ට රග්බි ක්‍රීඩාවට එන්න කියූ නමුත් එවකට තමන්ට ඒ සඳහා සහභාගී වීමට නොහැකි වූ බව ඔහු සිය මතක පොත පෙරලමින් අප සමඟ පවසා සිටියා. කෙසේ වෙතත් හේමන්ත යටවර යටතේ ඔහු 1980 වසරේදී ධර්මරාජ පළමු පෙළ කණ්ඩායමේ පුහුණුවීම් ආරම්භ කළා.
1981 වසරේදී B කාණ්ඩයට වැදුණු ධර්මරාජ රග්බි කණ්ඩායම නැවත A කාණ්ඩයට රැගෙන ඒමේ වගකීම හිමිවන්නේ 1982 දී C. S ඒකනායක ටයි. මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය තියුණු තරගයකට පසුව ලකුණු 3-0 ක් ලෙස පරාජය කරමින් ධර්මරාජය නැවතත් A කාණ්ඩයට රැගෙන එන්නට C. S ප්රමුඛ ධර්මරාජ රග්බි කණ්ඩායම සමත් වෙනවා. 1982 වසරේ වැදගත් තරග කිහිපයක මතක C. S ඒකනායක අප සමඟ බෙදාගත්තා. ත්‍රිත්ව විද්‍යාලය සමඟ සමඟ තරගය ධර්මරාජ කණ්ඩායමට ධර්මරාජය හොඳ සුදානමකින් මුහුණ දුන්නත් ලකුණු 8-26 ක් ලෙස ධර්මරාජයට පරාජය වන්නට සිදු වුණා. කෙසේ වෙතත් ඔහු පවසා සිටියේ පළමු විනාඩි 20 ධර්මරාජය ඉතාම හොඳින් ක්‍රීඩා කළ බවයි තවද රාජකීය විද්‍යාලය සමඟ තරගය ඔවුන් ලකුණු 3-0 ක් ලෙස නිමා කිරීමට සමත් වුණා.(කාලයෙන් මැකීගිය ලකුණු, තරග අත්දැකීම් මේ සටහනට එකතු කරන්නට ඔබටත් ආරාධනා.)
1982 ගැන සිහි කරමින් ඔහු පවසා සිටියේ 1982 වසරේ සිය සගයින් ඉතාම හොඳින් ක්‍රීඩා කළ බවයි. රග්බි ක්‍රීඩාවට පමණක් සීමා නොවුණු C. S ඒකනායක පාපන්දු ක්‍රීඩාවටත් එක සේ ආදරය කළා. 1981 වසරේදී, හා 1982 වසරේදී ධර්මරාජ පාපන්දු කණ්ඩායම මෙහෙයවූ ඔහු 1982 වසරේදී වයස අවුරදු 20 න් පහළ සිංගර් කුසලානයත් දිනා ගන්නවා.
වසර තුනක් ධර්මරාජ පළමු පෙළ රග්බි කණ්ඩායමට නියෝජනය කරන යොවුන් C. S ඒකනායක 1981 වසරේදී පාසල් වර්ණ දිනා ගන්නවා. පසුව 1982 වසරේදී ධර්මරාජ රග්බි කණ්ඩායම B කාණ්ඩයේ සිට A කාණ්ඩය දක්වා රැගෙන ඒම නිසා ඔහුට දාගැබ හිමි වන අතර, පාපන්දු ක්‍රීඩාව වෙනුවෙන් ඔහු කළ සේවය උදෙසාත් ඔහුට දාගැබ හිමි වෙනවා. එමෙන්ම ඔහුට මලල ක්‍රීඩා වෙනුවෙනුත් වර්ණ හිමි වන්නේ ධර්මරාජ පොළොවේ අමරණිය චරිතයක් බවට පත් වෙමින්.
පාසලෙන් පසුව මහනුවර ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරන ඔහු 1983 වසරේ සිට 1992 දක්වා මහනුවර ක්‍රීඩා සමාජයේ ප්‍රධානතම තුරුම්පුවක් වුණා. එම නිසාම 1988 වසරේ මහනුවර ක්‍රීඩා සමාජයේ නායකයා ලෙසද ක්‍රීඩා කරන්නට ඔහුට වරම් හිමි වුණා.
ක්‍රීඩකයෙක් ලෙස උකහාගත් දැනුම පුහුණුකරුවෙක් ලෙස ද රග්බි පොඩ්ඩන් ට ලබා දුන් ඔහු 1996 වසරේදී පුහුණුකරුවෙක් ලෙස රග්බි ක්‍රීඩාවට දායකත්වය ලබා දෙනවා. 2004 වනතෙක් පුහුකරුවෙක් ලෙස කටයුතු කරන ඔහු 1996 වසරේ සිට 2004 වසර දක්වාම ධර්මරාජ පළමු පෙළ රග්බි කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ රග්බි අද දිවයිනේ ඉහළම තැන්වල සිටින බොහෝ ධර්මරාජ රග්බි ක්‍රීඩකයින්ගේ දෑස් පාදමිනුයි.
තාත්තා ගිය පාරේම ගිය පුතෙකුත් ඔහු ධර්මරාජයට දායාද කරනවා. 2012 ධර්මරාජ රග්බි කණ්ඩායම B කාණ්ඩයේ සිට A කාණ්ඩයට ගෙන ඒමට ඉමහත් සේවයක් ඉටු කල ලෝචන ඒකනායක ඔහුගේ දයාබර පුතණුවන්. පිය පුතු යුගලයම ධර්මරාජ රග්බි කණ්ඩායම B කාණ්ඩයේ සිට A කාණ්ඩයට ගෙන ඒමට සමත් වූ හරි අපූරු සිදුවීමක් මේ.
ධර්මරාජයට තිබුණු ආලය නිසාම ආදී ධර්මරාජිකයින්ගේ රග්බි පාපන්දු සංගමය ආරම්භ කරන්නට මූලිකම සාමාජිකයෙක් ලෙස C. S ඒකනායක සම්බන්ධ වුණා. එතැන් සිට තනතුරු රැසක් කරමින් ඔහු ORRFA වෙත කළ සේවය අගය කළ යුතුමයි.
ධර්මරාජයේ රග්බි ක්‍රීඩාවට ක්‍රීඩකයෙක් ලෙස මෙන්ම පුහුණුකරුවෙක් ලෙස ද සිය උපරිමය ලබා දුන් C. S ඒකනායක ගේ මතකයන් ඔහුගේ ගෝලයින් මතක් කර සිටින්නේ ඉතා කෘතගුණපුර්වකවයි. C. S ඒකනායකගේ රග්බි නුවණ, රග්බි දස්කම් හා ඔහුගේ දක්ෂතා ධර්මරාජ රග්බි පිටියේ සදා අමරණීයයි.