1985 RR Captain

Ruwan Mallawarachchi

Ruwan Mallawarachchi

ලැබුවාවූ නව වසර ඔබ සැමට සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා යැයි අපි ප්‍රාර්ථනා කරන්නෙමු. නව වසරේ පළමු රග්බි නායකයා ලෙස අප අද හමුවන්නේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ පවා දස්කම් දක්වූ 1985 ධර්මරාජ රග්බි කණ්ඩායමේ සුක්කානම හෙබවූ රුවන් මල්ලවාරච්චි.

ක්‍රීඩාවට උපන් හපනෙක් වූ ඔහු ධර්මරාජයට එක්වන්නේ එක ශ්‍රේණියේදීයි. පාපන්දු ක්‍රීඩාවටත් උපන් හපනෙක් වූ ඔහු වයස අවුරුදු 13 න් පහළ මෙන්ම 15 න් පහළ පාපන්දු කණ්ඩායම් වලද ස්ථිර සාමාජිකයෙක් වුණා.

රග්බි ක්‍රීඩාවට තිබුණු ආලය නිසාම පාපන්දු අතහැර ඔහු සම්පුර්ණයෙන්ම රග්බි ක්‍රීඩාවට යොමු වෙනවා. වයස අවුරුදු 12 න් පහළ, 13 න් පහළ, 16 න් පහළ මෙන්ම දෙවන පෙළ ධර්මරාජ රග්බි කාණ්ඩයම් වලද නායකත්වය දරන්නට ඔහු සමත් වුණේ ඔහු සතුව තිබුණු නායකත්ව ගතිගුණ නිසාමයි.

1980 වසරේදී එවකට යොවුන් රුවන් මල්ලවාරච්චි ගේ නායකත්වයෙන් වයස අවුරුදු 13 න් පහළ “Mini Rugby Cup” කුසලානය දිනා ගන්නට ධර්මරාජ රග්බි කණ්ඩායම සමත් වුණා. ඒ කොළඹ ඉසිපතන විද්‍යාලය පරාජය කරමිනුයි. “අපි ගිය බස් එක වරකාපොළ දී කැඩුනා. අපි තරගාවලියට නොයා ආපසු එන්නයි සුදානම් වුණේ. ඒ වුනත් අපි පාරේ බස් එකක් කතා කරගෙන තරගවලියට ගියා.” තරගාවලියට යන අතරතුර දී සිදුවුණු සිදුවීමක් පිළිබඳව රුවන් මල්ලවාරච්චි අප සමඟ පවසා සිටියේ ධර්මරාජිකයින් ගේ බාධක හමුවේ නොසැලෙන ගුණය මොනවට පැහැදිළි කරමින්.

1984 වසරේදී Outstations කණ්ඩායම නියෝජනය කරන්නට යොවුන් මල්ලවාරච්චි සමත් වෙනවා. යොවුන් කණ්ඩායම් වල ඉහල දස්කම් දැක්වූ රුවන් මල්ලවාරච්චිට 1985 වසරේදී ධර්මරාජ රග්බි කණ්ඩායමේ සුක්කානම හිමි වෙනවා. ත්‍රිත්ව විද්‍යාලය සමඟ තරගය 1980 වසරේදී අවාසනාවන්ත ලෙස ලකුණු 6-0 ක් ලෙස පරාජය වුණු බව ඔහු මෙනෙහි කරනවා. ඒ වසරේදී රාජකීය විද්‍යාලය සමග තරග ධර්මරාජය ලකුණු 3–3 ක් ලෙසත්, ගල්කිස්ස සාන්ත තෝමසුවන් සමඟ තරගය ලකුණු 4-4 ක් ලෙසත් සාන්ත අන්තෝනි කණ්ඩායම සමග තරගයත් ලකුණු සමවී අවසන් වුණා.

1985 වසරේදී ශ්‍රී ලංකා පාසල් කණ්ඩායමට තේරී පත්වෙන්නට ඔහු සමත්වන අතර ඒ නිසාම ඔහුට ධර්මරාජයේ ක්‍රීඩකයෙකුට හිමිවන ඉහළම ප්‍රධානය වන දාගැබ ද හිමි වෙනවා. 1985 කණ්ඩායම චන්දිම අමදෝරු, අජන්ත, ප්‍රදීප් අල්විස්, ප්‍රසාද් අල්විස් සහෝදරයින්, රොහාන් විජේකෝන් හා සාලුක ගල්ලෑල්ල වැනි ප්‍රබල ක්‍රීඩකයින් සිටි කණ්ඩායමක්.

රුවන් මල්ලවාරච්චි ගේ අවසන් වසර වන 1986 වසරේදී ධර්මරාජ කණ්ඩායම ඉතා අවාසනාවන්ත ඉරණමකට මුහුණ දෙනවා. ඒ ධර්මරාජය කණ්ඩායම රග්බි තහනමකට ලක්වන නිසයි. වයිපර් ගුණරත්න ගේ මඟ පෙන්වීමෙන් ධර්මරාජ කණ්ඩායම 1986 තරග වාරයට හොඳින් පුහුණු වූ බවත් මෙම අවාසනාවන්ත සිදුවීම නිසා පාසල් රග්බි පිටිය තුළ පෙරළියක් කරන්නට තිබුණු අවස්තාව 1986 කණ්ඩායමට ගිලිහුණු බවත් ඔහු මෙනෙහි කරන්නේ ඉතා කණගාටුවෙන්.

1986 හා 1987 වසර වලදී මහනුවර ක්‍රීඩා සමාජයේ Flyhalf ස්ථානයේ ක්‍රීඩා කරන්නට තරම් යොවුන් රුවන් මල්ලවාරච්චි දක්ෂ වෙනවා. පසුව 1988 වසරේ සිට 1991, 1992 වසර දක්වා ඔහු කොළඹ හැව්ලොක් ක්‍රීඩා සමාජයේ ක්‍රීඩා කරනවා. ලක්ශාන්ත කරුණාසේන වැනි ක්‍රීඩකයින් සමග එක්ව ඔහු හැව්ලොක්ස් කණ්ඩායම වෙනුවෙන් අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 24 න් පහළ ශුරතාව ද දිනා ගන්නට සමත් වෙනවා.

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ද ප්‍රබල ක්‍රීඩකයෙක් වුණු ඔහු Asiad තරගාවලිය සඳහා Fullback ක්‍රීඩකයෙක් ලෙස ශ්‍රී ලංකා සංචිතයට තේරීපත් වුණු ක්‍රීඩකයෙක්.
රුවන් මල්ලවාරච්චි ගේ සහෝදරයා වුණු චන්දන මල්ලවාරච්චි ද රග්බි ක්‍රීඩා කළ සුපිරි ක්‍රීඩකයෙක්. ඔහුද 1985, 1986 කණ්ඩායම් නියෝජනය කළ අතර පසුව ඔහු 1988 වසරේදී සාන්ත අන්තෝනි කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරනවා.

ධර්මරාජයේ රග්බි ක්‍රීඩාව ක්‍රීඩා සමාජ මට්ටමේ මෙන්ම ජාතික තලයටත් රැගෙන ගිය රුවන් මල්ලවාරච්චි ධර්මරාජ රග්බි පිටියට කළ සේවය ධර්මරාජ බිමේ අමරණීයයි.