1990 RR Captain

ධර්මරාජ රග්බි ඉතිහාසයේ 1990 වසර සඳහන් වන්නේ තවත් සුවිශේෂී රග්බි නායකයෙක් බිහි කළ වර්ෂයක් ලෙසයි. ක්‍රීඩකයෙක් ලෙස මෙන්ම ආදී ධර්මරාජිකයින්ගේ රග්බි පාපන්දු සංගමයේ හිටපු සභාපති කෙනෙකු ලෙස ද ධර්මරාජ රග්බි ක්‍රීඩාවට ඉමහත් සේවයක් කළ ඔහු, ෂෙහාන් විජේවර්ධන.
ධර්මරාජයෙන් බිහිවුණු බොහෝ රග්බි ක්‍රීඩකයින් මෙන්ම ඔහුත් වයස අවුරුදු 12 න් පහළ වයස් කාණ්ඩයේ සිට 19 න් පහළ වයස් කාණ්ඩය දක්වා පාපන්දු හා මලල ක්‍රීඩා යන ක්‍රීඩා ඉසව් වලින් ද ධර්මරාජ කණ්ඩායම නියෝජනය කර තිබෙනවා.
13 න් පහළ, 15 න් පහළ, 17 න් පහළ කණ්ඩායම් වලට ක්‍රීඩා කරමින් කුඩා කළ සිටම රග්බි ක්‍රීඩාවට ඇළුම් කළ ඔහු රග්බි ක්‍රීඩාවට පිවිසෙන්නේ පවුලේ උරුමයෙන්.
“මගේ පවුලම රග්බි ක්‍රීඩාවට සම්බන්ධයි. ඒ නිසා මමත් කුඩා කාලයේ සිටම රග්බි ක්‍රීඩාවට ලොකු ඇල්මක් දැක්වූවා. නුවර ක්‍රීඩා සමාජය සෙල්ලම් කරන ආකාරය හා ධර්මරාජ රග්බි කණ්ඩායම ක්‍රීඩා කරන ආකාරය මම කුඩා කාලයේ සිටම බැලුවා.”
ෂෙහාන් විජේවර්ධන සමඟ ප්‍රාථමිකයේ සිටම විවිධ වයස් කාණ්ඩ වල ක්‍රීඩා කළ ඔහුගේම සොයුරන් 1990 ධර්මරාජ පළමු පෙළ රග්බි කණ්ඩායම කරාම පැමිණියේ 1990 කණ්ඩායම අත්දැකීම් බහුල ප්‍රබල කණ්ඩායමක් බවට පත් කරමිනුයි.
“1986 කාලයේදී ධර්මරාජයේ රග්බි කණ්ඩායම එතරම් හොඳ මට්ටමක නෙවේ තිබුණේ. පසුව අපි 1988 – 1990 කාලසීමාවේදී ධර්මරාජයේ රග්බි ක්‍රීඩාවට නව මුහුණුවරක් ලබා දුන්නා. දැන් මතක් කරද්දී ඒ කාලය සුන්දරයි වුණාට ඒ කාලේ අපි බොහොම කටුක අත්දැකීම් වලට මුහුණ දුන්නා.”
“අපි ක්‍රීඩා කළේ ඉතාම අඩු පහසුකම් තිබෙන වාතාවරණයක් තුළ. ඒ කාලයේ අපිට තිබුණු ලොකුම ප්රශ්නය තමයි Boots. ඒ කලේ අපි ක්‍රීඩා පිටියට තරගයක් ක්‍රීඩා කරන්න යනකොට මැච් එක පටන් ගන්නකොට පිට්ටනියේ ඉන්නේ ක්‍රීඩකයින් නවයක් විතර පමණයි. ඉතුරු ක්‍රීඩකයින් ක්‍රීඩාගාරයට වෙලා දෙවන පෙළ තරගය ක්‍රීඩා කරලා ආව ක්‍රීඩකයින් එක්ක Boots හුවමාරු කර ගන්නවා. ඉතින් ඒගොල්ලෝ එනකම් මට විනිසුරු එක්ක කතා කර කර තරගයේ ආරම්භය පමා කරන්න සිදු වුණා.” කටුක මතකයක් වුණත් ෂෙහාන් විජේවර්ධන අද ඒ මතකයන් සිහි කරන්නේ සිනහමුසු මුහුණින්.
1990 වසරේ තරග පිළිබඳව මතක් කළ ඔහු විද්‍යාර්ථ විද්‍යාලය සමඟ ඒ වසරේදී පැවති තරගයේ ඔහු මුහුණ දුන් අත්දැකීමක් අප සමඟ බෙදා ගත්තා. ” විද්‍යාර්ථ විද්‍යාලය සමඟ තරගය ලෙහෙසියෙන්ම ජය ගන්න තිබුණා. අපිට Penalty යක් ලැබුණා. මමත් බොහොම මහන්සියෙන් හිටියේ. කණ්ඩායමේ කවුරුත් ඉදිරිපත් වුණේ නැහැ. ඒ නිසා මම ඒ අවස්තාව ලබා ගත්තා. අවාසනාවන්ත විදියට පන්දුව ගෝල කණුවේ හරස් දාරයේ වැදිලා ඒකට යටින් ඉවත ගියා. මට පිට්ටනිය මැද ඇඩුනා.”
ෂෙහාන් විජේවර්ධන ආදී ධර්මරාජිකයින්ගේ රග්බි පාපන්දු සංගමයේ ආරම්භක සාමාජිකයෙක් ද වෙනවා. “ධර්මරාජයේ රග්බි ක්‍රීඩාවට තිබුණු ලොකුම ගැටළුවක් තමයි පාසලෙන් ලැබෙන මුදල ක්‍රීඩකයින්ට පහසුකම් ලබා දෙන්න ප්‍රමාණවත් වුණේ නැහැ. ඉතින් එවකට පුහුණුකරු වුණු අපේ විද්‍යාලයේම රග්බි නායකයෙක් වුණු සී. එස් ඒකනායක, අරුණ කාලිංග අයියා, කේ. බී අයියා, උපුල් අයියා වගේ පොඩි කණ්ඩායමක් එකතුවෙලා අපි තීරණය කලා අපේ ධර්මරාජයට අවශ්‍ය වුණු සහය සුළුවෙන් හරි ලබා දෙන්න.” ආදී ධර්මරාජිකයිගේ රග්බි පාපන්දු සංගමයේ ආරම්භය සිදු වුණු ආකාරය ඔහු මෙනෙහි කළා.
“ඒ කාලේ අපිට සාමාජිකයින් හිටියේ නැහැ. අපි අපිට පුළුවන් විදියට ගෙදරින් හදාගත්ත කෑම, අපි අතරේ එකතු කරගත්ත මුදල් වලින් Boots කණ්ඩායමට අරන් දීලා අපි හෙමින් හෙමින් ගමනක් ගියා.”
“පසුව අපි තීරණය කළා 1970 ඉඳන් ධර්මරාජයේ රග්බි ක්‍රීඩා කළ ආදී ක්‍රීඩකයින් සොයා යන්නට. ඒක හරිම සුන්දර ගමනක්. අපිට පුළුවන් වුණා ආදී ධර්මරාජිකයින් හා වර්තමාන යොවුන් ක්‍රීඩකයින් හා පාලමක් ගොඩ නගන්න. ඒ නිසා තමයි අද ධර්මරාජයේ රග්බි ක්‍රීඩාව මේ තත්වයේ තියෙන්නේ.”
1994 වසරේදී නිල වශයෙන් ආදී ධර්මරාජිකයින්ගේ රග්බි පාපන්දු සංගමය පිහිටුවද්දී එහි පළමු ලේකම් වුණේ ද ෂෙහාන් විජේවර්ධනයි. 1997-98 කාලසීමාවේ ORRFA සභාපති වන ඔහු ධර්මරාජයේ රග්බි ක්‍රීඩාවට විශාල සේවයන් රැසක් ඉටු කරනවා. ඉන් එකක් වන්නේ ඔහුගේ සභාපති ධූර කාලය තුළ පළමු වරට ධර්මරාජයේ Rugby Day – රග්බි දිනයක් සංවිධානය කිරීමයි.
ක්‍රීඩකයෙක් ලෙස මෙන්ම ආදී ධර්මරාජිකයින්ගේ රග්බි පාපන්දු සංගමයේ ආරම්භක මෙන්ම ප්‍රමුඛතම සාමාජිකයෙක් ලෙස ද ෂෙහාන් විජේවර්ධන කළ සේවය ධර්මරාජ කන්දේ සදා ජීවමානයි.