2010 RR Captain

තවත් දශකයක අත්දැකීම් හා තවත් දශකයක පන්නරයෙන් ධර්මරාජයේ රග්බි ක්‍රීඩාව 2010 වසරෙන් පසුව නැවුම් මාවතකට යොමු වුණා. 2010 නව දශකයේ නැවුම් කණ්ඩායමක් මෙහෙයවීමේ අභියෝගය හිමි වුණේ චානක රත්නායක හටයි.
එක වසරේ කුඩා ධර්මරාජිකයෙක් ලෙස ධර්මරාජයට ඇතුළු වූ චානක රත්නායක කුඩා කල සිටම විවිධ ක්‍රීඩාවන්ට දස්කම් දැක්වූවා. ඔහු 6 ශ්‍රේණියේ ක්‍රීඩා කරන සමයේ එවකට ක්‍රියාත්මක වූ Cat Rugby වැඩසටහනට එකතු වුණේ කුඩා කල සිට ඔහු රග්බි ක්‍රීඩාවට දැක්වූ ආශාව නිසයි.
ඔහු දැක්වූ දක්ෂතා නිසාම ඔහුට වයස අවුරුදු 13 න් පහළ ධර්මරාජ රග්බි කණ්ඩායමට පිවිසීමට වරම් හිමි වුණු අතර එතැන් සිට ඔහු වයස අවුරුදු 15 න් පහළ, 17 න් පහළ කණ්ඩායම් වලත් සිය අසුන වෙන් කර ගත්තේ කණ්ඩායමට නැතුවම බැරි ක්‍රීඩකයෙක් බවට පත් වෙමින්.
රග්බි ක්‍රීඩාවට ඔහු දැක්වූ දක්ෂතා නිසාම 2007 වසරේදී ඔහුට පළමු පෙළ රග්බි කණ්ඩායමේ ස්ථානයක් වෙන් වෙනවා. එතැන් සිට 2008, 2009 වසර වලදී ද ඔහු ධර්මරාජ පළමු පෙළ රග්බි කණ්ඩායම නියෝජනය කරන්නේ ජයග්‍රහණය රැසකටම සිය දායකත්වය ලබා දෙමිනුයි.
ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් 6 දෙනෙක්ගේ පමණ සහයත් සමඟින් අත්දැකීම් වලින් මනාව පෝෂණය වූ චානක රත්නායක 2010 වසරේදී ධර්මරාජ පළමු පෙළ රග්බි කණ්ඩායමේ සුක්කානම භාර ගන්නවා.
එම වසරේ කිංග්ස්වුඩ් විද්‍යාලය සමඟ පැවති තරගය තමාට අමතක නොවන තරගයක් බව චානක රත්නායක මෙනෙහි කර සිටියා. එම තරගයේදී ධර්මරාජ පළමු පෙළ රග්බි කණ්ඩායම කිංග්ස්වුඩ් විද්‍යාලයට ප්‍රබල තරගයක් ලබා දුන්නේ තියුණු අවසානයක් කරා තරගය රැගෙන යමිනුයි.
එම වර්ෂයේ ධර්මරාජ පළමු පෙළ රග්බි කණ්ඩායමේ උපනායක ලෙස සත්සර බස්නායක කටයුතු කළ බවද ඔහු මතක් කර සිටියා.
රග්බි ක්‍රීඩාවට දැක්වූ දක්ෂතා නිසා චානක රත්නායකට 2009 වසරේදී හා 2010 වසරේදී රග්බි වර්ණ හිමිවෙන්නේ පාසල් වර්ණ රාත්‍රිය වර්ණවත් කරමිනුයි. චානක රත්නායක ගේ ඥාති සහෝදරයින් ද ධර්මරාජයේම පහස ලැබූවන්. නමින් ඔවුන් සහන, තරිඳු, ඉන්දික හා මංජුලයි.
නව දශකයකට නව ආරම්භයක් ලබා දුන් නායකයෙක් ලෙස චානක රත්නායක ධර්මරාජ කන්දේ සදා ජීවමානයි.