2011 RR Captain

Kavinda Jayasundara

Chanaka Jayasundara

ධර්මරාජ රග්බි පිටියේ තවත් සුවිශේෂ සංධිස්ථානයක් 2011 වසරේදී සටහන් වෙනවා. ඒ සිය පියාණන් ගේ අඩිපාරේම ගිය චානක ජයසුන්දර 2011 වසරේ ධර්මරාජ පළමු පෙළ රග්බි කණ්ඩායමේ නායකත්වයට පත් වීමත් සමඟයි. චානක ජයසුන්දරගේ පියාණන් වූ තිලක් ජයසුන්දර 1978 වසරේදී ධර්මරාජ පළමු පෙළ රග්බි කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළා.

සිය පියාණන්ගේ අවෑමෙන් 1996 වසරේදී 1 ශ්‍රේණියට එන චානක ජයසුන්දර කුඩා කල සිටම රග්බි පිටියට ඇළුම් කළ ක්‍රීඩකයෙක් වුණා. ආනන්ද කස්තුරිආරච්චි මහතාගේ මඟපෙන්වීමෙන් එවකට පැවැත්වුණු CAT RUGBY වැඩ සටහනෙන් චානක ජයසුන්දර රග්බි පිටියට අත්පොත් තියනවා.

එතැන් පටන් වයස් අවුරුදු 13 න් පහළ, වයස අවුරුදු 15 න් පහළ හා වයස අවුරුදු 17 න් පහළ කණ්ඩායම් පියවරෙන් පියවර තරණය කරන ඔහු සිය රග්බි ඔලොගුවට අත්දැකීම් රැසක්ම එකතු කර ගන්නවා. රග්බි ක්‍රීඩාවේ පමණක් නොව ඔහු බාලදක්ෂයෙක් ලෙසද විද්‍යාලයීය බාලදක්ෂ සමූහය නියෝජනය කළා.

2009 වසර චානක ජයසුන්දරගේ රග්බි දිවියේ සුන්දරම වසරක් වුණා. ඒ 2009 වසරේදී ඔහුට ධර්මරාජ පළමු පෙළ රග්බි කණ්ඩායමේ අසුනක් වෙන් වීම නිසයි. 2009, 2010 වසර වලදී ධර්මරාජ පළමු පෙළ රග්බි කණ්ඩායමේ අත්දැකීම් වලින් ලද පන්නරයත් සමඟින් 2011 වසරේදී චානක ජයසුන්දර ධර්මරාජ පළමු පෙළ රග්බි කණ්ඩායමේ සුක්කානම භාර ගන්නවා.

2011 වසර ධර්මරාජ පළමු පෙළ රග්බි කණ්ඩායමට ඉතා අභියෝගාත්මක වසරක් වුණා. ඒ එවකට පැවති ලීග් ආකෘතිය නිසයි. ධර්මරාජ කණ්ඩායම සමග තවත් කණ්ඩායම් 11 ක් A කාණ්ඩයේ තරග වැදුණු අතර ඉන් කණ්ඩායම් හතරකට මීළඟ වසරේ B කාණ්ඩයට වැටීමේ අවධානමට මුහුණ දෙන්නට සිදු වී තිබුණා.

මේ අභියෝගය මැද තරග කළ ධර්මරාජ පළමු පෙළ රග්බි කණ්ඩායම ගල්කිස්ස විද්‍යා විද්‍යාලය, තර්ස්ටන් විද්‍යාලය සමඟ මෙන්ම වෙස්ලි විද්‍යාලය සමඟද පැවැත්වුණු තරග ජයගත් බව චානක ජයසුන්දරගේ මතකය කියනවා.

ගල්කිස්ස විද්‍යා විද්‍යාලය එම වසරේ ප්‍රසාද ලකුණු සටහනේ තුන්වන ස්ථානයේ රැඳී සිටි අතර ඔවුන්ට එරෙහිව ධර්මරාජ පළමු පෙළ කණ්ඩායම වාර්තා කළ ජයග්‍රහණය ඉතා සුවිශේෂ ජයග්‍රහණයක් බව චානක ජයසුන්දර පවසා සිටිනවා. සාන්ත ජෝසප් කණ්ඩායමට එරෙහිව පැවැත්වුණු තරගයටත් ධර්මරාජ කණ්ඩායම ඉතා හොඳින් මුහුණ දුන් අතර ධර්මරාජ පළමු පෙළ කණ්ඩායම ඒ තරගය ඉතා තියුණු ලකුණු පරතරයකින් පරාජය වී තිබුණේ අවාසනාවන්ත ලෙසයි.

2011 කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයින් කිහිපදෙනෙක්ම සිටි බව චානක ජයසුන්දර පවසා සිටිනවා. හපුආරච්චි, චානක චන්ද්‍රසිරි, කේවින්ද හෙට්ටිආරච්චි, ගයන්ත හෙට්ටිආරච්චි, මියුරු හේවාවසම්, රෝචන හෙට්ටිආරච්චි, බුවනෙක උඩන්ගමුව වැනි ප්‍රබල ක්‍රීඩකයින් රැසක්ම ඒ වසරේ දී කණ්ඩායමට දායකත්වය ලබා දුන්නා.

රග්බි ක්‍රීඩාව වෙනුවෙන් කළ සේවය වෙනුවෙන් චානක ජයසුන්දරට 2011 වසරේදී රග්බි වර්ණ හිමි වෙනවා. 2011 වසරේදී මහනුවර පාසල් කණ්ඩායම හා කොළඹ පාසල් කණ්ඩායම අතර පැවැත්වුණු පැවැත්වුණු තරගයේ මහනුවර කණ්ඩායමට ඔහු සුදුසුකම් ලැබීම විශේෂත්වයක්.

පාසලෙන් නික්ම ගියත් චානක ජයසුන්දර රග්බි ක්‍රීඩාවට සමු දුන්නේ නැහැ. 2014 වසරේ සිට ඔහු පොලිස් ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් ක්‍රීඩා කරමින් ධර්මරාජයේ අභිමානය ක්‍රීඩා සමාජ රග්බි පිටියට රැගෙන යන්නට සමත් වුණා. 2020 වසරේදීත් ඔහු පොලිස් ක්‍රීඩා සමාජ සංචිතයේ සාමාජිකයෙක් ලෙස ක්‍රීඩා කිරීම විශේෂත්වයක්.

සිය පියාගේ උරුමයෙන් ධර්මරාජයේ රග්බි පිටිය වර්ණවත් කළ චානක ජයසුන්දර ධර්මරාජ රග්බි පිටියේ සදා ජීවමානයි.