2014 RR Captain

ධර්මරාජ පළමු පෙළ රග්බි කණ්ඩායමේ නායකත්වය හෙබවූ අයියා මලෝ නායකයින් යුගල කිහිපයක්ම ධර්මරාජයේ රග්බි වංශකතාව සොයා ගිය අපට හමු වුණා. එම යුගලයන් අතරට 2014 වසරේදී තවත් අයියා මලෝ යුගලයක් එකතු වෙනවා. ඒ 2007 වසරේ ධර්මරාජ පළමු පෙළ රග්බි කණ්ඩායමේ නායකත්වය හෙබවූ රුවන්ත නාවලගේ ගේ සොයුරු විහඟ නාවලගේ 2014 වසරේදී ධර්මරාජ පළමු පෙළ රග්බි කණ්ඩායමේ නායකත්වය භාරගැනීමත් සමඟයි.
විහඟ නාවලගේ ධර්මරාජයට එන්නේ 2008 වසරේදීයි. සිය වැඩිමහල් සොයුරාගේ අවෑමෙන් පාසලට පැමිණි වහා රග්බි ක්‍රීඩාව අරඹන ඔහු කුඩා කල සිටම රග්බි ක්‍රීඩාවට විශේෂ උනන්දුවක් දැක්වූවා.
නාවලගේ අයියා – මලෝ යුගලයට දෛවය අමුතුම සංධිස්ථානයක් උදා කර දෙනවා. පළමු පෙළ කණ්ඩායමේ ක්‍රීඩා කළ සිය සොයුරු රුවන්ත නාවලගේ පාසල් රග්බි දිවියේ අවසන් තරගය කොළඹ රාජකීය විද්‍යාලයට එරෙහිව ක්‍රීඩා කරන්නේ 2008 වසරේදීයි. එදිනම කුඩා විහඟ නාවලගේ ධර්මරාජ වයස අවුරුදු 14 න් පහළ කණ්ඩායම නියෝජනය කරමින් රාජකීය කණ්ඩායමට එරෙහිව ධර්මරාජය වෙනුවෙන් සිය රග්බි දිවිය ආරම්භ කරනවා.
2008 වසරේදී වයස අවුරුදු 14 න් පහළ තරගාවලියේ පළඟ අවසන් පූර්ව වටයට පැමිණෙන්නට ධර්මරාජ වයස අවුරුදු 14 න් පහළ කණ්ඩායම සමත් වුණා. එම කණ්ඩායම වෙනුවෙන් කැපී පෙනෙන දස්කම් දක්වන්නටත් විහඟ නාවලගේ සමත් වීම විශේෂත්වයක්.
2009 වසරේදී විහඟ නාවලගේ ධර්මරාජ වයස අවුරුදු 16 න් පහළ කණ්ඩායම නියෝජනය කරන්නට වරම් හිමි කර ගන්නවා. එහිදී ඔහු රෝචන හෙට්ටිආරච්චි ගේ නායකත්වයෙන් ක්‍රීඩා කරන අතර විහඟ නාවලගේ ප්රමුඛ ධර්මරාජ වයස අවුරුදු 16 න් පහළ කණ්ඩායම එම වසරේ 16 න් පහළ තරගාවලියේ කුසලාන අවසන් පූර්ව වටයට පැමිණෙනවා. එම තරගයේදී ඔවුන් තරග වදින්නේ ප්‍රබල ඉසිපතන කණ්ඩායම සමඟයි.
2010 වසරේදී ද වයස අවුරුදු 16 න් පහළ කණ්ඩායම නියෝජනය කරන විහඟ නාවලගේ, කුසලාන අර්ධ අවසන් පූර්ව වටයට සිය කණ්ඩායම රැගෙන එන්නට ඉතාමත් සේවයක් ඉටු කළා.
එම පන්නරයත් සමඟින් 2012 වසරේදී ධර්මරාජ පළමු පෙළ රග්බි කණ්ඩායමේ අසුනක් විහඟ නාවලගේට වෙන් වුණා. දෙවන පෙළ ක්‍රීඩකයෙක් ලෙස ඔහු C. W. W කන්නන්ගර විද්‍යාලයට එරෙහිව සිය පළමු තරගය ආරම්භ කරනවා. ධර්මරාජ පළමු පෙළ කණ්ඩායමේ තවත් ස්ථාවර වෙමින් ඔහු එහිදී උත්සාහක දිනුම් දෙකක් රැස් කරනවා. 2012 වසරේදී ධර්මරාජ පළමු පෙළ රග්බි කණ්ඩායම B කාණ්ඩයේ ශුරතාවය දිනාගත් අතර ඒ සඳහා ද ඔහු ඉතා ඉහළ දායකත්වයක් ලබා දුන්නා.
විහඟ නාවලගේ ගේ ක්‍රීඩා දිවියේ අමතක නොවන වසරක් ලෙස 2013 වසර හැඳින්විය හැකියි. ඒ ඔහු ක්‍රීඩා කළ 2013 ධර්මරාජ පළමු පෙළ රග්බි කණ්ඩායම ධර්මරාජ ඉතිහාසයේ පළමු වතාවට අන්තර් පාසල් ලීග් කිරුළ දිනා ගත් නිසයි. සිය ක්‍රීඩා විලාසය නිසා එම තරගාවලියේ වැඩියෙන්ම කතා බහට ලක්වුණු ක්‍රීඩකයෙක් බවට පත් වෙන්නට ද විහඟ නාවලගේ සමත් වුණා.
2013 ලීග් ශුරතාවය දිනාගත් ධර්මරාජ පළමු පෙළ කණ්ඩායම 2014 වසරට පිවිසෙන්නේ අහියෝග රැසක් සමඟිනුයි. ප්‍රබලයින් රැසක්ම නික්ම ගියත් 2012, 2013 පළමු පෙළ අත්දැකීම් ද සමඟින් විහඟ නාවලගේ පළමු පෙළ රග්බි කණ්ඩායම මෙහයවිමේ අභියෝගය නොබියව භාර ගන්නවා.
ඒ වසරේදීත් A කාණ්ඩයේ රැඳී සිටින්නට ධර්මරාජ කණ්ඩායම සමත් වෙනවා. ඔවුන්ගේ අවසන් තරගය වුණු මහානාම විද්‍යාලය සමඟ තරගය ඉතා වැදගත් තරගයක් වූ බව විහඟ නාවලගේ පවසා සිටිනවා. ඒ A කාණ්ඩයේ රැඳී සිටිනට නම් එම තරගය ජය ගැනීම අත්‍යවශ්‍ය වන නිසයි. කෙසේ වෙතත් මහානාම අහියෝගය උත්සාහක දිනුම් 4 ක් සමඟ ජය ගනිමින් විහඟ නාවලගේ ප්රමුඛ ධර්මරාජ කණ්ඩායම විශිෂ්ඨ ජයක් වාර්තා කරනවා.
සිය තරග දිවියේ අමතකම නොවන තරගයක් ලෙස විහඟ නාවලගේ නම් කරන්නේ ඩී. එස් සේනානායක විද්‍යාලයට එරෙහි තරගයයි. එම තරගයේදී එවකට කණ්ඩායමේ ප්‍රබලම ක්‍රීඩකයෙක් වුණු පසන් බණ්ඩාර අති දක්ෂ ලෙස ක්‍රීඩා කළ බව විහඟ නාවලගේ මතක් කර සිටිනවා. එමෙන්ම උප නායක ඉෂංක විමලසූරිය, විනුර, ගලපිටිය වැනි ක්‍රීඩකයින් කණ්ඩායමට ඉතා ඉහළ දායකත්වයක් ලබා දුන් බවද ඔහු පවසා සිටියා.
ධර්මරාජයේ රග්බි ක්‍රීඩාවට කළා වූ සේවය වෙනුවෙන් විහඟ නාවලගේට 2013 වසරේදී ධර්මරාජිකයෙකුට හිමිවන ඉහළම ගෞරවය වන දාගැබ ද හිමි වෙනවා.
ධර්මරාජයට කුළුඳුල් රග්බි කිරුළ රැගෙන එන්නට කළ මහත් සේවයක් කළ අභියෝග හමුවේ නොසැලෙන නායකයෙක් ලෙස විහඟ නාවලගේ ධර්මරාජ කන්දේ සදා ජීවමානයි.
විහඟ නාවලගේ ගේ මතකයන් ඇසුරින්
නාවලගේ සහෝදරයින් ගැන මතක් කරන විට තවත් චරිතයක් ධර්මරාජ රග්බි ප්‍රේක්ෂකයින්ට නිතැතින්ම මතකයට නැගෙනවා. ඒ නාවලගේ සහෝදරයින්ගේ ආදරණිය මව වූ මල්ලිකා නාවලගේ මහත්මියයි. රග්බි ක්‍රීඩාවේ දක්ෂයින් දෙදෙනෙක් ධර්මරාජයට දායාද කළ ඇය එදා මෙන්ම අදත් ධර්මරාජ රග්බි ප්‍රේක්ෂකාගාරයේ කණ්ඩයමට සවි දෙනවා. ජය පරාජය මොනවා වුණත්, සිය පුතුන් දෙදෙනා පාසලෙන් ඉවත් වුණත් ඇය තවමත් ධර්මරාජය වෙනුවෙන් හඬ නගන්නේ ධර්මරාජට තිබෙන ආදරය නිසයි. රග්බි ක්‍රීඩාවට ආදරය කරන ධර්මරාජිකයින් වශයෙන් මල්ලිකා නාවලගේ මහත්මියව අප ආදරෙන් මතක් කර සිටිනේ ඒ නිසයි.