2017 RR Captain

Chamika Perera

Chamika Perera

2017 වසර ධර්මරාජ රග්බි ඉතිහාසයේ සඳහන් වන්නේ බලාපොරොත්තු රැසක් එකතු වුණු වසරක් ලෙසයි. ප්‍රබල කණ්ඩායමක් සමඟින් 2017 වසරේ ධර්මරාජ පළමු පෙළ රග්බි කණ්ඩායමේ නායකත්වයේ අභියෝගය භාරගෙන කටයුතු කළේ චාමික පෙරේරා.

කුඩා කළ සිටම රග්බි ක්‍රීඩාවට දක්ෂයෙක් වුණු චාමික පෙරේරා රග්බි ක්‍රීඩාවට පමණක් සිය අවධානය දුන් ක්‍රීඩකයෙක්. ඒ වැඩි අවධානය නිසාම ඔහු රග්බි පිටිය තුළ පෙරළිකාරයෙක් බවට පත් වුණේ ඔහුගේ වේගවත් ක්‍රීඩා විලාසයෙන් ප්‍රතිවාදීන් අන්ද මන්ද කරමිනුයි.

2014 වසරේදී වයස අවුරුදු 18 න් පහළ ධර්මරාජ රග්බි කණ්ඩායම නියෝජනය කරමින් ඔහු සමස්ත ලංකා අන්තර් පාසල් රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටය දක්වා ඉදිරියට යනවා. එමෙන්ම ඒ වසරේදීම ධර්මරාජ වයස අවුරුදු 18 න් පහළ රග්බි කණ්ඩායම සත් සාමාජික රග්බි තරගාවලියෙන් ද බඳුන ශුරතාවය දිනා ගන්නවා.

චාමික පෙරේරා පළමු වරට ධර්මරාජ පළමු පෙළ රග්බි කණ්ඩායම නියෝජනය කරන්නේ 2014 වසරේදීයි. එතැන් සිට 2015, 2016 වසර වලත් පළමු පෙළ ධර්මරාජ රග්බි කණ්ඩායමේ කොටස් කරුවෙක් වුණු චාමික පෙරේරා 2017 වසරේදී ධර්මරාජ පළමු පෙළ රග්බි කණ්ඩායමේ සුක්කානම සියතට ගන්නවා.

ප්‍රබල කණ්ඩායමක් සමඟින් තරග වැදුණු 2017 ධර්මරාජ පළමු පෙළ රග්බි කණ්ඩායමේ ඒ වසරේ ප්‍රතිවාදීන් රැසකටම හිසරදයක් බවට පත්ව තිබුණා. බලාපොරොත්තු රැසක් සමඟින් ධර්මරාජ කණ්ඩායමට මුහුණ දීමට ආ මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයට, චාමික පෙරේරාගේ ධර්මරාජ කණ්ඩායම හමුවේ ලකුණු 53-31 ක පරාජයක් අත්විඳින්නට ද සිදු වුණා. එම තරගය තමන්ට අමතකම නොවන තරගයක් බව චාමික පෙරේරා පවසා සිටිනවා.

එමෙන්ම කොළඹ රාජකීය විද්‍යාලයට එරෙහිව හා ඉසිපතන විද්‍යලයට එරෙහිව ද ඉතා ඉහළ දස්කම් දැක්වූ ඔවුන් සාන්ත පීතර විද්‍යාලයට නිත්තවෙලදී අමතක නොවන පරාජයක් අත්කර දුන්නා.

2017 වසරේදී ධර්මරාජ පළමු පෙළ රග්බි කණ්ඩායම පළඟ අනුශුරතාවය දිනා ගන්නට සමත් වුණා.

චාමික පෙරේරා ගේ වැඩි මහල් සොයුරා ද ධර්මරාජයේම පහස ලැබූවෙක්. බැඩ්මින්ටන් ක්‍රීඩාවෙන් ධර්මරාජයට ඉමහත් ගෞරවයක් ගෙනා ඔහු හර්ෂ පෙරේරා.

පාසලෙන් පිටව ගියත් චාමික පෙරේරා රග්බි ක්‍රීඩාවට සමු දෙන්නේ නැහැ. සත් සාමාජික රග්බි තරගාවලියක් සඳහා ගුවන් හමුදා කණ්ඩායමට නියෝජනය කළ ඔහු එතැන් සිට දිගටම මහනුවර ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරන්නේ ධර්මරාජයට ඉමහත් ගෞරවයක් ගෙනෙමිනුයි.

අමතක නොවන තරගවාරයක් ධර්මරාජයට එකතු කළ නායකයෙක් ලෙස චාමික පෙරේරා ධර්මරාජ රග්බි ඉතිහාසයේ ජීවමානයි.