1887 ආරම්භ වුණු මහනුවර ධර්මරාජ විද්‍යාලය අධ්‍යාපනයට මෙන්ම ක්‍රීඩාවට ද උපන් හපන්කම් ඇති සුපිරි දක්ශයින්ගේ තෝතැන්නක් වුණා.1970 වසරේදී රග්බි ක්‍රීඩාව ආරම්භ කළ ධර්මරාජ රග්බි ඉතිහාසයේ ස්වර්ණමය වසර වුණේ 2013 වසරයි.රෝචන හෙට්ටිආරච්චිගේ නායකත්වයෙන් හා බුවනෙක උඩන්ගමුව, තිළිණ විජේසිංහ වැනි ක්‍රීඩකයින්ගේදහදිය කඳුළුමතින් ධර්මරාජය ඉතිහාසයේ ප්‍රථම වතාවට අන්තර් පාසල් ලීග් කිරුළක් ලේක් විව් කන්දට ගෙන එන්නට ධර්මරාජ රග්බි විරුවෝ සමත් වුණා.

එතැන් පටන් එතරම් දස්කම් පෙන්නවන්නට ධර්මරාජ රග්බි ක්‍රීඩකයින් සමත් වුණේ නැහැ.කෙසේ වෙතත් 2017 වසරේදී ධර්මරාජ පළමු පෙළ රග්බි කණ්ඩායම ප්‍රබල ක්‍රීඩා රටාවක් පෙන්නුම් කළ අතර ඔවුන් පළඟ අනුශුරයින් බවට පත් වන්නට සමත් වුණා.

2018 වසරේදී බුවනෙක උඩන්ගමුව ගේ සොයුරු බවන්ත උඩන්ගමුව ගේ නායකත්වයෙන් ධර්මරාජ කණ්ඩායම පිටියට පිවිසුණත් ඔවුන් සැලකිය යුතු දස්කම් පෙන්වන්නට සමත් වූයේ නැහැ.අවාසනාවන්ත ලෙස ඔවුන් B කාණ්ඩයට ඇද වැටුණු අතර මනුක හියාරාපිටිය ප්‍රමුඛ 2019 ධර්මරාජ පළමු පෙළ රග්බි කණ්ඩායමට මේ තරගවාරයේ ඇති වගකීම වැටුණු වලෙන් ධර්මරාජය නැවතත් A කණ්ඩායමට ඔසවා තැබීමයි.

ඔබ අප සැමගේ බලාපොරොත්තු ඉටු කරමින් මනුක ප්‍රමුඛ සේනාවට පාසලේ ගෞරවය සුරකින්නට හැකි වෙයිද ? අපේ මේ සුදානම 2019 ධර්මරාජ පළමු පෙළ කණ්ඩායමේ නවතම තතු විත්ති සොයා යාමටයි.

නව පුහුණුකරුවෙක්, නව කාර්ය මණ්ඩලයක් නව ආරම්භයක්.

2019 තරගවාරය සඳහා ධර්මරාජයේ පුහුණුකරු වගකීම භාරවී ඇත්තේ ප්‍රවීන රග්බි පුහුණුකරුවෙකු වන සංජය අමුණුගම මහතාටයි.මහනුවර ත්‍රිත්ව විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලය වැනි ප්‍රබල පාසල් කිහිපයකම පුහුණුකරු ලෙස කටයුතු කර ඇති ඔහුගේ අත්දැකීම් මෙවර කණ්ඩායමට ඉතා වැදගත් වනු ඇත.

coach-sanjaya

(පුහුණුකරු සංජය අමුණුගම මහතා)

2010 වසරේ ශාන්ත අන්තෝනි විද්‍යාලයේ කණිෂ්ඨ කණ්ඩායම් පුහුණුකරුවෙකු ලෙස රග්බි පුහුණුකරු දිවිය ආරම්භ කළ ඔහුගේ ඊළඟ සංධිස්ථානය වූයේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ වයස අවුරුදු 16, න් පහළ හා 18 න් පහළ කණ්ඩායම් පුහුණුකිරිමයි.අනතුරුව ශාන්ත අන්තෝනි විද්‍යාලයේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ඔහුගේ රග්බි ජිවිතයේ අමතක නොවන සිදුවීම් පිලිබඳ ඔහු දොඩමළු වුණා.

“මම මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සමඟ වයස අවුරුදු 18 න් පහළ අන්තර් පාසල් සත් සාමාජික රග්බි තරගාවලියක් ජයග්‍රහණය කර තිබෙනවා, ඒ වගේම වයස අවුරුදු 14 න් පහළ පළඟ ශුරතාව දිනා ගන්නට මම පුහුණු කරපු ශාන්ත අන්තෝනි විද්‍යාලය සමත් වුනා”

වසර කිහිපයක් ධර්මරාජ කණ්ඩායම සාර්ථක වුණේ නැහැ, ඇයි ඔබ එවන් කණ්ඩායමක් භාර ගත්තේ ?

“මොන මට්ටමේ කෝච් කරත් කණ්ඩායමක් පුහුණුකරනවා කියන්නේ අභියෝගයක්, මම අභියෝග භාරගන්න කැමතියි. ඒ නිසයි මම මේ අභියෝගය භාරගත්තේ”

මේ වසරේ සැලැස්ම කොහොමද ?

“පළමු වටයේ හැම තරගයක්ම දිනන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ” ඔහු මේ වසරේ තරගාවලි සැලැස්ම අපට හෙළි කළා.

“ මැච් බයි මැච් සෙල්ලම් කරන්න තමයි අපේ අපේක්ෂාව. මොකද අපිට තරගාවලියටම සැලසුම් හදන්න බැහැ, අපිට තරගාවලියක විවිධ කණ්ඩායම් හමු වෙනවා, ඒ කණ්ඩායම් වල විවිධ සැලසුම් තියෙන්න පුළුවන් ”

“අපි සුදානම් වෙලා ඉන්න ඕනේ ඕනේ මට්ටමක කණ්ඩායමක් සමඟ ක්‍රීඩා කරන්න, ඒකට තමයි අපි ප්‍රැක්ටිස් මැච් ගහන්නේ, අපේ වැරදි හදාගන්න එක තමයි එකේ අපේක්ෂාව ”

“අපි අපේ මට්ටමක් හදාගන්න ඕනේ, එතකොට ඕනේ කණ්ඩායමක් එක්ක සෙල්ලම් කරන්න පුළුවන්”

පුහුණු තරඟ වල ප්‍රගතිය කොහොමද ?

“මම කණ්ඩායම භාරගෙන මාස හතරක් විතරයි තවම ගත වුණේ, මම මගේ පුහුණු සැසි වලින් පස්සේ කණ්ඩායමේ දක්ෂතා මැනලා බලපු පළමු වතාව වුණේ මේ පුහුණු තරඟ”

“මම මේ දරුවන්ගේ ක්‍රීඩා විලාසය මැනලා බලපු පළමු වතාව මේක, කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් ගොඩක් හිටියට ඔවුන්ට තරග අත්දැකීම් නැහැ, එයාලට මේ පුහුණු අත්දකිම් ඉතා වැදගත් ”

“යුධ හමුදා කණ්ඩායමක් සමඟ අපි සෙල්ලම් කළා, මලියදේව කණ්ඩායමත් එක්කත් අපි පුහුණු තරගයක් සෙල්ලම් කළා නමුත් පුහුණුකරුවෙක් වශයෙන් මට අවශ්‍ය මට්ටමට කණ්ඩායම පැමිණ නැහැ”

“මම බලාපොරොත්තු වෙන්නේ තත්වයෙන් උසස් රග්බි තරගයක්”

තවත් ඇත්තේ මාසයයි ! කණ්ඩායම හදාගන්න ඔබට පුළුවන්ද ?

“මම පටන් ගන්නකොට කණ්ඩායම හිටපු තත්වය දැක්කම හා දැන් ඉන්න තත්වය දැක්කම මට සතුටු වෙන්න පුළුවන් ”

“50% ආසන්න මට්ටමකට ඇවිත් ඉන්නවා, තවත් ලොකු ගමනක් යන්න තියෙනවා”

ඇයි මේ වගේ දක්ෂ ක්‍රීඩකයින් ඉන්න කණ්ඩායමකට B කාණ්ඩයට එන්න වුණේ ?

“ඒක මේ පාසලේ විතරක් තියෙන ප්‍රශ්නයක් නෙවේ, ගොඩක් තැන්වල කණිෂ්ඨ මට්ටම හොඳට හැදිලා නැහැ”

“කණිෂ්ඨ මට්ටම හැදිලා තිබුණානම් පළමු පෙළට එනකොට පුහුණුකරුවන්ට පහසුයි, ඔවුන්ට තියෙන්නේ ගේම් පැටර්න් එකක් හදලා දෙන්න විතරයි ”

“ඒක ලංකාවේම තියෙන ප්‍රශ්නයක්, ඉහළ මට්ටමට එනකොට මූලික දේවල් හදාගෙන එන්න ඕනේ , නැත්තම් මේ දෙය කරන්න අමාරුයි”

ෆිට්නස් ලෙවල් එකේ ප්‍රශ්නයක් ද ?

“මම භාරගන්නකොට ෆිට්නස් ලෙවල් එක බොහොම අඩුයි, දැන් සමහර අය හොඳ මට්ටමක ඉන්නවා”

“අඩුම අයත් ඉන්නවා මධ්‍යස්ත මට්ටමේ අයත් ඉන්නවා වැඩිම අයත් ඉන්නවා, ඒක එහෙම වෙන්න බෑ, රග්බි කියන්නේ 15 දෙනෙකුගේ සෙල්ලමක්, එක කොටසක් සෙල්ලම් කරනකොට අනික් අය බලන් ඉන්නවානම් මේ සෙල්ලම කරන්න බැහැ”

“ළමයි තවත් කැප වෙන්න ඕනේ, එතකොට අපිට පුළුවන් ඒ මට්ටමට එන්න”

පාසලේ රග්බි ක්‍රීඩා සංස්කෘතියේ වෙනසක් වෙන්න ඕනේ ද?

“මේක රග්බි විතරක් සෙල්ලම් කරන ඉස්කෝලයක් නෙවෙයි”

“ධර්මරාජයේ රග්බි සංස්කෘතියක් හැදෙන්නේ ඕනේ, ළමයින්ට සෙල්ලම් කරන්න ආස හිතෙන්න ඕනේ, රග්බි වලට ආදරේ වෙන්න ඕනේ”

“රග්බි වලට ආදරේ වුනොත් තමයි කණ්ඩායමක් සාර්ථක වෙන්නේ”

ඉස්කෝලෙන් දෙන සහයෝගය කොහොමද ?

“මම හිටපු අනෙක් ඉස්කෝල ඔක්කොටම වඩා මේ ඉස්කෝලෙන් හා ආදී ශිෂ්‍යයින්ගෙන් කණ්ඩායමට සහයෝගයක් ලැබෙනවා”

“මුදල් අතින් එහෙම සහයෝගය ඉතා ඉහළයි, එකම ගැටලුව තියෙන්නේ ක්‍රීඩා පිටිය”

ඔබත් කැමතිද හිස්තැන් පුරවන්න වෙනත් ක්‍රීඩකයින් වෙන පාසල් වලින් ගෙන්නන්න ?

“මම ඒකට විරුද්ධයි, කණිෂ්ඨ අංශයේ දී ක්‍රීඩකයින් හැදුවනම් මෙහෙම වෙන්නේ නැහැ”

“ධර්මරාජයේ නම් එහෙම උඩින් ආපු ක්‍රීඩකයින් නැහැ සහ මට එහෙම ක්‍රීඩකයින් ඕනේ වෙන්නේ නැහැ”

විනය හදාගන්න ඕනේ ?

“ඔවුන් අනිවාර්යයෙන්ම, විනය හොඳින් හදාගන්න ඕනේ, විනය නැති නිසා තමයි ඇතැම් තරඟ පැරදුනේ”

“විනය නැති කම නිසා තමයි අනෙක් කණ්ඩායම් වලට දඬුවම් පහරවල් ලබා දෙන්න, කරන්න එපා කියන එක කරනවා කියලා නේ ඒ කියන්නේ ”

“විනය හදා ගත්තම පිටිය ඇතුලත දී හා පිටත දී යන ඕනේ තැනකදී රග්බි ක්‍රීඩකයෙකුට හොඳ මනුස්සයෙක් වෙන්න පුළුවන්”

“මම පුහුණුකරපු ශාන්ත අන්තෝනි විද්‍යාලයට සම්මානයක් ලැබුණා විනය ගරුකම රග්බි කණ්ඩායමට කියලා”

“දිනනවා කියන එක පුරුද්දක් කරන්න ඕනේ, හැම තරගයකම හොඳින්ම ක්‍රීඩා කරන්න ඕනේ එතකොට ඉබේම ජයග්‍රහණය තමන්ට ලැබෙනවා”

ජයග්‍රහණය කිරීමට නම් කණ්ඩායම කළ යුතු දේ ගැන සංජය අමුණුගම මහතා පැවසුවේ මෙවර තරගාවලියේ කණ්ඩායම A කාණ්ඩයට යලි රැගනේ යාමට තමන්ට හැකි වේ යැයි දැඩි විශ්වාසයෙන්.

අත්දැකීම් බහුල නායකයෙක් හා උප නායකයින් දෙදෙනෙක්

ධර්මරාජයේ නායකත්වයේ වගකීම භාරවී තිබෙන්නේ පස්වන වසරේ වර්ණලාභියෙක් වන අත්දැකීම් බහුල මනුක හියාරාපිටිය.කණ්ඩායමට උප නායකයින් දෙදෙනෙක් ඇතුලත් කර ඇත්තේ කණ්ඩායමේ සියලු දෙනාටම වගකීම බෙදීමේ අරමුණින්.තරින්ද කපුවත්ත හා මිලන්ත රාජපක්ෂ මනුක සමඟින් මෙවර තරගාවලියේ වගකීම් දරන ක්‍රීඩකයින්.

article-manuka

(නායක මනුක හියාරාපිටිය)

නැවත A කණ්ඩයට යාම ප්‍රධාන අරමුණ කරගත් මනුක හියාරාපිටිය මෙසේ අප සමඟ සංවාදයට එක්වුණා.

මේ අවුරුද්දේ ලොකුම බලාපොරොත්තුව මොකද්ද ?  

“මට ලැබිලා ඉන්න කණ්ඩායම ගැන සතුටුයි, කොහොම හරි A කාණ්ඩයට යනවා, ඒක තමයි අපේ අරමුණ”

“A කාණ්ඩයට ගිහින් කොහොමහරි පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියට යන්න තමා බලාපොරොත්තු වෙන්නේ”

පසුගිය වසරේ තිබුණු ප්‍රශ්න මොනවාද ?

“කණ්ඩායමේ ෆිට්නස් ප්‍රශ්නයක් තිබ්බා, පසුගිය වසරේ, මේ අවුරුද්දේ එහෙම  ප්‍රශ්නයක් නැහැ, කණ්ඩායම හොඳින් සුදානම් වෙලා ඉන්නේ”

කණ්ඩායමේ තරු ක්‍රීඩකයින්?

“තරු ක්‍රීඩකයින් කියලා නැහැ, ඔක්කොමලා හොඳින් ක්‍රීඩා කිරීම තමයි අපේ අරමුණ, ඒ වුණත් විසල් උඩන්ගමුව, මිලන්ත රාජපක්ෂ, තරිඳු අබේරත්න, තරින්ද කපුවත්ත, හර්ෂ රොද්‍රිගෝ, සෞම්‍ය විජේසිරි වගේ මල්ලිලාත් කණ්ඩායමට ගොඩක් උදව් කරයි කියලා හිතනවා”

“පසුගිය වසරේ වයස අවුරුදු 16 න් පහල කණ්ඩායම 16 න් පහළ තරගාවලියේ අවසන් මහා තරගයට පැමිණියා, ඒ කණ්ඩායමෙන් සෞම්‍ය විජේසිරි, තේනුක වික්‍රමසිංහ හා සපරමාදු වැනි ක්‍රීඩකයින් කණ්ඩායමට ලොකු දායකත්වයක් දෙයි කියල හිතනවා”

පාසලෙන් හම්බෙන සහයෝගය ?

“කලින් වසර පහටම වඩා සහයෝගයක් ලැබෙනවා, ඔක්කොම බඩු අලුතින් ලැබුණා, ඕල්ඩ් බෝයිස් ලා ගොඩක් උදව් කළා “

ලොකුම අඩුපාඩුව ?

“ ලොකුම අඩු පාඩුව වෙලා තියෙන්නේ, ක්‍රීඩකයින් මදිකම, ළමයි ගෙන්න ගන්න හරිම අමාරුයි, අම්මලා ළමයි එවන්න කැමති නැහැ”

“අයියලත් ලොකු මහන්සියක් දරනවා ගෙවල් වලට ගිහින් ළමයි ගෙන්නන්න”

ධර්මරාජයේ රග්බි වලට ආදරය කරන අයට මොකද්ද කියන්න තියෙන්නේ ?

“පුහුණුකරු ඉතා හොඳයි, අපේ ෆිට්නස් හදලා තියෙනවා, අපිව වෙනස් කරලා තියෙනවා, හොඳින් විනය හදලා තියෙනවා, පසුගිය වසරේ ක්‍රීඩා කරලා අත්දැකීම් ගොඩක් තියෙන ක්‍රීඩකයින් ඉන්නවා, හොදින් ක්‍රීඩා කරයි කියලා හිතන ක්‍රීඩකයින් රැසක් ඉන්නාවා ”

“අපිට කියන්න තියෙන්නේ අපි කොහොමහරි A කාණ්ඩයට යනවා, හොඳ ක්‍රීඩකයින් එකතු වෙලා ඉන්නේ, හොඳින් පුහුණුවීම් කරනවා, ඉලක්කයක් තිබෙනවා, කොහොම හරි වැටුණු වලෙන් ආපසු ගොඩ එනවා”

පසුගිය වසරේ කණ්ඩායමේ කැපී පෙනුණු ක්‍රීඩකයෙකු වූ තරින්ද කපුවත්ත හට මෙවර කණ්ඩායමේ එක් උපනායක අසුනක් හිමිව තිබෙනවා.ෆ්ලෑන්කර් ස්ථානයේ වේගවත් ක්‍රීඩකයෙකු වන ඔහු අප සමඟ කතාව ආරම්භ කළේ මෙලෙසින්.

article-tharinda

(තරින්ද කපුවත්ත – කණ්ඩායමේ උප නායක)

“මගේ නායකයා ඉතා හොඳයි, මම පොඩි කාලේ ඉඳන් මනුකව දන්නවා, එයාගේ වැරද්දක් තියෙනවා නම් මම එයාට කියනවා, අපි හොඳට කනෙක්ට් වෙලා ඉන්නේ, අනෙක් උපනායකයාත් ඉතා හොඳයි, අපි හොඳට සන්නිවේදනය කරනවා”

උප නායකයකයින් දෙදෙනෙක් ?

“ඔව් එක හොඳ තීරණයක්, වගකීම් බෙදිලා ගියාම ක්‍රීඩකයින්ට වැටෙන පීඩනය අඩුයි, අපි තුන්දෙනා පිට්ටනියේදී කතා වෙලා තීරණයක් ගත්තම ඒක වඩා සුදුසු තීරණයක් වෙනවා”

කණ්ඩායමක් විදියට ලොකුම බලාපොරොත්තුව ?

 “කාණ්ඩයට යන එක තමයි ලොකුම බලාපොරොත්තුව, B කාණ්ඩයේ වැඩිම ලකුණු ලාභින් වෙලා, උඩින් එන කණ්ඩායම් හතරටත් ගහලා ආයෙමත් A කාණ්ඩයට යන එක තමයි බලාපොරොත්තුව”

තවත් වේගවත් ක්‍රීඩකයෙකු වන මිලන්ත රාජපක්ෂ මනුක ගේ අනික් අගසව්වායි.ඔහුගේ අරමුණත් කණ්ඩායම යලි A කාණ්ඩයට ගෙන යාමයි.සෙන්ටර් ස්ථානයේ කණ්ඩායම සවිමත් කරන ඔහු සිව්වන වසර සඳහා පළමු පෙළ රග්බි කණ්ඩායම නියෝජනය කරනවා.

කණ්ඩායමේ ශක්තිමත් ඉදිරිපෙළ ද පසුපෙළ ද ?

“දෙකම එක වගේ ශක්තිමත්, නමුත් ඉදිරිපෙළ විශේෂයෙන් හොඳින් ක්‍රීඩා කරන්න ඕනේ, ඉදිරිපෙළ කණ්ඩායමට පන්දුව දිනා දුන්නේ නැත්තම්, පසු පෙළට ලොකු පීඩනයක් වැටෙනවා, ඔවුන්ගේ අතේ පන්දුව අඩු නම්, පසුපෙළට එතරම් දස්කම් පෙන්නන්න බැහැ“

article-milantha

(උප නායක මිලන්ත රාජපක්ෂ)

ගිය අවුරුද්දේ මොකද වුණේ ?

“ගිය අවුරුද්දේ දැකපු ලොකුම වරද තමයි අපි කලබල වැඩියි, පොඩි පොඩි කාලපරිච්ඡේදයන් ගොඩක් අපි පන්දුව තියාගෙන හිටියේ නැහැ”

“අපි ගිය අවුරුද්දේ බැලුවේ ස්ක්‍රම් වලින් බොලේ අරන් දුවල එක පාරට ට්‍රයි තියන්න, එහෙම සාර්ථක වෙන්න බැහැ”

“මැච් එක පටන් අරන් මිනිත්තු කිහිපයක් යද්දී අපි ලොකු ලකුණු ගණනකින් පහල ඉන්නේ, එතකොට අපිට වැටෙන පීඩනය වැඩියි”

පසුපෙළ සුදානම් ද ?

“ඔව් ගොඩක් හොඳ ක්‍රීඩකයින් රැසක් ඉන්නවා, ෆ්ලයි හාෆ් ඉඳලා ෆුල් බැක් වෙනකම් දක්ෂ ක්‍රීඩකයින් ඉන්නවා, හොඳ සන්නිවේදනයක් තියෙනවා, හැමෝම හැමෝගෙම කාර්යභාරය දන්නවා, ඔක්කොමල අතර හොඳ බැඳීමක් තියෙනවා”

තිදෙනාම ධර්මරාජ ප්‍රේක්ෂකයින්ට පණිවිඩයක් ඉතිරි කරන්නට අමතක කළේ නැහැ.

“ඔක්කොමලා මැච් බලන්න එන්න, අපිට ලොකු සපෝර්ට් එකක් ඕනේ දිනන්න, අපි කැමතියි ප්‍රේක්ෂකාගාරයේ අපේ කට්ටිය ඉන්නවා බලන්න, අපි කොහොම හරි A කාණ්ඩයට ගිහින්, ධර්මරාජයේ අලුත් රග්බි සංස්කෘතියක් ආරම්භ කරනවා”

එළඹෙන රග්බි තරගවාරයේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට අප සුදානම්. එන්න, එක්වන්න අපි අලුත් ධර්මරාජ රග්බි සංස්කෘතියක් ආරම්භ කරමු.

 

-දේශාන් වත්තේගම සමඟින් අශ්වින් කාලිංග

චායාරූප – ThePapare.com