වසර දෙකකට ආසන්න දීර්ඝ විරාමයකට පසුව පාසල් රග්බි පිටියට දැන් නැවතත් පණ ලැබී තිබෙනවා. ඒ අන්තර් පාසල් සත් සාමාජික රග්බි තරගාවලියත් සමඟින්. එම තරගාවලියේ මහනුවර අදියර එළඹෙන දෙසැම්බර් 27 දා පැවැත්වීමට නියමිතයි.

රග්බි ක්‍රීඩාවේ ප්‍රෞඩ වසර 50 ක් ගෙවීයන මේ මොහොතේ ධර්මරාජ විද්‍යාලයිය රග්බි කණ්ඩායම නව මුහුණුවරකින් අන්තර් පාසල් සත් සාමාජික රග්බි තරගාවලියට සුදානම් වෙනවා. COVID-19 ව්‍යාප්තිය මධ්‍යයේ ඔවුන් එම අභියෝගයට කෙසේ මුහුණ දෙයිද ?

“අවුරුදු දෙකකින් පස්සේ ළමයි එනකොට ඔවුන්ගේ අවධානය හා ඉලක්කය ගොඩක් නැති වෙලා තිබ්බේ.” ධර්මරාජ පළමු පෙළ රග්බි කණ්ඩායමේ පුහුණුකරු ලසින්ත ද කොස්තා පවසා සිටියා. ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ ද පුහුණුකරු ලෙස කටයුතු කළ ලසින්ත ද කොස්තා දිවයිනේ අත්දැකීම් බහුලම පුහුණුකරුවෙක් ලෙස හඳුන්වන්න පුළුවන්. ධර්මරාජයේ මෙන්ම කොළඹ ඉසිපතන විද්‍යාලයේ ද පුහුණුකරු ලෙස කටයුතු කර තිබෙන ඔහුගේ අත්දැකීම් කණ්ඩායමට ඉතා වැදගත්.
“ළමයින් ගේ බර ගොඩක් වැඩි වෙලා දක්ෂතා (Skills) මගහැරිලා. නමුත් අපිට තිබෙන කාලයත් එක්ක තරගාවලියක් ක්‍රීඩා කරන මට්ටමට ඔවුන්ව ගෙනෙන්න පුළුවන්.”

“කොරෝනා තත්වයත් එක්ක ළමයින්ව සම්බන්ධ කරගන්නත් ටිකක් අපහසු වුණා. අන්තිම අවුරුද්ද ක්‍රීඩා කරන අය ටිකක් අතෑරලා හිටියේ. මොකද දෙසැම්බර් වෙනකම්ම තරගාවලියක් පවත්වන්නට බැරි වුණු නිසා. දැන් නම් එහෙම ගැටළුවක් නැහැ. ළමයිට උනන්දුවක් ඇතිවෙලා තියෙනවා.” වසංගත තත්වයකින් පසුව නැවත කණ්ඩායමක් සංවිධානය කිරීම ගැන ලසින්ත ද කොස්තා එලෙස අදහස් දක්වා සිටියා.

“මේ ප්‍රශ්නත් එක්ක හම්බෙන සහයෝගයට මම ගොඩක් සතුටු වෙනවා.” රටේ පවතින තත්වය මධ්‍යයේ වුණත් පාසලෙන් හා ආදී ධර්මරාජිකයින්ගේ රග්බි පාපන්දු සංගමයෙන් (ORRFA) ලැබෙන සහයෝගය පිළිබඳව ප්‍රධාන පුහුණුකරු පවසා සිටියා.

එළඹෙන 27 දා සත් සාමාජික රග්බි තරගාවලියට යන කණ්ඩායම පිළිබඳවත් ඔහු මෙසේ අදහස් දක්වා සිටියා.”ප්‍රධානතම ක්‍රීඩකයෝ කියලා නම් ක්‍රීඩකයෝ නැහැ. එදාට හොඳට ක්‍රීඩා කරයි කියල හිතනවා ක්‍රීඩකයෝ. එදාට හොඳම දස්කම් පෙන්වන ක්‍රීඩකයින් තරු ක්‍රීඩකයින් වෙයි.”

බොහෝ දුරට පළමු වටයෙදී A කාණ්ඩය යටතේ ධර්මරාජ විද්‍යාලයීය සත් සාමාජික රග්බි කණ්ඩායමට මහනුවර ත්‍රිත්ව විද්‍යාලය, සාන්ත අන්තෝනි විද්‍යාලය හා කටුගස්තොට රාහුල විද්‍යාලය හමුවීමට නියමිතයි.

“එක එක කණ්ඩායම් වලට අපිට වෙන වෙනම සැලසුම් තියෙනවා. අවුරුදු දෙකක් රග්බි ගහල නැති නිසා අපි දන්නේ නැහැ කොහොම කණ්ඩායම් එයිද කියලා. ඒ නිසා අපි පළවෙනි මැච් එකට යන්නේ මේක මෙහෙම වෙයි කියල සැළසුමක් එක්ක. නමුත් දෙවන තරගය වෙනකොට අපි දන්නවා අනික් කණ්ඩායම් වල තත්වය. එතකොට සැළසුම හදන්න ලේසියි. අපිට කලින් පුහුණු වෙච්ච Structures හා Tactics තියෙනවා. ඒවා භාවිතා කරන්න පුළුවන් ප්‍රතිවාදී කණ්ඩායම් එක්ක.”

අන්තර් පාසල් රග්බි තරගාවලියේ කොළඹ අදියරේදී ඩී. එස් සේනානායක විද්‍යාලය හමුවේ කොළඹ රාජකීය විද්‍යාලය පරාජය වීම සාන්ත පීතර විද්‍යාලය කුසලානය ජය ගැනීම වැනි සුවිශේෂ පෙරළිකාර සිදුවීම් රැසක් සිදු වුණා.

“රග්බි වලට ආදරේ, දස්කම් දක්වන්න තියෙන ආසාව එක්ක ඒ වගේ පෙරළිකාර දේවල් වෙන්න පුළුවන්. වෙන මුකුත් නෙවේ. තමන්ගේ ඔලුව හදාගන්න ඕනේ. නැත්තම් හොඳ කණ්ඩායම් වලටත් පසු බසින්න වෙනවා. සත් සාමාජික රග්බි ක්‍රීඩාව කියන්නේ ශාරීරික සුවතාවය හොඳින්ම අවශ්‍ය ක්‍රීඩාවක්.”

තරගාවලියට පෙර PCR පරීක්ෂණයෙන් පසුව කණ්ඩායම හා පුහුණුකරුවන් දින දෙකක කාලයක් හුදෙකලා විය යුතුයි. ඒ දින දෙකේදී කණ්ඩායම සමඟ කටයුතු කරන ආකාරය පිළිබඳව ලසින්ත ද කොස්තා ගේ මෙලෙස අදහස් දැක්වූවා.

“ළමයින්ව එක එක වැඩසටහන් වලට යොමු කරන්න තමයි සැළසුම තියෙන්නේ. තනිවෙන්න නොදී ළමයින්ගේ මානසික තත්වය ඉහළ තියාගන්න ඕනේ. තරගයක් කියවන විදිය, තරගයට මුහුණදෙන විදිය ගැන කියලා දීලා ළමයින්ගේ අවධානය රග්බි ක්‍රීඩාවේම තියාගන්න ඕනේ.”

“ළමයි 25 ක සංචිතයක් ඉන්නවා අපිට. තරගාවලියට යන්නේ ළමයි 15 දෙනෙක්ගේ සංචිතයක්. හදිසියේ වත් එක් ළමයෙක්ට COVID-19 වැළඳුනොත් අපිට සංචිතයෙන් ඊළඟට සිටින ක්‍රීඩකයා කණ්ඩායමට එකතු කරගන්න පුළුවන්. පුහුණුකරුවනුත් අපිට තිදෙනෙක් ඉන්නවා. කණ්ඩායම පුහුණුකරුවන් තිදෙනාම යටතේ පුහුණුවීම් කර තිබෙනවා. ඒ නිසා එක් පුහුණුකරුවෙක්ට හුදෙකලා වෙන්න සිදු වුනොත් අනික් දෙදෙනාට කණ්ඩායම සමඟ යන්න පුළුවන්.”

“මම ස්තුති කරන්න කැමතියි විදුහල්පති තුමාට, ක්‍රීඩා භාර ආචාර්යවරුන්ට, ආදී ධර්මරාජිකයින්ගේ රග්බි පාපන්දු සංගමයට, ආදී ශිෂ්‍ය සංගමයට. ඒ ඔක්කොමලා නැත්තම් මේ වැඩේ කරන්න බැහැ.”

“විශේෂයෙන් ස්තුතී කරන්න ඕනේ දෙමව්පියන්ට. මෙච්චර වසංගතයක් මැද අපිව විශ්වාස කරලා ළමයින්ව එවනවා කියන්නේ ලොකු දෙයක්. ධර්මරාජය රග්බි ක්‍රීඩා කරොත් හැමදාම බලන්න එන ප්‍රේක්ෂකයෝ ඉන්නවා. ඒ ඔක්කොටම කියන්න තියෙන්නේ රූපවාණිහියේ හරි බලලා කණ්ඩායමට සහය දෙන්න කියලා.”

ධර්මරාජ පළමු පෙළ රග්බි කණ්ඩායමේ සහය පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ බුද්ධික අබේසිංහ යි. බුද්ධික අබේසිංහ දැන් වසර කිහියක්ම ධර්මරාජ පළමු පෙළ කණ්ඩායම සමඟ කටයුතු කරන අතර කණ්ඩායමේ ඉදිරිපෙළ ක්‍රීඩකයින්ගේ වගකීම ඔහුට භාරව තිබෙනවා.

“කණ්ඩායමේ පසුගිය වසරේත් ක්‍රීඩා කළ ක්‍රීඩකයෝ අඩුයි. ඊළඟ අවුරුද්ද අවසන් වසර වන ක්‍රීඩකයින් කිහිපදෙනෙක්ම ඉන්නවා. අපිට ප්‍රධානතම ක්‍රීඩකයෝ හතර දෙනෙක් ඉන්නවා. කණ්ඩායමක් විදියට ඔවුන්ව වට කරගෙන ක්‍රීඩා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.” සහය පුහුණුකරු බුද්ධික අබේසිංහ පවසා සිටියා.

“අබාධ නිසා ක්‍රීඩකයින් කිහිපදෙනෙක් එළියට ගියාට ගොඩක් අය එක දිගට පුහුණුවීම් ආවා. සත් සාමාජික රග්බි ආකෘතිය කියන්නේ පොඩි සිදුවීමකින් වෙනස් වෙන්න පුළුවන් ක්‍රීඩාවක්. ඔලුව තමයි හදාගන්න ඕනේ ක්‍රීඩකයින්ගේ. තරගෙන් තරග ඉදිරියට යන්න බලන්නේ. අපි හඳුනාගෙන ඉන්නේ ප්‍රතිවාදී කණ්ඩායම් වල ක්‍රීඩකයින් කවුද ඔවුන්ගේ දක්ෂතා මොනවද කියලා. අපේ ඉලක්කය කුසලාන අවසන් මහා තරගය. කුසලානය දිනන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.”

සත් සාමාජික රග්බි ආකෘතියේ ශ්‍රී ලංකාවේ ප්‍රබලම ක්‍රීඩකයෙක් වූ ආදී ධර්මරාජික දර්ශන ඇටිපොල කණ්ඩායමේ අනෙක් සහය පුහුණුකරුවායි. වසර ගණනක සත් සාමාජික රග්බි පිටියේ අත්දැකීම් සමඟින් ඔහු ධර්මරාජ සත් සාමාජික රග්බි කණ්ඩායම පෝෂණය කරනවා.

“කණ්ඩායමේ ගොඩක් හොඳ ක්‍රීඩකයින් ඉන්නවා. කලින් වසරවලත් ක්‍රීඩා කරපු ක්‍රීඩකයෝ ඉන්නවා. ඉස්සෙල්ලම සාන්ත අන්තෝනි තරගය තියෙන්නේ. ඊට පස්සේ ත්‍රිත්ව ඉන්පසු රාහුල, ත්‍රිත්ව තරගය ගොඩක් තියුණු තරගයක් වෙයි. තරගයෙන් තරග ක්‍රීඩා කරන්න තමයි අපේ අපේක්ෂාව වෙන්නේ.”

“භාග්‍ය, සෞම්‍ය, තේනුක, ජටිල ජ්‍යෙෂ්ට ක්‍රීඩකයින් විදියට කණ්ඩායමට සිය සහයෝගය දෙනවා. අනෙක් ක්‍රීඩකයිනුත් ගොඩක් දක්ෂයි. කොරෝනා වලින් පස්සේ අපි ගොඩක් මහන්සි වෙලා කණ්ඩායම හොඳ තැනකට ගෙනල්ලා තියෙනවා.”

“සත් සාමාජික රග්බි නමත් එක්ක ගහන්න පුළුවන් ක්‍රීඩාවක් නෙවේ. ඒ වෙලාව, ඒ මොහොතේ හොඳටම ක්‍රීඩා කරන කණ්ඩායම තමයි දිනන්නේ. අපිට විතරක් නෙවේ හැම කණ්ඩායමටම ලොකු අවස්තාවක් තියෙනවා. කුසලාන අවසන් මහා තරගය තමයි අපේ ඉලක්කය වෙන්නේ.” කණ්ඩායමේ සහය පුහුණුකරු දර්ශණ ඇටිපොළ පවසා සිටියා.

කණ්ඩායම හා පරිපාලනය අතර සම්බන්ධතාවය ගොඩ නගන්නේ කණ්ඩායමේ කළමනාකරුයි. මෙවරත් ධර්මරාජ පළමු පෙල රග්බි කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කරන්නේ ආදී ධර්මරාජිකයෙකු වන තරිඳු රත්නායක.

“ආදී ධර්මරාජිකයින්ගේ රග්බි පාපන්දු සංගමය (ORRFA) මූලික වෙලා කිහිපවතාවක්ම උත්සහ කරලා නැවත රග්බි ක්‍රීඩාව ආරම්භ කළා. ශාරීරික සුවතා මධ්‍යස්ථානයේ පුහුණුවීම් තමයි අපි මුලින්ම පටන් ගත්තේ.”

“ක්‍රීඩකයින්ව නැවතත් කණ්ඩායමට සම්බන්ධ කරගන්න ටිකක් අපහසුයි මේ තත්වය එක්ක. රටේ තියන තත්වය නිසා පාසලට කරන්න පුළුවන් දේවල් සීමා සහිතයි. ORRFA එකේ සහයෙන් අපි වැඩටික කරගෙන යනවා.”

ධර්මරාජ සත් සාමාජික රග්බි කණ්ඩායම එළඹෙන 27 දා මහනුවර ප්‍රධානතම රග්බි කණ්ඩායම් සමඟින් පාසලේ අභිමානය උදෙසා තරග වැදීමට නියමිතයි. ක්‍රීඩාංගණයට පැමිණීමට නොහැකි වුණත් ඔබේ සහය හා ඔබේ ආශිර්වාදය කණ්ඩායමට අවශ්‍යම මොහොතක් මේ !

 

-දේශාන් වත්තේගම සමඟින් අශ්වින් කාලිංග