ධර්මරාජ විද්‍යාලය හා ත්‍රිත්ව විද්‍යාලය අතර සුහද රග්බි තරගයක් පසුගිය දා මහනුවර පල්ලෙකැලේ ත්‍රිත්ව විදයලයිය ක්‍රීඩාංගනයේ දී පැවැත්වුණා. පාසල් දෙක අතර පුහුණු තරගයක් ලෙස මෙම තරගය සංවිධානය කර තිබුණත් එම තරගය තරග තුනකින් සමන්විත Trinity Tour තරගාවලියේද කොටසක් ලෙසයි පැවැත්වුණේ.

2022 පාසල් රග්බි තරගවාරයේ සෑම රග්බි තරගයකටම පසුව එම තරගය ගැන සියලු පාර්ශවයන්ගේ අදහස් එකතු කර කෙටි සටහනක් තබන්නට අපි සුදානම්. මේ එම ලිපි මාලාවේ පළමු සටහනයි.

වසර දෙකක විරාමයෙන් පසුව ධර්මරාජ රග්බි කණ්ඩායම ත්‍රිත්ව විද්‍යාලයට එරෙහිව සුහද තරගයට මුහුණ දුන්නේ කොහොමද ? මේ එම තරගය පිළිබඳ පසුවිපරමක්.

“සති තුනක විතර පුහුණු වෙලා තමයි අපි මේ තරගයට සහභාගී වුණේ.” ධර්මරාජ විද්‍යාලයේ පළමු පෙළ රග්බි කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලසින්ත ද කොස්තා පවසා සිටියා. ” ඇත්තටම අපි පුහුණු සැසි නවයක් වගේ තමයි කළේ. දරුවන්ට පාසල් වැඩ කරගන්නත් ඕනේ නිසා දවසට එක පුහුණු සැසියක් විතරයි පැවැත්වූයේ. සති තුනකට අපි දාපු මහන්සිය ගැන සතුටුයි.”

“පාසල් ලීග් තරගාවලියේ මැච් එකක් කියලා මේක බැලුවොත් වැරදියි. මේක පුහුණු තරගයක්. අපි ක්‍රීඩකයින්ව හඳුනාගන්න තමා මේ තරගය ක්‍රීඩා කළේ.”

“තරගය ගැන කතා කලොත් තරග සැලසුමේ හා තරග සැලසුම ක්‍රියාත්මක කරපු විදියේ ගැටළු තියෙනවා. ඒකට කාලය මදි වීමත් එක් හේතුවක් වුණා. නිමා වුණු සත් සාමාජික රග්බි තරගාවලියේ අපි හොඳ දස්කම් දැක්වූවා. ඒ අපි හොඳට මහන්සි වෙලා ඒකට පුහුණු වුණු නිසා. මේ තරගයට අපි දැම්මේ අපි දාන්න ඕනේ මහන්සියෙන් 15% ක් 20% ක් පමණයි.”

“සුමංගල තරගය දෙස බැලුවම අපි දැක්කා ත්‍රිත්ව කණ්ඩායමේ අතපසුවීම් නිසා තමයි ඔවුන් උත්සාහක දිනුම් දෙකක් රැස් කළේ. ත්‍රිත්ව කණ්ඩායම ඒ තරගයෙන් පාඩමක් ඉගෙනගෙන තමා මේ තරගයට ආවේ. විශේෂයෙන්ම කියන්න ඕනේ අතිරේක ක්‍රීඩකයින් විදියට ඇතුළට ගිය ක්‍රීඩකයින් ගැන සතුටුයි. ඔවුන් හොඳින් දස්කම් දැක්වූවා, ක්‍රීඩකයින් තිදෙනෙක් ඇරෙන්න අනික් ක්‍රීඩකයින් ඔක්කොම 2022 වසරේ පළමු වතාවට පළමු පෙළ ක්‍රීඩා කරන ක්‍රීඩකයින්. ත්‍රිත්ව කණ්ඩායමේ වගේ ජ්‍යෙෂ්ට අත්දැකීම් බහුල ක්‍රීඩකයින් හිටියේ නැහැ.”

“ලීග් තරගාවලියට තව කල් තියෙනවා. මූලික දක්ෂතා ටික හදාගෙන, Tackling, Defence, Handling හදාගෙන ඉදිරි මාස තුනේ තවත් මහන්සි උනොත් ආදී ශිෂ්‍යයයෝ, විදුහල්පතිතුමා, ඉස්කෝලේ, දෙමව්පියෝ ඔක්කොම එකතු වුණොත් මේ පෙන්නපු දස්කම් එක්ක Champion ටීම් එකක් හදන්න අමාරු වෙන්නේ නැහැ.”

ආදී ධර්මරාජික රග්බි පාපන්දු සංගමය වෙනුවෙන් එහි සභාපති චමින්ද යාපා මෙසේ අදහස් දක්වා සිටියා. “අපි මේ තරගය සංවිධානය කළේ පුහුණුකරු හා සියලු පාර්ශ්වයන් සමඟ කතා කරලා. අපිට දැනගන්න ඕනේ වුණා අවුරුදු 2 කට පස්සේ අපේ ක්‍රීඩකයින් කොහෙද ඉන්නේ කියලා. ත්‍රිත්ව විද්‍යාලය වගේ ප්‍රබල කණ්ඩායමක් සමඟ පුහුණු තරගයක් ක්‍රීඩා කිරීම හොඳ අවස්තාවක් නිසා අපි මේ තරගය යොදා ගත්තා.”

“ළමයින්ගේ පැත්තෙන් හිතල ළමයින්ව නව තරගවාරය සඳහා සුදානම් කිරීම තමා මේකේ අරමුණ වුණේ. මේක තවම අපේ පළමු පෙළ රග්බි කණ්ඩායම නෙවේ. පළමු පෙළ රග්බි කණ්ඩායමට ක්‍රීඩකයින් තෝරා ගැනීම තමා මේකේ අරමුණ. ඒ නිසා වැරදි විදිහට හිතන්න එපා. අපි ඉදිරියටත් පුහුණු තරග සංවිධානය කරනවා. එකේ අරමුණ ළමයින්ව ඉදිරි තරගවාරය සඳහා සුදානම් කිරීම”

“අපි කියන්න ඕනේ අපි දරුවන්ට දෙන්න පුළුවන් උපරිම සම්පත් දෙනවා. අපිට ආදී ශිෂ්‍යයින්ගේ උදව්වත් මේකෙදි ඕනේ. දරුවන්ට නිසි පෝෂණය ලබා දෙන්න අපිට ලොකු අවශ්‍යතාවයක් තියෙනවා අපි ඉල්ලා සිටිනවා පුළුවන් හැමෝටම මේකට උදව් වෙන්න කියලා. ළමයි මහන්සි වෙලා එළඹෙන තරගවාරයට මහන්සි වෙනවා. ආදී ධර්මරාජිකයින් වශයෙන් අපිටත් පුළුවන්නම් ඒ දේට උදව් කරන්න අපිට ශුරයින්ගේ කණ්ඩායමක් ගොඩ නගන්න පුළුවන්.”

“ඒ වගේම අපේ නව විදුහල්පති තුමත් අපිට හොඳ සහයක් ලබා දෙනවා. එතුමා තරගයට පෙර ක්‍රීඩාංගණයට පැමිණිලා දරුවන්ට ශක්තිය ලබා දුන්නා. ආදී ධර්මරාජිකයින්ගේ රග්බි පාපන්දු සංගමය වශයෙන් අපි එතුමාට අපේ සැළැස්ම ඉදිරිපත් කරලා තියෙන්නේ. එතුමාගේ සහයත් එක්ක ඉදිරියටම යන්න තමා අපේ බලාපොරොත්තුව.”

ධර්මරාජයේ රග්බි ක්‍රීඩාවට ආදාළ තාක්ෂණික කරුණු පිළිබඳව වගකීම දැරීම තාක්ෂණික කමිටුවේ කාර්යභාරයයි.එම තාක්ෂණික කමිටුවේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ සුධීර ද සිල්වා. “තරගයකින් පසුව වගේම තරගයකට පෙරත් අපේ කමිටුව හා පුහුණුකරුවන් එකතු වෙනවා. ඊට පස්සේ අපි තරගයට සැලසුම් හදනවා. අපි දැක්කා ත්‍රිත්ව තරගයේදී දරුවන්ගේ ශාරීරික සුවතාවය පැත්තෙන් පොඩි පසුබෑමක් තියෙනවා.”

“ඒකට හේතුව වුණේ අපි කණ්ඩායමට Trainer කෙනෙක් බඳවා ගන්නට ප්‍රමාද වුණු එක. දැන් අපි Trainer කෙනෙක් බඳවා ගෙන තිබෙනවා. ලීග් තරගාවලියට මාස 5 ක් වගේ තියෙන නිසා ඔහුගේ සහයත් එක්ක අපිට ලොකු දෙයක් කරන්න පුළුවන් වෙයි.”

“ඒ වගේම කණ්ඩායමේ Team Bond එක හදන්න වගේම දරුවන්ගේ මානසික ශක්තිය වැඩි දියුණු කරගන්නට විවිධ වැඩසටහන් අපි තාක්ෂණික කමිටුව වශයෙන් සංවිධානය කරනවා. ඒ වගේම කණ්ඩායමේ දරුවන්ට නිසි පෝෂණය ලබා දෙන්න අපි මහන්සි වෙනවා. ගොඩක් හොඳ කණ්ඩායම තරගවාරයේදී වගේම තරගවාරය පටන් ගන්නට පෙරත් දරුවන්ට පෝෂණ අතිරේක ලබා දෙනවා. අපිට තියෙන සම්පත් එක්ක ඒ දෙය කරන්නට අපහසුයි. ආදී ශිෂ්‍යයෝ වශයෙන් අපිට පුලුවන්නම් එම වැඩසටහනට දායක වෙන්න මේ කණ්ඩායමට ගොඩක් දුර යන්න පුළුවන්”

 

-දේශාන් වත්තේගම සමඟින් අශ්වින් කාලිංග